උණුසුම් පුවත්කාලීනවිනෝදාස්වාද

කතා හෑලි – හෑලි කෑලි

කියන කොට එහෙම යි. - කරන කොට මෙහෙම යි

සජිත් ජනාධිපති වුණා ම රට පාලනය කරන්නේ රජ කාලෙ නීතිය අනුවයි… September 13, 2024 at 3:10 am | lanka C news

ජනාධිපතිවරයා බවට පත්විමෙන් අනතුරුව පෘතුගීසි පාලනයට පෙර පැවැති මෙරට නීතිය යළි ස්ථාපිත කරන්නැයි ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දෙන බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංඟුණ වැවේ ධම්මරතන හිමියෝ සඳහන් කරති.

කුලියාපිටිය ප්‍රදේශයේදී පැවති සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජන රැළියක් අමතමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.

“ඔය සිංහල බෞද්ධ කියාගත්තු පිරිත් නූල් කඹ ගණන් බැඳ ගත්තු ඔය නායකයෝ 48 ඉඳලා මේ දක්වා මේ රට පාලනය කරලා තියෙනවා දේවාලගම් පනතේ අල්ප මාත්‍රයක් වෙනතුරු සංශෝධනය කරලා නැහැ.

මේ රට තියෙන්නේ පෘතුගීසිකාරයා යටත් කරගන්න පෙර තිබුණු අපේ රට නිර්මාණය කරලා දීපන් කියල අපි කිව්වේ සජිත් ප්‍රේමදාසට. ඊට පස්සේ ඔහු පිළිගත්තා අපිට අපේ රටේ තිබුණු නීතියයි අවශ්‍ය කියල.
අද අපිට පුළුවන්ද සුද්ද ගැසට් කරලා තියෙන අවුරුදු එකසිය ගාණක් තියෙන පුරාවිද්‍යා නීතියට අනුව කොඩියක් දාන්න පුළුවන්ද? ලෙනක බුදු පිළිමයක් තියන්න පුළුවන්ද? අපේ තන්තිරිමලේ නායක හාමුදුරුවෝ අෂ්ටඵල බෝධීන් වහන්සේ නමක් තියනවා තන්තිරිමලේ.
රන්වැටක් දැම්මා කියල පුරාවිද්‍යා එකෙන් නඩු දාලා. කෝ බෞද්ධකම මේ රටේ. මේ රට පාලනය කළ බෞද්ධ නායකයෝ මේක සංශෝධනය කළාද? සුද්දා යන කොට යතුරු දාලා ඉබ්බො දාලා යතුර අරන් ගිහින්. ඇරගන්න යතුර නැහැ”– නාගොඩ සුමන උදයන්ත

ආන්න ෂොක් හරිම ෂොක් එතකොට අපට පුළුවන් වැරදි කරපු එවුන් අල්ලලා දඬු කඳේ ගහල දඬුවම් දෙන හැටි බලා ඉන්න. මොකද බුදු දහම තිබුණට රටේ එකෙක් කත් පිළිපදින‍ එ‍කක් යැ.

එතකොට පුළුවන් සුරාවෙන් තොර සමාජයක් බලා ගන්න. එතකොට බාර් ලැයිසොන් තියෙන බාර්කාරයො සජිත් ජනාධිපති තුමා ළඟ වැටිල කැහි  හොටු පෙරා ගෙන, නාවර පෙරං අඬන  හැටි බල බලා හිනා වෙන්න. මොකද පරපීඩක සතුට හැම හිත් හතනක ම මුල්ලක හැංගිලා තියෙනවා නේ

මෙවර මැතිවරණයේ උතුරු පළාත සම්පූර්ණයෙන් ම නිහඬයි. නිහඬ ජලාශයක ගැඹුර වැඩියි. හිටපු මැකෝ එහෙම කියනවා කියලා වෙබ් එකක තියෙනවා.

⋆ උතුරු පළාත සම්පූර්ණයෙන් ම මැතිවරණයක් නොපැවැත්වෙන තත්ත්වයේ නිහඬතාවයක් පවින අතර නිහඬ ජලයේ ගැඹුර වැඩි බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති,  අපේ මිතුරා -  මහින්ද දේශප්‍රිය මහතා පවසනවා  යි එම වෙබ් පිටුවෙ  තියෙන සඳහන  අම්මපල්ල කොච්චරක් නං වටිනව ද? .

ජනාධිපතිවරණ ප‍්‍රතිඵල ප‍්‍රමාද වෙයි.. 22 දිවුරන්න වෙන්නෑ..

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේදී දෙවන මනාපය ගණන් කිරීමට සිදු වුවහොත් ප්‍රතිපල ලබාදීම ප්‍රමාද විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් ජනතාව චකිතයක් හෝ සැකයක් ඇතිකර ගත යුතු නැතැයි සභාපතිවරයා පැවසීය.

ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල සිට කිලෝමීටර් 30 කට වැඩි ඉතා දුෂ්කර ප්‍රදේශ වල පිහිටි ඡන්ද පොළවල් තිබේ. එවැනි ඇතැම් ඡන්ද පොළවල සිට කිලෝමීටර් 05 ක් 06 ක් දුර පයින් ඡන්ද පෙට්ටි රැගෙන ඒමට ද සිදුවන බව පැවසීය.

ඒ හේතුවෙන් ගණන් කර සමස්ත ප්‍රතිපලය ලබාදීමට ප්‍රමාද විය හැකිය.

ප්‍රතිපල ලබාදීමට ප්‍රමාද වීම තුළ ජනතාව අතර විවිධ බොරු ප්‍රචාර පැතිර යා හැකිය.

එහිදී සියලු මාධ්‍ය වෙත විශාල කාර්‍ය භාරයක් පැවරී තිබේ යැ යි ද කොමසාරිස් වරයා පත්තරකාරයින්ගෙන් හෙවත් ජනමාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් ද කර ඇත.

⋆ හුටා .... එතකොට හදන් ඉන්න නැකැත් හයට මොකක්දැ කොරාන්නේ... නැකතට වැඩ අල්ලලා ස්වයංපෝෂිත සිරිලංකාවක් කියන සංකල්පෙටත් හෙනහුරා තමයි හැමදාම හරස් වෙන්නෙ... 

⋆ මට මතක් වෙන්නෙ දකුණු පළාත් සභාවෙ ඡන්දෙ හෙවත් පළමුවැනි දකුණු පළාත් සභා මැතිවරණෙ පැවත්තු දවසෙ නෙවෙයි හිනිදුම ආසනේ ලංකාගම ඡන්ද පෙට්ටිය ගාල්ල කච්චේරියට  ගෙනා අයුරු. ඒ ඡන්ද පෙට්ටිය ලංකාගමින් ගාල්ලට අවේ පියඹං. ඒ කියන්නෙ හෙලිකොප්ටරයකින්. ඊට පහුවෙනිදා උදේ.... ගාල්ල මහජන ක්‍රීඩාංගණයය හෙළිකොප්ටරය බාලා ඡන්ද පෙට්ටිය උස්සන් දුවගෙන දුවගෙන ඡන්ද සේවකයෙක් ආපු හැටිත් අවිගත්තු ආරක්ෂක අංශ නිලධාරියෙක් හෙවත් පොලිස්කාරයෙක් ටී පණස්හයක් එල්ල කරන් පස්සෙන් ආපු හැටිත් මැතිවරණ කොමසාරිස් උන්නැහෙගෙ කතාවට අදාළ නැති වුණත් මට මතක් වුණේ.... හනේ මන්දැ?

1986 දෙසැබර් 15 දින කොළඹ විශ්වවිද්‍යාලයේ දයා පතිරණ මරලා ගල්කටස් විප්ලවය ආරම්භ කරපු ජවිපෙ, ඊයේ ජයවර්ධනපුර කලා පිඨයේ පෙරටුගාමීන්ගේ ඔළු පලලා 2024 තඹුත්තේගම විප්ලවය ආරම්භ කර ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න පැවසුවාය.

එදා මෙදා ලංකාවේ හැම නායකයාම අධ්‍යාපනය නගාසිටුවන්නට වැඩ කළා. ජනතා විමුක්ති පෙරමුණ විතරක් මේ රටේ පාසල්වල, විශ්වවිද්‍යාලවල, කාර්මික විද්‍යාලවල දරුවන් කැට හොල්ලන්න, පිකටිං කරන්න, පෝස්ටර් ගහන්න දැක්කුවා යැයි කවිරත්න මහත්මිය පැවසූවේ අද පෙරවරුවේ රත්තොට දී පැවති සජිත් ගෙ ජයග්‍රහණය තහවුරු කරන්නට පැවති රැස්වීමකදී යැ යි පත්තරේ වැඩිදුරටත් දාලා තියෙනවා.

රෙද්ද තමා.... අර කැලණිය විශ්වවිද්‍යාලයේ සිසු උද්ඝෝෂණයක් තියෙන කොට කවිරත්න නෝනාගේ අප්පොච්චි හෙම පාර්ලිමේන්තුවෙ 5/6 බලයෙන් රත්වෙලා හිටිද්දි ධාර්මිෂ්ඨර් සමවාදි ශිෂ්‍ය පෙරමුණෙන් කැඳවීම් ලබලා වැඩමවා වදාළ ක්‍රිෂ්ටෝපර් නං උත්තමයා ඇතුළු චණ්ඩි අයියලා රොත්ත කොල්ලන්ට කෙල්ලන්ට පොලු මුගුරුවලින් පහර දීපු හැටි මතක් වෙන එකයි මට තියෙන පුරස්නෙ. ඒ ක්‍රිෂ්ටෝපර් අයියාටත් කවුරු හරි දුන්නු ෂොට් එකකින් මෑන් පොළොව වැළඳ ගත්තෙ ආයෙත් නොනැගිටින්න නේ. ඒකට හෙවත් ක්‍රිෂ්ටෝපර් ඝාතනය කළා කියලා කැලණියෙ උපාධිය හදාරමින් වැඩ විසූ අපේ බද්දේගම සමිත හාමුරුවන් වහන්සේ රැජිනගෙ බෝඩිමට වැඩම්ම වූ හැටි මතක් කරගත්තොත් ඔය කැට හෙල්ලිල්ල ගැන කියනවාට වඩා හොඳා නේ ද උත්තමාවිය.

එළැඹෙන මැතිවරණයෙන් පසු කවුරුන් ජනාධිපති ධූරයට පත් වුවද ඔවුන් සමඟ කටයුතු කිරීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවට ගරු කිරීමට චීනය සාම විටම කැපවන බවත් චීනය තහවුරු කළේය.

කොළඹ වරාය නගරයේ ඊයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී කොළඹ චීන තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශක Zhu Yanwei චීනය කිසිම රටක අභ්‍යන්තර කටයුතු වලට මැදිහත්වීම් නොකිරීමේ ප්‍රතිපත්තිය අවධාරණය කරමින් කියා සිටියේ නව ජනාධිපතිවරයා සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව යැයි  ශ්‍රී ලංකා ගාර්ඩියන් වාර්තාවේ දැක්වේ.

ඒ විස්තරේ පත්තරේ තියෙන්නෙ කොළඹ චීන තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශක Zhu Yanwei  කියපු කතාවක් වාර්තා කරමින්.

කියන කොට නං කියන්නෙ මේ හකුරු හදන්නෙ උඩට උඩු වියන් බැඳං.... බිමට පාවඩ දමං කියල යි නේ!

ඒත් ඉතින් කොරන හැටි දැක්කොත් තමා වැඩේ රඟ තේරෙන්නෙ....