ද්වේෂ සහගතව කරන ලද අකටයුත්තක් බව පිටු 7 කින් යුත් ලිපියකින් කුලරත්න කරුණු අනාවරණය කරයි
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක, වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තම නිල බලය අනිසි ලෙස භාවිතා කරමින්, වංචා හා දූෂණ රැසක් සිදුකර ඇතැ යි චෝදනා නඟමින්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත, විධිමත් පැමිණිල්ලක්, වැඩ තහනමකට ලක්කරැති මැතිසබයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා විසින් ඉදිරිපත් වී තිබේ.
පැමිණිල්ල ඉදිරිපත් කරන ලැබුවේ ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න මහතා විසිනි. හේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්වරයා මෙන් ම එහි කාර්ය මණ්ඩල ප්‍රධානියා සේ සේවය කරමින් සිටිය දී කතානායකවරයා විසින් වැඩ තහනමට ලක්කරන ලදි.
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ ගැනෙන බරපතළ විෂමාචාර ක්‍රියා කිහිපයක් කතානයක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් කරන ලද බවට හෙතෙම සිය පැමිණිල්ලෙහි දක්වා ඇත. පිළිබඳව කරුණු අනාවරණය කර තිබේ.
කථානායකවරයා සේ වෛද්‍ය වික්‍රමරත්න මහතාට හිමි නිල වාහන දෙක වෙනුවට රථ වාහන තුනක් භාවිතා කරන බව ද කුලරත්න මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙ සභාපතිවරයා ප්‍රමුඛ අනෙක් කොමසාරිස්වරුන් දෙදෙනාට යොමු කරන ලද පැමිණිල්ලෙහි දක්වා ඇත. අනික් වාහනය පාර්ලිමේන්තුවේ ඇති වෑන් රියකි. එයින් රජයට මූල්‍යමය පාඩුවක් සිදු කිරීම ගැන ඔහු කොමිසමේ අවධානයට ලක් කරයි.
මීට අමතරව ඔහු විසින් කරන්නා වූ තවත් රජයේ මුදල් අවභාවිතා කිරීමක් ගැන ද කුලරත්න මහතා කියයි. කථානායක ධූරයට හිමි ඉන්ධන දීමනාවට පරිබාහිරව, පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු ලෙස ද නීතිවිරෝධී ලෙස ඉන්ධන දීමනා ලබාගැනීම හරහා රුපියල් ලක්ෂ විස්සක පමණ (රු. 2,000,000/-) රජයේ මුදල් අවභාවිත කිරීම ය
වැඩ තහනමට ලක්වී සිටින නියෝජ්‍ය මහ ලේකම්, නීිතිඥ චමින්ද කුලරත්න මහතා විසින් අල්ලස් කොමිසමට භාර දී ඇති උක්ත පැමිණිල්ල පිටු හතකින් සමන්විත ය.
පාර්ලිමේන්තු මාධ්‍ය අංශයට සතු කැමරා සහ සෙස ආම්පන්න තම පෞද්ගලික ප්‍රවර්ධන කටයුතු උදෙසා යොදාගැනීමත්, රජමල්වත්ත නිල නිවසට අමතරව කොළඹ 04, ලොරිස් පටුමඟ පිහිටි තවත් නිල නිවසක් අනීතිකව පරිහරණය කිරීමත් කතානායකවරයා විසින් කරන්නා වූ රාජ්‍ය දේපොළ අවභාවිත ගැන කියන චෝදනාවකි.
කතානායක වරයාට දිවා ආහාර ගැනීමට දෙවැනි මහලේ වෙන්කර ඇති කාමරයේ එම තනතුරට පත්වූ දා පටන් මේ දක්වා එය ඒ සඳහා පරිහරණය කරන බවත්, ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ද එහි සිට ආහාර බුදිනා බවත්, එසේ ආහාර ගන්නා අමුත්තකු වෙනුවෙන් රුපියල් 900. 00 ත් එක් දිවා බොජුන් වේලකට අයකර ගතයතු නමුදු ඔහු ගේ පෞද්ගලික ලේකම් වෙනුවෙන් ගෙවන්නේ රුපියල් 150. 00 කි.
මෙම දූෂිත ක්‍රියාවන්ට එරෙහිව තමා වරින් වර කරුණු පෙන්වා දුන් හෙයින් එහි ප්‍රතිඵලයක් ලෙස තමා කෙරෙහි වෛරී සහගතව කටයුතු කරමින්, නීතිවිරෝධී ලෙස විමර්ශන නිලධාරියෙකු පත් කර තමාගේ වැඩ තහනම් කිරීමට කථානායකවරයා කටයුතු කර ඇති බවට ඔහු චෝදනා කරයි. මෙම විමර්ශන නිලධාරියා සඳහා රජයේ චක්‍රලේඛ උල්ලංඝනය කරමින් රුපියල් 274,975/- කට අධික මුදලක් ගෙවීමට ද කටයුතු කර ඇති බව මෙහිදී අනාවරණය කර ඇත.
තවද පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල පරිපාලනයට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අනීතිකව මැදහත් වන්නේ යැ යි ද වැඩ තහනමට ලක් කර සිටින චමින්ද කුලරත්න මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කරන ලද පැමිණිල්ලෙහි සඳහන් වේ.
ඉතා දිගු කරුණු රැසක් අනාවරණය කරමින් කරැති උක්ත පැමිණිල්ල පිළිබඳව අපක්ෂපාති පරීක්ෂණය කරන්නැ යි හේ කොමිෂන් සාවෙන් ඉල්ලා ඇත. එමෙන් ම ඊට අදාළ නීත්‍යානුකූළ පියවර ගන්නා ලෙස ද නීතිඥ චමන්ද කුලරත්න මහතා ගේ ලිපියෙන් දන්වා ඇත.
මේ පැමිණිල්ලේ පිටපත් නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආර්. එස්. ඒ. දිසානායක හා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති දයා ලංකාපුර යන මහත්වරුන්ට ද යොමු කර ඇත.
මෙම දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් සහ ඊට ආධාර අනුබල දුන් පුද්ගලයින් පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසත්, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 74 සිට 78 දක්වා වගන්ති ප්‍රකාරව තමාට 'තොරතුරු හෙළි කරන්නන්ගේ රැකවරණය' (Whistleblower Protection) ලබාදෙන ලෙසත් පැමිණිලිකරු වැඩි දුරටත් අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටියි.


