ජගත්ගේ සතියේ සටහන - 86
අනුරගෙන් මහත් ආන්දෝලනාත්මක කතාවක්!
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට වසරක් පිරෙන මේ මාසයේ මධ්‍යම අධිවේගි මාර්ගයේ කඩවත සිට මීරිගම කොටසේ ඉදිකිරීම් පසුගිය 17 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.
මේ අවස්ථාවේ ජනාධිපතිවරයා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් දේශපාලන අංශ අතර කතා බහ හේතු වී තිබෙනවා.
ඇතැම් සංවිධානාත්මක කල්ලි ශ්‍රී ලංකාවේ දේශපාලන අධිකාරීන්ට විවිධ ආකාරයෙන් මුදල් පොම්ප කර තිබෙනවා. ඇතැම් මන්ත්‍රීවරුන් මාස් පතා බදු මුදල් ලබා ගන්නා ආකාරයට ඔවුන්ගෙන් මුදල් ලබා ගෙන ඇති අතර සමහර ඇමතිවරු මාස්පතා ඔවුන්ගේ නිවෙස් වලට මුදල් ගෙන්වා ගෙන ඇතැයි ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.
සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් මතුපිටින් තිබෙන රාජ්‍යය හා සමාන කළු රාජ්‍යයක් නිර්මාණය කර තිබෙන බව මෙන් ම මෙම කළු රාජ්‍යයට අවශ්‍ය අවි ආයුධ නීත්‍යානුකූල හමුදාවන්ගෙන් ලැබෙනවා.
මත්ද්‍රව්‍ය මැඩලීමට සිටින පොලිසිය විසින් ඔවුන්ගේ කුඩු ප්‍රවාහනය කරනවා යැයි පැවසූ අනුර කුමාර දිසාකායක මහතා මේවා මැඬ පැවැත්වීමට ප්‍රතිපත්තිමය එකඟතාවයක් ඇති දේශපාලන අධිකාරිය ඔවුන් ආරක්ෂා කරන බවට ද චෝදනා කළා.
නීතිවිරෝධී ගුවන් ගමන් බලපත්‍ර වැළැක්වීමට තිබෙන ආගමන විගමන දෙපාර්තමේන්තුව අපරාධකරුවන්ට හොර පාස්පොට් සකස් කර දෙනවා. එමෙන් ම නීතිවිරෝධී මෝටර් රථ ලියාපදිංචි කිරීම වළක්වන ආයතනය විසින් ම ඔවුන්ට නීතිවිරෝධී මෝටර් රථ ලියාපදිංචි කරදෙනවා යැ යි තව දුරටත් පැවසූ ජනාධිපතිවරයා මේ ආයතන ඔවුන් ආරක්ෂා කරදෙන බව ද කියා සිටියා.
ඔවුන්ට දේශපාලන අධිකාරියේ සහ පොලිසියේ රැකවරණ ලැබුණත් අපි මේ යටිබිම් රාජ්‍යය සහතික වශයෙන් ම අවසන් කරනවා යැ යි ද දිසානායක මහතා පැවසුවා.
ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කිරීමට දින දෙකකට පෙර පොලිසියේ හා ආරක්ෂක අංශවල උසස් නිලධාරන් සමඟ සාකච්ඡා පවත්වා තිබුණා. දැනට අත්අඩංගුවට පත් වී සිටින පාතාල නායකයකු වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පස්දෙනාගෙන් රහස් පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම් වල දී මේ තොරතුරු හෙළිවී තිබෙනවා.
දැනගන්නට තිබෙන අන්දමට මෙම පාතාල අපරාධ කල්ලිවලින් කප්පම් ගත් හා ඔවුන්ට උපකාර කල දේශපාලනඥයින්, පොලිසියේ, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් ගණනාවක් ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග සඳහන් කරනවා.
xxxx xxxx xxxx xxxx
එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සරය මහ ඉහළින්
ශ්‍රී ලංකාවේ පැරණිතම දක්ෂිණාංශික දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය ඊයේ (20) ඔවුන්ගේ 79 වැනි සංවත්සරය උත්සවාකාරයෙන් පැවැත් වුවා.
ජයවර්ධනපුර මොනෑෂ් ඉම්පීරියල් හෝටලයේ දී පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ උත්සවයට විපක්ෂයේ පක්ෂ රාශියක නායකයින් සහභාගි වී සිටියා.
රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමේ දී විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ ඔහුගේ සහායට පැමිණියා. එම පක්ෂවල නායකයින් සියලු දෙනාට ම මෙම සංවත්සර උළෙලට ආරාධනා කොට තිබූ නමුත් සර්වජන බලය නායක දිලිත් ජයවීර, පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක එස්. ශ්‍රීධරන් යන මහත්වරුන් පැමිණ සිටියේ නැහැ.
විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද පැමිණ නොසිටි අතර එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, තිස්ස අත්තනායක හා කබීර් හෂීම් යන මහත්වරුන් සහභාගි වී සිටියා.
''ඔබේ මතය ඔබ දරන්න..... ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදවන්න එක්ව සිට ගමු" යන තේමාව යටතේ පැවති මෙම සංවත්සර උළෙලට සර්වාගමික නායකයින්, බන්දුල ගුණවර්ධන, උචය ගම්මන්පිල, චිනේෂ් ගුණවර්ධන, මනෝ ගනේෂන්, රාවුෆ් හකීම්, නිමල් සිරිපාල ද සිල්වා, පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්, පාඨලී චම්පික රණවක, චාමර සම්පත් දසනායක, රිෂාඩ් බද්උද්දීන් සහ මර්වින් සිල්වා යන මහත්වරු ඉදිරි පෙළ අසුන්වල සිටිනු දකින්නට ලැබුණා.
ඇරයුම් කළත් සජිත් ආවේ නෑ
එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සර උළෙලේ සංවිධාන කටයුතු පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතාට බාරදී තිබුණා.
ඔහු විපක්ෂයේ සියලුම පක්ෂවලට ආරාධනා යවමින් දුරකතන ඇමතුම් ද දෙමින් ඒ සියලු දෙනා සංවත්සර උළෙලට ගෙන්වා ගැනීමට කටයුතු කළා.
විපක්ෂයේ සියලු පක්ෂ එක්කොට ආණ්ඩුවේ ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරාජය කිරීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ඉදිරි වැඩපිළිවෙලක් සකස් කරනා බවට වජිර අබේවර්ධන මහතා කර තිබූ ප්‍රකාශයක් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා.
ඒ ප්‍රකාශයෙන් පසු සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂ සංවත්සරයට සහභාගි නොවීමට තීරණය කළ බවයි දැනගන්නට තිබෙන්නේ.
එසේම වජිර අබේවර්ධන මහතා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට වෙන වෙනම ඇමතුම් දී එක්සත් ජාතික පක්ෂයේ සංවත්සර උළෙලට පැමිණෙන ලෙස ඉල්ලා තිබීම ද සජබ නායකයින් ගේ විරෝධයට හේතු වී තිබෙනවා.
කෙසේ වුවද සෙනසුරාදා පැවති එක්සත් ජාතික පක්ෂයේ සංවත්සර උළෙලට පක්ෂ නායකයින්ගේ අනුමැතිය ඇතිව සමගි ජන බලවේගයෙන් පැමිණ සිටියේ තිස්ස අත්තනායක, රංජිත් මද්දුම බණ්ඩාර හා කබීර් හෂීම් යන මහත්වරුන් පමණයි.
එම පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් 20 කට අධික පිරිසක් මෙම සංවත්සර උත්සවයට සහභාගි වීමට අපේක්ෂාවෙන් සිටියත් පක්ෂ නායකයාගේ තීරණය හේතුකොට ගෙන ඔවුන් නොපැමිණි ය බව යි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.
සමගි ජන බලවේගයේ සිටින එක්සත් ජාතික පක්ෂය සමඟ යළි එකතුවීමට කැමති පිරිස පවසන්නේ පක්ෂ දෙක එකතු වෙනවාට සජබයේ සිටින සමහරුන් විරුද්ධ වන්නේ පක්ෂ දෙක එක්වූ විට ඔවුන්ට දැනට හිමිව තිබෙන තනතුරු අහිමිවනු ඇතැ යි යන සැකය නිසයි.
xxxx xxxx xxxx xxxx
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 79 වැනි සැසිවාරය ඇමතීම සඳහා හෙට (22) නිව්යෝර්ක් නුවර බලා පිටත්වීමට නියමිත යි. ඔහු සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක ඇමති විජිත හේරත් මහතා ඇතුළු විදේශ කටයුතු හා මුදල් අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් ද යෑමට නියමිත බව ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග පවසනවා.
ජනාධිපතිවරයා එක්සත් ජාතීන් ගේ මහ සමුළුව ඇමතීමට නියමිතව තිබෙන්නේ සැප්තැම්බර් 24 වැනිදා යි. එහිදී ඔහු එක්සත් ජාතීන් ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටාරෙස් (António Guterres) හමුවීමට ද නියමිතයි.
ජපාන රජයෙන් සුඛෝපභෝගී බස් රථ 50 ක පරිත්‍යාගයක්!!!
එම සංචාරයෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 26 වැනිදා ජපානයේ නිල සංචාරයක යෙදෙන අතර එරට පැවැත්වෙන 'වර්ල්ඩ් එක්ස්පෝ ට්‍රේඩ්ස් ෆෙයාර්' වෙළඳ ප්‍රදර්ශනය ද නැරඹීමට යනු ඇති.
ජපානයේ අගමැතිවරයා ඇතුළු ප්‍රධානීන් ද හමුවන ජනාධිපතිවරයා ජපාන රජයෙන් ශ්‍රී ලකාවට පරිත්‍යාග කොට ඇති සුඛෝපභෝගී බස් රථ 50 ක් භාරගැනීමේ අවස්ථාවට ද එක්වන බවත් වාර්තා වෙනවා.
කතානායකට විශ්වාස භංගයක්?
පාර්ලිමේන්තුවේ කතානායක ජගත් වික්‍රමරත්න මහතාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කටයුතු කරගෙන යනවා.
මෙයට හේතුවී තිබෙන්නේ නියෝජ්‍ය ආරක්ෂක ඇමති අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් බාරදුන් විශ්වාස භංග යෝජනාව කතානායකවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම යි.
එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට හේතු වශයෙන් කතානායකවරයා පැවසුවේ ආණ්ඩුවට හෝ ඇමතිවරයකුට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට හැකි නමුත් නියෝජ්‍ය ඇමතිවරයකුට එසේ විශ්වාස භංගයක් ගෙන ආ නොහැකි බව යි.
නියෝජ්‍ය ඇමතිවරයා ගේ රාජකාරි ගැසට් මඟින් ප්‍රකාශ කොට නැති බැවින් ඔහු දරණ නියෝජ්‍ය ඇමති ධූරයේ වගකීම් පැවරෙන්නේ අදාළ ඇමතිවරයාට යි. ඒනිසා මෙය පිළිගත නොහැකි බවයි කතානායක ජගත් වික්‍රමරත්න මහතා පවසා සිටියේ.