හෙළදිව කෙටිකතාව
නුවන් රාජකාරී කටයුත්තකට අනුරාධපුරයේ ගියේ ඊයේ උදේ. රජයේ මිනින්දෝරුවෙකු වන ඔහු නැවත පැමිණෙන්නේ සෙනසුරාදා හවස. දරුවෝ දෙන්නා පාසැල් ගියාට පස්සේ මුළු ගෙදරම පිරෙන්නේ දරාගන්න බැරි නිහැඬියාවකින්. උදේම උයලා පිහලා අස්කරාට පස්සේ ආයෙත් උයන්නේ රෑට. උත්පලා ඉක්මනින් ගේ අතුගෑවේ, බැංකුවට ගිහින් එන්න වුවමනාවක් තිබුණු හින්දයි.
දුරකථනය නාද වුණේ ඔය අතරයි.
" නුවන් වෙන්න ඇති "
කොස්ස බිත්තියට හේත්තු කරලා උත්පලා කඩිනමින් දුරකථනයට ගියේ පෙරදා රැයෙත් නුවන් කතා නොකල හින්දයි.
"හලෝ"
"හලෝ"
එහා කෙලවරින් ඇසුනේ නුහුරු ගැහැණු කටහඬක්.
"කවුද මේ"
උත්පලා ඇසුවේ අඩමානයට ය.
"මේ උත්පලා ද ?"
"ඔව් උත්පලා තමයි "
" මම සුභානී "
ඒ එක්කම ඇසුණේ සිහින් ඉකිබිඳුමක්.
"ඇයි සුභානි ,මොකක් හරි කරදරයක්ද?"
"මංජුල නැතිවුණා. පපුවේ අමාරුවක්. අවසන් කටයුතු හෙට හවස. "
උත්පලාට ඇසුනේ එපමණයි. දුරකථනය විසන්ධි කළ උත්පලා පුටුවක ඉඳගත්තා. බොහෝ වේලාවක් එකම ඉරියව්වෙන් ඉඳගෙන හිටියා. නැගිටලා ඉදිරිපස දොරේ අගුල දැමූ උත්පලා කාමරයට ගියේ ඇඳේ ඇලවෙන්න හිතාගෙන.හිස පුපුරන්නාක් මෙන් දැණුනත් ඇලවී ඉන්න හිත දුන්නෙත් නෑ. කාමරයේ එහාට මෙහාට ඇවිද්දේ අසිහියෙන් වගේ. අල්මාරිය ඇරගත් උත්පලා හෙව්වේ සාරි අතර සඟවා ඇති පරණ දින පොතක්. වසර ගණනාවක් පැරණි තරුණ යුවලකගේ ඡායාරූපයක් එතුළින් සොයාගත් උත්පලා ඡායාරූපය පපුවට තුරුළු කරගෙන ඉකිබින්දා.
ඒ හිනාව, ඒ කතාව, ඒ උණුසුම අමතක කිරීමට හැකි වූවානම් කොපමණ හොඳ දැයි උත්පලාට හිතුණා. මෙතරම් වසර ගණනකට පසුවත්, දැනෙන වේදනාව දරන්නට බැහැ. වෛරයක් ඉපදිය යුතු තැන ප්‍රේමයම ඉපදීම දුර්වල ගැහැණු ගතියක් බව දැන දැනත් ඉන් මිදීමට නොහැකි වීමේ වරදේ බරපතළකම හරියටම දැනුණේ අද.
"දෙවියෙක් වගේ මිනිහෙක් ළඟ ඉඳලත් මංජුලව අමතක කරන්න බැරි වීම නම් සංසාරගත කර්මයක් පලදීමක්." එහෙමයි උත්පලාට හිතුණේ
මංජුලයි, උත්පලයි එකම ගමේ. එකම ඉස්කෝලේ. දහම් පාසල් ගියෙත් එකට. දුරින් නෑ කමකුත් තිබුණා. ළමා විය පිය මං කරලා තරුණ වියට එළඹෙනකොට මංජුලගේ ඇස් වලින් උත්පලා දැක්කේ වෙනදා දකින සහෝදර බැඳීමට එහා ගිය බැඳීමක්.
"ඒක තමයි ආදරය " උත්පලා ආදරය අඳුරගත්තේ එහෙමයි .
උත්පලා ඉගෙනීමට ඒතරම් දක්ෂ නොවුණත් ගේ දොර වැඩ මහන්න, ගොතන්න, උයන්න කොයි දේටත් දක්ෂයි. ඒත් මංජුල ඉගෙනීමට කැපී පෙනෙන දක්ෂතාවයක් දැක්වූවා.
මංජුල විශ්ව විද්‍යාලයට යන දවසේ සතුට වගේම බයකුත් උත්පලාගේ හිතේ තිබුණා. තමන්ට මංජුල නැතිවෙයිද කියලා තියෙන බය හිත රිදෙව්වා. මංජුල වෙනස් වුණේ නැහැ. විශ්ව විද්‍යාලයට ගිය මංජුලමයි පිටවෙලා ආවෙත්.
විශ්ව විද්‍යලයෙන් පිටවුණු මංජුල මාර්ග සංවර්ධන අධිකාරියේ රැකියාවකට බැඳුණා. මුලදී මංජුල වැඩකළේ පිට පළාත්වල. ඒ කාලෙදිම ගමට කිට්ටුවෙන් ඉඩමක් අරගෙන ගෙයකුත් හැදුවා. ගෙයි වැඩ ඉවරවෙනකොටම කොළඹට මාරුවක් හදාගෙන උත්පලාව විවාහ කරගත්තා.
උත්පලා ගැස්සිලා නැගිට්ටේ වාහන නලා හඬකට.
"ස්කූල් වෑන් එක වෙන්න ඇති "
පපුව උඩ තිබුණු පිංතූරය කොට්ටය යටට තල්ලු කරපු උත්පලා අත් දෙකෙන් කොණ්ඩෙ හද හදා දිව්වේ දොර අරින්න. අරිනකොටත් දරුවෝ දෙන්නා දොර ළඟ.
"අම්මා අද පරක්කුයි " පුතා කිව්වේ හිනා වෙවී.
"අම්මට දොයිය ගිහිල්ලා "ඒ දුව
"ඒක තමයි මම කියන්නේ. ඉන්නකොට බැන්නට ,අපි නැති වුණහම අම්මට පාළුයි "
පුතා උත්පලගේ බෙල්ලේ එල්ලුණා.
" හා යමු ,යමු ඉක්මනට වොෂ් දාගෙන කාලා ක්ලාස් යන්නත් තියනවා " දුව ඉක්මන් වුණා.
"අද ක්ලාස් නොගිහින් ඉමු. අම්මට අසනීපයි වගේ " උත්පලා කිව්වා.
" හුරේ "
පුතා කෑගැහුවා
"අද ශ්‍රී ලංකා, ඉංදියා මැච් එක "
"නුවන්ට මේක කියනව ද? "
උත්පලා කීප වරක්ම දුරකථනය අතට ගත්තා. ඒත් හිත හදාගන්න බැරි වුණා.
" මීට පස්සේ මංජුල කියලා කෙනෙක් අපේ ජීවිත වල නැහැ."
නුවන් එහෙම කිව්වේ උත්පලාව විවාහ කරගත්ත දවසේ රෑ. එදා ඉඳලා කවමදාවත් මංජුලගේ නම ඒ වහල යට සඳහන් වුණේ නැහැ.
රෑට දරුවෝ දෙන්නට විතරක් රොටි පුච්චපු උත්පලා කෑවේ කෙසෙල් ගෙඩියක් විතරයි.
"හෙට දෙන්නම ගෙදර නවතින්න " රෑට කන අතරේ උත්පලා කිව්වා.
"ඒ මොකද ඒ " දුව බැලුවේ ඇස් ලොකු කරගෙන.
"හෙට අපිට මළ ගෙදරක යන්න තියෙනවා "
"කාගෙද"
"මගේ ළඟ නෑයෙක්ගේ "
"තාත්තත් එනවද " පුතා ඇහුවා.
"තාත්තට නම් එන්න බැරිවෙයි. "
"අනේ අම්මේ මට ඉස්කෝලේ වැඩ පාඩුවෙයි "
දහයේ පංතියේ ඉන්න දුව නහයෙන් ඇඬුවා.
අටේ ඉන්න පුතා නම් මොකුත් කීවේ නැහැ.
" අම්මා අද හරි අමුතුයි " දුව කීවේ උත්පලා දෙස කල්පනාවෙන් බලන ගමන්.
"මට උණ ගන්න වගේ ඔළුව කකියනවා.ඇඟත් රිදෙනවා "
දුරකථනය නාද වුණේ එවිටමයි. ඒ නුවන්. එදිනෙදා විස්තර මිසක් වෙන දෙයක් නුවන් ඇහුවේ නැහැ. උත්පලා කීවෙත් නැහැ.
වේලාසනම ඇඳට ගියත් උත්පලාට නින්ද ගියේ නැහැ. නුවන් දුර යන දවස්වලට තනියම නිදාගෙන පුරදු වුණත් එදානම් තනියම ඉන්න බැරි ගතියක් උත්පලාට දැනුනා.ඇඳෙන් නැගිටලා දරුවන්ගේ කාමරේ දොර ළඟට ගිය උත්පලා ,
"කවුද අද මාත් එක්ක නිදාගන්න එන්නේ" කියලා ඇහුවා.
අක්කයි, මල්ලී දෙන්නම පෙරෝන රෙදිත් අරගෙන ඇවිත් උත්පලාගේ දෙපසින් ඇලවුණා. උත්පලාට දැනුණේ හරිම ආරක්ෂිත බවක්. ඒ වගේම උණුසුමක්.දරුවෝ දෙන්නා ඉක්මනටම නින්දට වැටුණා. ඒත් නින්ද උත්පලාව රැවටුවා.
විවාහ වෙලා අවුරුද්දක් ගිය තැන උත්පලාගේත් මංජුලගේත් කැදැල්ලට දුවෙක් එකතුවුණා. මංජුල කොහොමත් කැමැත්තෙන් හිටියේ දුවෙකුට. මංජුල කවදත් වැඩ ඇරුණු ගමන්ම ගෙදර දුවගෙන එනවා. උත්පලාගෙනුත් දුවගෙනුත් තොර ලෝකයක් මංජුලට තිබුණේ නැහැ.
ඔය අතරේ මංජුලට උසස්වීමක් ලැබුණා. මෝට සයිකලෙන් ගිය මංජුල කාර් එකක් ගත්තේ දුවව තෙමන්න බැහැ කියමිනුයි. මංජුලට රාජකාරිත් වැඩි වූණා. නිතර දුර බැහැර යන්නත් සිද්ධ වුණා. නිවසේ ගතකරන කාලය අඩු වුණා. ඒත් උත්පලාට වචනයක වත් අඩුපාඩුවක් කළේ නැහැ.
දුවට අවුරුදු දෙක පිරෙන්නත් කලින් පුතා ලැබුණා. තමන් සියල්ලෙන්ම සම්පූර්ණ ගැහැණියක් කියලයි උත්පලාට හිතුණේ.
මංජුලගේ පුංචි පුංචි වෙනස්කම් දැනෙනකොට පුතාට මාස හයක් විතර ඇති. උදේට නිවසින් කෑම අරගෙන ගිය මංජුල එක පාරටම කිව්වා කෑම එපා කියලා. හේතුව විදියට කිව්වේ දරුවෝ දෙන්නත් එක්ක උත්පලාට පාන්දර නැගිටලා උයන්න තියන අපහසුව.
මංජුලගේ කලිසන් සාක්කුවක තිබිලා චිත්‍රපටියක් බලපු ටිකට් දෙකක් හම්බවුණත් උත්පලා සැක හිතුවේ නැහැ. ඒ පිටිපස්සේ එලෙව්වෙත් නැහැ.
උත්පලාගේ අයියට තමයි මංජුල වැඩකරන තැන කෙනෙක් සුභානි ගැන කියලා තිබුණේ. ඒ වෙනකොට සම්බන්ධය හුඟක් දුර ගිහින්. උත්පලා මංජුලට කිව්වා ඒ සම්බන්ධය නවත්තනවා නම් හැම දෙයක්ම අමතක කරන්න තමන් ලෑස්තී කියලා. ඒත් මංජුල කිව්වේ තමන්ට සුභානිව අමතක කරන්න බැහැ කියලා. එදාම හවස අයියව ගෙන්නවගත්ත උත්පලා දරුවෝ දෙන්නත් අරගෙන මහ ගෙදරට ගියා.
උත්පලාගේ දමව්පියෝ විශ්‍රාමික රජයේ සේවකයෝ. ඒ දෙන්නා විතරයි මහ ගෙදර හිටියේ. උත්පලා ගෙදර ගිහින් මාසයක් වෙන්නත් කලින් මංජුල දික්කසාද නඩු දැම්මා. උත්පලා කැමැත්තෙන්ම දික්කසාදය දුන්නා. දරුවන්ට නඩත්තු ඉල්ලුවෙත් නැහැ. ආදරය මියගිය තැනින් තව මොනවා අරගෙන යන්නද කියලා උත්පලාට හිතුණා.
උත්පලාට නින්ද යනවා උත්පලාවත් දන්නේ නැහැ. ඇහැරෙනකොට ජනෙල් තිර අතරින් ඉර එලිය කාමරයටත් වැටිලා. ඉක්මනට නැගිටලා කුස්සියට ගියේ මොනවා හරි උයලා තියලා යන්න හිතාගෙන.
" මම මේ කරන්න යන දෙය හරිද?
නුවන්ට නොකියා යන එක හොඳද?
නුවන් දැනගත්තොත් මොනවා හිතයිද?
ප්‍රශ්ණ ගොඩයි.
"ඒක ඒ වෙලාවට බලාගන්නවා. මොනවා වුණත් මම ළමයි දෙන්නත් එක්න මළගෙදර යනවා. "
උත්පලා හිත හදාගත්තා.
වසර ගණනාවකින් ඇවිත් නැති වුණත් තමන්ට තවමත් පාර හුරුපුරුදු බව උත්පලාට දැනුණා. මග දිගටම සුදු කොඩි දාලා. හැම තැනම තිබුණේ පාළු මූසල ගතියක්.
ත්‍රී රෝද රථයෙන් බැහැපු උත්පලා දරු දෙදෙනව දෑතින් ලංකරගත්තා. ගෙට ගොඩවන තැනදිම උත්පලාට සුභානිව මුණගැසුණා. කවදාවත් කතාබහ කර නොතිබුණත් දෙන්නට දෙන්නා දැකලා තියෙනවා උසාවියෙදි. ආචාර කරනකොට සුභානි උත්පලාගේ දෑතින් අල්ලගත්තා. ඒ අත් වෙව්ලන බව උත්පලාට දැනුණා. දෙදෙනාගෙම ඇස් වලින් කඳුළු කැට කඩාවැටුණා. ඒ දෙස දරු දෙදෙනා බලා හිටියේ පුදුමයෙන්. මංජුලගේ අම්මයි, නංගී දෙන්නත් ඇවිත් කතාකලේ දරු දෙන්නවත් අතගාමිනුයි. පිරිස අතර කසු කුසුවක් පැතිරෙන බව උත්පලාට ඉවෙන් වගේ දැනුණා.
ඒ කිසිවක් ගණනකට නොගත් උත්පලා මංජුලගේ දේහයට දණගහලා වැන්දා. දේහයට වඳින්න කියලා කියනකොට මදක් අදිමදි කළත් දරු දෙදෙනත් දණගහලම වැන්දා. උත්පලා පුටුවක ඉඳගත්තේ දරු දෙදෙනව දෙපසින් තියාගෙන. ගෙට ගිය සුභානි අවුරුදු දහයක විතර නිවුන් දැරියන් දෙදෙනෙකු කැඳවාගෙන විත්
"මේ මංජුලගේ දූලා දෙන්නා "
කියමින් හඳුන්වා දුන්නා.තමන්ගේ දියණියගේ කපාපු පලු නොවේදැයි හිතෙන විට උත්පලාගේ ඇස් වල නැවතත් කඳුළු පිරුණා.
උත්පලාට දැනුණේ තවත් එතන ඉන්න බැරි ගතියක්.
"යන්නම් " කියලා සුභානිට කියනකොට
"බණ සෙනසුරාදා " සුභානි කිව්වා.
කිසිවක් නොකියා එළියට බැස්ස උත්පලා දරු දෙදෙනත් සමග ත්‍රී රෝද රථයට ගොඩවුණා. මොන තරම් හිත පාලනය කරගන්න හැදුවත් නැවත නැවතත් දෑසට කඳුළු පිරුණා.
" අර නංගිලා දෙන්නා අක්කා වගේමයි " පුතා කියනවා ඇහිලා උත්පලා ගැස්සුණා.
ඒ එක්කම උත්පලාට නුවන්ව මතක් වුණා. එකම පාසලේ ඉගෙනගත් නුවන්ව කාලෙකට පස්සේ නැවත උත්පලාට මුණගැසුණේ මංගල උත්සවයකදී. නුවන් හිටියේ මංජුලගේ පංතියේ. නුවන් දැනගෙන ඉඳලා තියෙනවා උත්පලාගේ දික්කසාදය ගැන.
"ඕවා ඕන තරම් සිද්ධ වෙන දේවල්.ජීවිතය එතනින් නවතින්නේ නැහැ." එහෙමයි නුවන් කිව්වේ.
ඊට සතියකට විතර පස්සේ නුවන් ගමේ ආපු වෙලාවක උත්පලාගේ ගෙදර ආවා. නුවන් එදා දරුවෝ දෙන්නව දැක්කා. දරුවෝ දෙන්නව හුරතල් කළා. දෙවෙනි දවසේ ආවේ අම්මත් එක්ක. ඒ උත්පලාට මංගල යෝජනාවකුත් අරගෙන. මුලදි නම් උත්පලා බැහැම කියලමයි කිව්වේ. අවුරද්දක් විතර නුවන් යන එන කොට දරුවෝ නුවන්ට හුරු වුණා. ළං වුණා. තමන්ගේ තාත්තා නුවන් කියලයි දරුවෝ හිතුවේ.
උත්පලාටත් ඒත්තු ගියා නුවන් හොඳ කෙනෙක් කියන එක. අම්මයි, තාත්තයි කිව්වේ වෙන ආදායමක් නැති උත්පලා තමන් නැති කාලෙක අසරණ වෙන බවයි. ඒ වෙනකොට උත්පලාගේ හිතෙත් නුවන් පිළිබඳ ආදරයක් හටගෙනයි තිබුණේ.
තමන්ගෙම දරුවන්ට වගේ උත්පලාගේ දරුවන්ට ආදරය කරපු නුවන් කිසිමදාක ඔවුන් මංජුලගේ දරුවන් කියලා හිතුවේ නැහැ. දරුවෝ නම් දන්න එකම තාත්තා නුවන්.
ත්‍රී රෝද රථය නිවස ඉදිරිපිට නවත්වන්ටත් පෙරම උත්පලා දැක්කා ගේට්ටුව ඇරලා දාලා තියෙන බව.බැහැලා බලනකොට තමයි දැක්කේ මිදුලේ නවත්වලා තියෙන නුවන්ගේ කාර් එක.
" ඔයාලා කොහෙද ගියේ මම කෝල් කලාට ෆෝන් එක වැඩකළේ නැහැ " නුවන් කිව්වා.
කිසිවක් නොකී උත්පලා, දුවට යතුර දුන්නා දොර අරින්න.
"ආරංචිය ලැබුණු ගමන්මයි දුවගෙන ආවේ."
නුවන් උත්පලාගේ අත් දෙකෙන් අල්ලාගත්තා.
" දුක් වෙන්න එපා. මංජුල නැතිවෙලා . දරුවෝ දෙන්නත් එක්ක ගිහින් එමු ."
මොනවා කියන්නද කියලා හිතාගන්න බැරිවුණු උත්පලා නුවන්ගේ පපුවේ හිස හොවාගෙන ඉකිබින්දා. නුවන් වෙනුවෙනුත් හෙළන්න කඳුළු උත්පලා ළඟ තවත් ඉතිරිව තිබුණා.
