හෙළයේ රණවිරුවනට ජාතියේ උත්තමාචාරය !!
පාළොස් හවුරුද්දක් ගෙවී ගියේ රටේ පැවති අති බියකරු අවාසනාවන්ත තත්ත්වයකින් පොදු මහත් ජනයා ගේ හිතට ගතට බය හා සැකය දුරු කරමිනි. ඒ පුරා හවුරුදු තිහකට ආසන්න කාලයක් තිස්සේ ලාංකේය සමාජය බියෙන් ත්‍රාසයෙන් සැකයෙන් හා වේදනාවේ හිටී හිඳීමට තිත තබමිනි. දුක, වේදනාව සැකය කර පින්නා ගත් මහජනයා, ලොකු කුඩා සියල්ලෝම, ගමනක් බිමනක් ගියේ ආපහු ගෙදර ඒමේ අපේක්ෂාව හිතේ රඳවා ගෙන වුවත්, ඒ සියලු අපේක්ෂා සුන්නත් දූලි කරන්නට, උතුරු කරේ හිඳි මහා පවුකාර තිරස්චීනයකු හා උගේ අණසකට යටත්ව හුන් ගිනි අවි, කාල බෝම්බ, මිනිස් බෝම්බ ද දැරූ නරුම රැළ ඉඩක් කඩක් නොදුන්නේ ය නිමේෂයකින් ඒ අහිංසක මිනිසුන්ගේ ජීවිත එකම එක මොහොතකින් කැබලි කැබලි බවට පත්ව රුහිරු ධාර මහ මඟට මුසු කරමින් යළි නොනැගිටින අයුරින් මිහිකත වැලඳ ගන්නට උන් ක්ෂණයකින් මිනිස් බෝම්බ ඇටවූ හෙයිනි. වෙඩි තැබූ හෙයිනි. කැති ගෑ හෙයිනි. කපා කොට දැමූ හෙයිනි.
අහිංසක ගම්මානවලට කඩා වැදුණු මේ තිරස්චීන නරුම හැතිකරය ගැබිනියන් ද, කිරි සප්පයන් ද, කුඩා ළමයින් ද, වයෝවෘද්ධයන් ද කී නොකී හැම දෙනා කැති ගෑහ. උනට හිත් පිත් තිබුණේ නැත්තේ ය. උතුරු නැගෙනහිර පාදක කරගෙන දෙමළ ඊළමක් හෙවත් දෙමළ රාජ්‍යයක්, කොටි රාජ්‍යයක් බිහි කර ගැනීමේ ඒකායන අරමුණින් සිංහල, දෙමළ, මුස්ලිම් ආදී මිනිස් සමාජය ම සමූල ඝාතනය කර, උන්ගේ සිහිනය සැබෑ කර ගන්නට දත කෑහ.
උනට උඩ ගෙඩි දුන්නෝ ද මේ බිමේ ම අවාසනාවට, ජන්මය ලද රොත්තක් ද උල්පන්දම් දෙමින් උත්සාහ කළේ, හෙළදිව අමු සොහොනක් බවට පත් කර හෝ, උන්ගේ අභිලාෂය ඉෂ්ට සිද්ධ කර ගන්නට ය.
උන් ද, උන්ට උඩ ගෙඩි දෙන දෙමළ දේශපාලනඥයන් ද, අපේ ම සමහර ඇත්තන් ද කීවේ ඒ දෙපළාත උන්ගේ නිජබිම බවකි.
ලේ පිපාසිත මේ මිනී කන්නන්ට පක්ෂපාතීත්වය දැක්වූවෝ බටහිරයෝය. ඒ මේ පින්බිමේ පිහිටීමේ හේතුවෙනි. සිරිලංකාව හෙවත් හෙළදිව පවතින බෞද්ධ දර්ශනය මගින් උකහා ගත් සාරධර්ම, සංස්කෘතිය, මේ බිමේ උපන් මිනිසුන් ගේ නිර්මාණශීලීත්වය බටහිර පාලකයන් ගේ ඇස්වලට උල්කටුවලින් ඇනීමක් සේ ඔවුන් තකනා වග හෙළයේ උන් සමහර නුමයනට නොවැටහේ. නොතේරේ. ඒ සියල්ලෝ ම දේශපාලන අඳ බාලකම නිසා බව අපට නම් පැහැදිලි ය. කෙසේ වුව ද අපට යාබද රට, අපේ අසල්වැසියා, අපේ නෑදෑයා, අපේ ලොකු අක්කා යැයි කියන ඉන්දියාවේ පාලකයන් ද තමිල්නාඩුවේ පාලක අමන දේශපාලනඥයින් ද කොටි හපුටුවන්ට උඩ ගෙගෙ දුන්නේ උන්ගේ වාසිය තකා හැර අන් කෙන්ගෙඩියක් නිසා නොවේ. උහු කවුරුන් කවුරුත් මේ රටේ සංවර්ධනය, දියුණුව දකිනු නොරිසි ය. එනිසා ම බටහිරයන් ද උනට ගැති කළු සුද්දන් ද, ඊනියා ප්රජාත්න්ත්රවාදී, සමාජවාදී, ලිබරල්වාදී නේකාකාර වූ පක්ෂ අටවා ගෙන මිනිසුන් ගොන්නුන්ට අන්දවා තම තමන් ගේ තඩි බඩගෙඩි පිරී ඇතත් තව තව පුරවා ගැන්මේ ගිජුකමින් දෙමළ ඊළාම් විමුක්ති කොටි නමින් කලඑළි බැස පුරා තිස් වසරකට ආසන්න කාලයක් ලෙයින් මේ බිම තෙත් කරන්නන් උදව් උපකාර කළෝ, කතා කරන්නේ ඊනියා මානව අයිතිවාසිකම් ගැන යි. ඒ මානව අයිතිය ඇත්තේ උන්ට විතරක් යැ යි ඒ ගැන හඬ නඟන එවුන්වත් දන්නේ නැතිවා වගේ ය.
1983 ජූලි 23 වැනිදා ජංගම මුර සේවයේ යෙදී සිටිය හමුදා නිලධාරියු ප්රමුඛ සොල්දාදුවන් 13 කු තිරුණාවෙලිහි දී කොටි ත්රස්තවාදීන් ගේ කුරිරු වෙඩි ප්‍රහාරවලට ගොදුරුව මරුමුවට පත්වීම මෙහි ආරම්භය සේ සටහන් වේ. මේ ඝාතන පාදක කරගෙන එවක පැවති ධාර්මිෂ්ඨ ආණ්ඩුවේ මැතිඇමතියන් ගේ මෙහෙයවීමෙන් කොළඹ නගරයේ දියත් කෙරුණු දෙමළ විරෝධී හිංසනය රටේ අවශේෂ නගරවලට ද පතුරුවන්නට පාලකයෝ සැලසුම් දියත් කරන ලද බව අපේ විශ්වාසය යි. එදා කොළඹ බොරැල්ලෙන් පටන් ගත්තු දෙමළ ජන හිංසනය නිසා 5638 දෙනකුට දිවි අහිමි විය. පුද්ගලයන් 250000 කට උන්හිටි තැන් අහිමි වූයේ මැති ඇමති ආශිර්වාදයෙන් දෙමළ ජනයාට මෘග අන්දමින් පහරදෙමින්, මරා දමමින්, ඔවුන් ගේ දේපොළ කොල්ලකන්නට කොල්ලකරුවන් යුහුසුලු වීමත් එක්ක ය. මේ කළු ජූලිය ලෙස හැඳින්වෙන සිද්ධිය යි.
ඊට පෙර ද දෙමළ දේශපාලනඥයින් ගේ බහට නතුවූ තරුණ පිරිස් පාලකයන්ට එරෙහිව නේක විධ සටන් ඇරඹූහ. එහි එක් අවස්ථාවක් සේ යාපනයේ හිටපු පුරපති මෙන් ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා 1975 දී වෙඩි තබා මරා දමන ලද්දේ පිරිබාහරන් යැයි කියති. ඊට පසු 1978 දී පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කනගරත්නම් මහතා පැහැර ගෙන ගොස් ඝාතනය කරන්නට පිරිබාහරන් පෞද්ගලිකව උත්සාහ දැරී යැ යි අසන්නට ලැබේ.
අසූව දසකය වන විට ඊළාම් සිහිනය පෙරදැරි කරගත් දෙමළ සටන්කාමී සංවිධාන ගණනාවක් බිහිව තිබුණි. ඒත් ලේ පිපාසිත පිරිබාහරන් ඒ සියලු සංවිධාන නිහඬ කරන්නට වග බලා ගත්තේ එක්කෝ ඒ සංවිධානවල නායකයන් ඝාතනය කිරීමෙනි. නැතිනම් ඔහුගේ සංවිධානයට අවනත කර ගැනීමෙනි.
පිරිබාහරන්ට මුහුණ දීමට නොහැකි ආයුධ සන්නද්ධ ඊළාම් වාදී සමහර සංවිධාන ප්‍රධාන දේශපාලන ප්රවාහයට එක් වූයේ ය.
ගෙවී ගිය පාළොස්වසරකට පෙර කාල වකවානුවේ පිරිබාහරන් හා ගෝල බාලයෝ බටහිරයන් ගේ හයියෙන් හත්තිය වඩා ගත්හ. නවීනතම ගිනි කඳන්වලින් මෙන් ම සෙසු යුද උපකරණවලින් ද සවිමත් ව ත්‍රිවිධ හමුදාව, පොලිසිය, හා මහ ජනයා ලේ ගංගා මත හෙළන ලදි.
ගෙවී ගිය ඒ කාලය තුළ මොනතරම් වටිනා ජීවිත මේ අධම පාපතරයන් බිලි ගත්තේ ද? රාජ්‍ය මෙන් ම පෞද්ගලික දේපොළ විනාශ කළේ ද? නීලන් තිරුචෙල්වම්, කදිරගාමර් වැනි උතුම් මහත්මා ගුණයෙන් පිරිණු තම වර්ගයාගේ ම විද්වතුන් මේ අධමයන් විසින් ඝාතනය කළ අයුරු ......
මේ රට ඉතා නින්දිත රටක් සේ සෙසු ලෝකයා හමුවේ හෑල්ලු කරන්නට පාර කැපූ ප්‍රථම විධායක ජනාධිපති වූ ජුනියස් රිචඩ් ජයවර්ධන හා රණසිංහ ප්‍රේමදාස ද චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය ද යුද්ධය අවසන් කරන්නට නේක විධ සාකච්ඡා පැවැත්වූයේ කොටින්ගේ බලය ලත් තැනම ලොප් කරන්නට ඇවැසි පියවර නොගෙන උන් මැඬීමට නොහැකි යැ යි ජන සිත් සතන් තුළ පරාජිතත බවක් හා අසරණ බවක් ඇති කරමිනි.
එහෙත් මේ බිමේ වාසනාවට දෝ කොටින් උන්ට අවාසි වන අන්දමේ මෝඩ තීන්දුවක් ගෙන සේරුනුවර ගොවි ජනයා අනාථයන් බවට පත් කරමින් මාවිල්ආරු සොරොව්ව උන් නතු කර ගත්තේ ය. ගොවියෝ උද්ඝෝෂණ කළහ. මගේ මතකය නිැරදි නම් එදා රාජ්‍ය පාලකයා වූ මහින්ද රාජපක්ෂ වුව ඒ කෙරෙහි ඇල්මැැණු ස්වභාවයකින් සිටිය දී අතුරැළියේ රතන හාමුදුරුවන් ගොවියන් හා එක්ව කොටින් ගේ අධම වූත් තුච්ච වූත් ක්‍රියා පිළිවෙතට එරෙහිව සේරු නුවරින් අවිහිංසක අරගලයක නියැළුණි.
ඒ බව සේරු නුවර ගොවියන් අප හා පැවසුවේ යුද්දෙන් පස්සේ නැගෙනහිර පළාතේ ජන හදගැස්ම කෙබඳුදැයි පිරික්සීමට සති දෙකක් පුරා කළ සංචාරයේ දී ය. අද ද ඔවුන් පවසන්නේ රතන හාමුදුරුවන් නො වඩිනින්නට තමන්ට සිද්ධ වෙන්නේ පිපාසයට දිය බිඳක්වත් නැතිව නිරාහාරව ජීවිතයෙන් සමු ගන්නට බවයි.
කෙසේ වුව ද මහින්ද රාජපක්ෂ සන්නද්ධ අංශාධිපතිවරයා සේ, සේනාධිනායකයා සේ සේරුනුවර මාවිල්ආරු සොරොව්ව යළි අත්පත් කර ගෙන ඒ ප්‍රදේශයේ ජනතාව පෙළෙමින් හුන් පීඩාවෙන් මුදා ගන්නට ඔවුන් ගේ උවමනා ඉටු කරන්නට, ත්‍රිවිධ හමුදාව කැඳවා අවශ්‍ය නියෝගය දුන්නේ ය. ඒ තම සොවුරා වන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ය. ගෝඨා ත්‍රිවිධ හමුදාපතිවරුන්ට හා සිවිල් ආරක්ෂක ප්‍රධානීන්ට ඇවැසි නියෝගග දී මාවිල්ආරු සොරොව්ව අත්පත් කර ගන්නට මෙහෙයුමක් ඇරඹූහ.ඒ වන විට කොටි සංවිධානය සමඟ සාම සාකච්ඡාවක් පවත්වා අසාර්ථක වී ඉතා කෙටි කලක් ගෙවී හමාරව තිබිණි.
මාවිල් ආරු සොරොව්ව මේ බිමේ ජනයාගේ නිදහසේ දිවි ගෙවන්නට හේතු සාධක වූ කාරණාව සේ සටහන් කිරීම වටී.
මානුෂික මෙහෙයුම නමින් දියත් කෙරුණු ඒ සටන ජය ගන්නට හමුදාවන්ට තෙවසරක කාලයක් ගත විය. තිස් හවුරුද්දක් පුරා ඇදෙමින් පැවති යුද්ධය තුන් හවුරුද්දකින් අවසන් කරන්නටරණවිරුවන් කැප වූයේ 'අපි වෙනුවෙන් අපි' සාමුහික හැඟීමෙන් යුද පෙරමුණට පා නැඟූ හෙයිනි.
සොරොව්ව අල්ලා ගෙන හුන් කොටින් සමස්ත නැගෙනහිරින් ම අහවරයක් කිරීමෙන් අනතුරුව කොටින්ගේ ප්‍රාණ ඇපකරුවන් සේ පුරා තිස් වසරක තරම් කාලයක් අනේකාකාර දුක් පීඩි විඳිමින් කල් ගත කළ උතුරුකරේ දෙමළ වැසියන් මුදා ගැනීමේ මෙහෙයුම මාස ගණනාවක් දිවා රෑ නොමැතිව ත්‍රිවිධ හමුදාව පොලිසිය හා සිවිල් ආරක්ෂක බළකාය ජීවිත වලින් වන්දි ගෙවමින් සිහින දේශය නන්දිකඩාල් කළපුවේ දියකර හරින්නට අභිතව පෙරට ගියහ. ඔව්! අභීතව පෙරට ආහ. මෙනිසා ආබාධ වූ රණවරුවන් සංඛ්‍යාව ද සිය ගණනකි. තාත්තලා අහිමි වූ දරුවන් ද, සැමියන් අහිමි වූ බිරින්දෑවරුන් ද, පුතුන් අහිමි වූ මා පියවරුන් ද, සහෝදරයින් අහිමි වූ සොවුරු සොවුරියන් ද දහස් ගණනකි.
මේ තත්ත්වය දෙමළ සටන්කාමීන් ගේ අසරණ මාපියන්ට ද එක සේ උරුම ය. ඔවුන් ද සුළුපටු සංඛ්‍යාවක් නොවේ.
කොමොම වුණත් මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් නොකළ පීරිබාහරන් හා උහුගේ ගෝලබාලයින් සටන් කරද්දී පිරිබාහරන් නිරුපද්‍රිතව බේරා ගන්නට ඇමරිකාවේ පාලකයන් දියත් කළ සියුම් මෙහෙයුම ද පරදා නිදහසේ හුස්මක් කටක් ගන්නට අද අපට ඉඩ හසර පාදා දුන් සේනාධිනායක යා ව හුන් මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, හා යුදහමුදාපති වූ සරත් ෆොන්සේකා, නාවික හමුදාපති වූ වසන්ත කරන්නාගොඩ ද ගුවන් හමුදාපති වූ රොෂාන් ගුණතිලක යන රණවිරුවනට ද ඔවුන් ගේ අණසක යටතේ යුදබිමේද, මුහුදේද, ගුවනේ ද සැරිසරමින් සුරු විරුකම් පෑ සියලු ආරක්ෂක හමුදාවේ නිලලත්යේ නිල නොලත් සෙබළ ගණයාට ද ජාතියේ ප්‍රණාමය පිදීම කෘතවේදී ජන සමාජයක යුතුකම හා වගකීම යි.
මන්ද යත් - මානුෂීය මෙහෙයුම දියත් වෙද්දී සමස්ත දේශයේ ම පොදු මහජනයා සියලු වාද බේද දුරැලා එකාවන් ව එක්සිත්ව රණවිරුවනට දිය හැකි හැම සහයක් ම දුන් බව පසක් කරමින් හිතට නැඟෙන ලොකු ම පණිවිඩය දෙන්නට මෙය අවස්ථාවක් කර ගත හැකි නිසයි.
අප 1815 දී අප විසින් ම සුද්දන්ගේ යටත් වැසියන් කල්ගෙවන යටත් විජිතයක් බවට මව්බිම පාවා දී සිටිය දි බ්‍රිතාන්‍යයන් පෙරළා උන්ගේ රටට ගියේ සිනා වෙමින් බව නොදන්නා නිසා ය.. බෙදා පාලනය කිීමෙන් අප එකිනෙකා කුළල් කා ගන්නා අයුරු ඔවුන් කදිමට දන්නා හෙයිනි.
ඉදින්... අප පක්ෂ, පාට, ආගම්,. ජාති, වර්ග, කුල ගෝත්‍ර ඈ නේක නේකාකාරයෙන් තව දුරටත් බෙදී ප්රජාත්නත්රවාදී, ධනවාදී, සමාජවාදී, ලිබරල්වාදී, අර වාදී, මේ වාදී ලෙසින් බෙදී විසිරී සිටිමු ද? සිංහල දේශපාලනඥයින් මෙන් ම දෙමළ දේශපාලනඥයින් ද, සමාජවාදී දේශපාලනඥ සහෝදරවරුන් ද ජුලී චෑං ලාගේ ඇරයුමින් එකම මේසයේ වාඩි වී සතුටු සාමිචියේ යෙදෙමින් විෂ්කි බොද්දී ඇය ඇතුළු ඇගේ නඩය අපට හිනාවෙන්නේ කොතැනින් දැ යි මේ රැළ නොදන්නවා ද දන්නවා ද කියන්නට දෙවියන්වත් දන්නේ නැති බව සකල දේශවාසී පොදු මහජනතාව රණවිරුව්න් ගේ නාමයෙන් හෝ සිහියට නඟා ගත්තොත් තව දුරටත් සිංහල වේවා දෙමළ වේවා, මුස්ලිම් වේවා අපේ අනාගත පරපුරට හෙට දවසෙ මේ බිම යහපත් රටක් බවට, වාසනාවෙන් පිරුණු පින් බිමක් සේ ලෙලෙනේක වර්ණයෙන් යුත් මල් පල හට ගන්නා බව සිහියේ තබා ගනිත්වා!!
ඒත් සමහරුන්ට නම් තිස් වසරක් පුරා මේ බිම නිතිපතා ලෙයින් තෙත් වෙමින් පැවති බව පවා අමතක ය. ඒ මේ බිමේ වැරැද්දක් නම් නොවේ.
හෙට කතා කරමු සවිස්තරාත්මනව මේ යුද්ධයේ අලගිය මුල ගිය තැන් ගැන.