උණුසුම් පුවත්කාලීනවිශේෂාංග

කම්කරුවනි එක්වව්! කම්කරුවනි එක්වව්!! කම්කරුවනි එක්වව්!!!

පක්ෂ පාට වලට බෙදී ශක්තිය දියකර ගන්නා කම්කරු පන්තිය ප්‍රමුඛ වැඩ කරන ජනතාව කවරදාක එකමුතු වේ ද???

ලෝක කම්කරු දිනය අද යි. කෝටි සංඛ්‍යාත ලොව ගොඩනඟන්නට දහදිය, ශ්‍රමය වගුරන වැඩ කරන ජනතාව අභිමානවත් අයුරින් එකාවන් ව එකට පෙළ ගැසී තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම මෙන් ම අලුත් අයිතීන් දිනා ගන්නටත් සඵත කරනා දිනය අද යි.
 අදින් හවුරුදු එකසිය තිස් අටකට පෙර ඇමරිකාවේ චිකාගේ හී කම්කරු දනන් පැය අටේ වැඩ නීතිය ඉල්ලා දියත් කළ අරගලය හැඳින්වෙන්නේ 'හේමාකට්' අරගලය ලෙසට යි. ඒ දවස හරියට ම කියනවා නම් 1886 මැයි මස 04 වනදා යි. මැයි -1 වන දා පටන් ඔවුන් කළ උද්ඝෝෂණය දවසින් දවස තීව්‍රවී 04 වන දා වෙන විට ඉතා උච්චස්ථානයකට පත්ව තිබිණි. එහිදී ඒ දැවැන්ත කම්කරු පිබිදීමට කිසිවකු බෝම්බයක් දමා ගැසීමත් සමඟ උද්ඝෝෂකයෝ ද ප්‍රචණ්ඩ වූහ. ඒ අවස්ථාවේ දී පොලිසිය කඩා පැන අර දැවැන්ත කම්කරු සමූහයාට එල්ල කළ ප්‍රහාරවලින් අහිංසක කම්කරුවෝ එකොළොස් දෙනෙක් මරු වැළඳ ගත්හ. තවත් එකසිය තිස් දෙනකු තුවල ලබා රෝහල්ගත කෙරිණි.
පොලිසිය විසින් උද්ඝෝෂකයින් සියයක් දෙනා අත්අඩංගුවට ගන්නා ලද්දෝ ය. මේ තිරස්චීන මෘග පහරදීමට එරෙහිව ඇමරිකානු කම්කරු සම්මේලනය විසින් මැයි 01 වන දා සිය අරගලය සනිටුහන් කරන්නට තෝරා ගන්නා ලදි.
සාම්ප්‍රදායිකව මැයි 01 වන දා යනු යුරෝපාකරයේ වසන්ත උත්සවය පැවැත්වෙන දිනය යි. ඒ වන විටත් ලොව පුරා රටවල් රැසක පැතිර පැවති මාක්ස්වාදී සංවිධාන පැරීසියේ දී රැස්ව පෙර පැවති කම්කරු සංගමයේ අනුප්‍රාප්තිකයකු සේ 1889 දී දෙවන ජාත්‍යන්තරය පිහිටුවා ගනු ලැබිණි.
අද සමස්ත ලෝකයා ම මැයි දිනය සමරති. ඒ කම්කරු දිනය සේ ය. ඒත් මෙවන් දිනයක් මුළින් ම ඉල්ලා සිටියේ කවුරුන් ද? ඒ ගැන සඳහනක් නිවැරදිව පැවසිය නොහැකි ය. එනමුදු කෙනෙක් පෙන්වා දෙන්නේ කම්කරුවනට නිවාඩු දිනයක් ඇවැසි බව ප්‍රකාශ කරමින් හඬ නැඟුවේ වඩුකාර්මිකයන්ගේ සහෝදරත්ව එකතුවේ ප්‍රධාන ලේකම් සහ ඇමරිකානු කම්කරු සම්මේලනයේ සම නිර්මාතෘ පීටර් ජේ මැග්ගුවර් විසින් බව යි. ඒ 1882 දී ය.
මොහුගේ මේ ස්ථානයට අභියෝග ද නැත්තේ නොවේ. බහුතරයක ගේ විශ්වාසය පීටර් මැග්ගුවේ නොව එහි ගෞරවය හිමිවිය යුත්තේ යාන්ත්‍රික ශිල්පී මැතිව් මැගුවර් ට බව යි.මේ පිළිබඳ මෑත කාලීනව පර්යේෂණයන් හි යෙදුණහු සහාය දක්වන බව පෙනෙන්නේ නිව් ජර්සිහි පැටර්සන් හි මැතිව් මැගුවර්ට කියා යි. ඔහු යන්ත්‍රෝපකරණ ශිල්පීන් ගේ සංගමයේ ප්‍රාදේශීය ලේකම්වරයා විය. හේ නිව්යෝර්ක් හි මධ්‍යම කම්කරු සංගමයේ ලේකම් සේ සිටිය දී කම්කරු නිවාඩු දිනයක් යෝජනා කළ බව කියැ වේ.ජනාධිපති ක්ලිව්ලන්ඩ් ජාතික කම්කරු දිනයක් ප්‍රකාශයට පත් කිරීමේ නීතියට අත්සන් කිරීමෙන් අනතුරුව පීටර්සන් මෝනින් කෝල් මතයක් ප්‍රකාශයට පත් කර ඇත. එම නුවර අසහාය කතුවරයා වූ ඇල්ඩර්මන් මැතිව් මැග්ගුයෙර්ට ගෞරවය හිමිවිය යුතු බවයි. මැග්ගුයෙර් හා මැක්ගුයෙර් යන දෙදෙනා ම ඒ අවුරුද්දේ නිව්යෝක්හි පැවති පළමු වැනි කම්කරු පෙළපාළියට හවුල් වූහ.
අප මේ කතා කළේ මැයි දිනය හෙවත් ලෝක කම්කරු සැමරුම් දිනයේ ආර‌ම්භයේ ඉතිහාස සටහන් සංෂිප්තයක් හැටියට යි.
අපේ රටේ හෙවත් හෙළදිව හෙවත් සිලෝන් නැත්නම් ශ්‍රී ලංකාවේ පළමු මැයි දිනය කෙසේ කවුරුන් විසින් ඇරඹුවෙහි ද? අද වන විට ලෝකයක් නිර්මාණය කරන, රටක් ගොඩනඟන පෙරමුණේ හෙවත් කම්කරුවන් ගේ තත්ත්වය හා කම්කරු දිනයේ ස්වරූපය, ස්වභාවය කෙබඳු දැ යි දැන් ටිකක් විමසා බලමු.
ලංකාවේ හෙවත් සිරි ලකෙ හි පළමු මැයි දින සැමරුම පවත්වන්නේ ලෝක කම්කරු දින සැමරුම ඇරඹී හවුරුදු හතළිස් එකක් ඉක්ම ගිය පසුව යි. ඒ ඇලෙක්සැන්ඩර් ඒකනායක ගුණසිංහ හෙවත් ඔබ අප කවුරුත් ඒ. ඊ. ගුණසිංහ නමින් හඳුන්වන කම්කරු නායකයාගේ මෙහෙය වීමෙනි. ඒ 1927 දී ය. ඒ වන විට ගුණසිංහයෝ හවුරුදු තිස් හයවැනි වියේ පසු වූහ. හේ උපත ලබන්නේ චිකාගෝ කම්කරු ඝාතනයට හවුරුදු පහකට පසුව ය. 1991 මැයි 01 වන දා මහනුවර දී ජන්මලාභය ලද ඔහු ධර්මරාජ විදුහලෙන් හා කොළඹ ශාන්ත ජේෂප් විදුහලෙන් ද වෙස්ලි විදුහලෙන් ද අධ්‍යාපනය ලද්දෙකි. දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවයට පත් ගුණසිංහ කම්කරු පන්තිය සංවිධානයට පිවිසෙන්නට පෙර  අධිරාජ්‍ය විරෝධී ක්‍රියාවන් ඇරඹීමට තරුණ ලංකා සමාජය ඇරඹීමට පුරෝගාමී වූයේ ය. 1915 ඇකි වූ කැරැල්ලට හවුල් වී සිරබත්වල රස බැලුවේ ය. ඔහු  මහාමාන්‍ය ඩී, එස්. සේනානායක, එෆ්. ආර්. සේනානායක, ඩී. බී. ජයතිලක, සී. ඒ. හේවාවිතාරණ ආදීන් සමඟ මාර්ෂල් ලෝ නැතිනම් යුද නීතිය යටතේ සිරගතව හිඳ එළියට පිවිස ජනතා අයිතිවාසිකම් කෙරහි හිත යොදවමින්ව පුවත්පත් කලාවේදියකු සේ කටයුතු තරමින් සිටිය දී කම්කරු පන්ති සටන්වලට නායකත්වය දීම ඇරඹී ය.

1927 දී ඔහු විසින් ප්‍රථම මැයි දින සැමරුම පවත්වා 1931 දී ප්‍රයිස් පිටියේ සිට ගාලු මුවදොර තණනිල්ල කරා දැවැන්ත පෙළපාළියකින් ගොස් කම්කරු දිනය සැමරූ බව සටහන් වී ඇත.
කෙසේ වුව ද සූරියමල් ව්‍යාපාරය ඔස්සේ ලාංකේය තරුණ බුද්ධිමතුන් වූ එන්. එම් පෙරේරා, පිලිප් ගුණවර්ධන, කොල්වින් ආර් ද සිල්වා, එස්. ඒ. වික්‍රමසිංහ, පී. කන්දයියා, එම්. ජී. මෙන්ඩිස්, වර්නන් ගුණසේකර, පී. රාමනාදන් ආදීන් අනතුරුව ලංකා සමසමාජ පක්ෂය ඇරඹීමත් සමඟ කම්කරු පන්තියේ හටන් අලුත් දිසාවකට යොමු විය.
හෙළදිව් හි නැතිනම් ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ අවදිවීම කෙරෙහි විමැසිල්ලක් යොමු කළ විට එය ඒ. ඊ. ගුණසිහ ඉපැදී දෙවසරක් ඉක්මෙන්නටත් පෙර ඇවිලී පාලකයන්ට මහත් ගැටලු ඇති කළ අයුරු පෙනේ. ඒ 1893 දෙසැම්බර් 12 වැනි දා මුද්‍රණ කම්කරුවන් විසින් දියත් කළ වැඩ වර්ජනය යි.අගනුවර එච්. ඩබ්ලිව්. කේව් සහ  සමාගමේ මුද්‍රණ කම්කරුවන් සේවය අත් හැරීම හෙවත් වැඩ වැරීම හේතු කරණකොට ගෙන හටගත්තු ආන්දෝලනය යි. සිරිලක වෘත්තීය සමිතියක් බිහි කරන්නට මුල් වූයේ කේව් සමාගමේ මුද්‍රණ කම්කරු අරගලය යි.
මෙසිරිලක දෙවැනි කම්කරු හටන හෙවත් වැඩ වර්ජනය හටගන්නේ ද ගෙන්දගං පොළොවෙනි. ඒ ලොන්ඩරි සේවකයින් දියත් කළ වැ වර්ජනය යි. තම සේවා ආයතනය හෙවත් ලොන්ඩරිය කොළඹ නගර සභාව විසින් ලියාපදිංචි කිරීමට එරෙහිව මේ පිරිස 1996 දී තෙසතියක් මුළුල්ලේ වැඩ වරා හුන්හ.
මේ හටන් ඇවිලීමත් සමඟ තව තව වැඩ කරන ජනයා තමන්ට බලපාන්නා වූ ගැටලුවලට විසඳුම් ඉල්ලා වැඩ වර්ජන අරඹන ලදහ  ඒත් ඒ සියල්ලට වඩා අපූරු වැඩ වැරීම කළෝ කොළඹ කේන්ද්‍ර කරගනිමින් රැකියාවේ නිරතව හුන් කරත්ත කරුවන් පන්දහසක් දෙනා කළ හටනයි. එය ද කොළඹ නගර සභාව විසින් පනවන ලද නීතියකට විරුද්ධව අරඹන ලද වැඩ වර්ජනයකි.
කරත්තය පදවන්නා බෝන් ලීය මත හෝ කරත්තයේ හෝ වාඩි වී යෑම තහනම් කරමින් පැන වූ නීතිය ඔවුන් ගේ අභියෝගයට ලක් විය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් කළ වැඩ වර්ජනයක් ගැන 1912 දී වාර්තා වේ. මේ පිළිබඳ වෙනම සාකච්ඡා කළ යුතු බව අපගේ හැඟීම යි. කෙසේ වුව ද අප මෙහි කලින් සඳහන් කළ අයුරින් සමසමාජ පක්ෂය දේශපාලන පක්ෂයක් සේ රටේ තොටේ ජනතාව අතර මහත් ප්‍රසිද්ධියක් දරන්නට වීමත් සමඟ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවකයින් තුළ අලුත් පිබිදීමක් හට ගත්තේ ය. ඒ වන විට ඒ. ඊ. ගුණසිංහයන් පාලකයන් සමඟ එක ගෙයි කෑම නිසා අලුතින් සටන් බිමට අවතීර්ණ වූ ඇම්. ජී. මෙන්ඩිස්, ඒ. වෛද්‍යලිංගම් ප්‍රමුඛ තරුණ සමසමාජ කාරයෝ කම්හල්, වැඩබිම්, රජයේ කාර්යාල වරාය වැනි මර්මස්ථානවල ඇවිලෙන කම්කරු අරගල හොය හොයා ගියේ කම්කරු පන්ති දෘෂ්ටියෙන් සන්නද්ධව යි.
ඔවුන් කෙරෙහි කම්කරු ප්‍රසාදය එන්න එන්න ම වැඩිවූයේ මොවුන් ඉතා විචක්ෂණශීලීව කම්කරු පිරිස් අතර පවතින අන්‍යෝන්‍ය සබඳතා වර්ධනයට රුකුල් දෙමින් කටයුතු කිරීම හේතුවෙනි.
කෙසේ වුවද වැඩිකල් නොගොස් ම ගුණසිංහයෝ සුදු පාලකයන් හා කරට අත දා ගැනීමත් සමඟ සමසමාජ හා කොමියුනිස්ට් කාරයන් කෙරෙහි හටගත් ළෙන්ගතුකමත් එක්ක කොළඹ නගරයේ හැම තැනකම අලුත් පිබිදීමකින් යුක්තව වෘත්තීය සමිති ඇරඹීමට ඔවුහු සමත් වූහ.
ඒ වන විට රටේ රාජ්‍ය පාලකයන් වූයේ එක්සත් ජාතික පක්ෂ ය යි. ඔවුන් සුද්දන්ගේ අවශ්‍යතා සපුරාලමින් ක්‍රියාකරද්දී සමසමාජ හා කොමියුනිස්ට් නායකයින් පාර්ලිමේන්තුව තුළ පොදු ජනහඬ නංවමින් කළ හටන් ද රටේ වැඩ කරන ජනතාවට දැඩි උද්දීපනයක් ඇති කරන්නට සමත් විය.
මේ වන විට එස්. ඩබ්ලිව්.  ආර්. ඩී. බණ්ඩාරනායකයන් ද පාලක පක්ෂයෙන් වෙන්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අරඹා අලුත් ගමනකට මුල පුරා සිටියේ ය. විපක්ෂයේ හුන්නෝ එන්. එම්, කොල්වින්, වික්‍රමසිංහ, කේනමන්, සමරක්කොඩි, පිලිප්, රොබට්, ලෙස්ලි වැනි වාවාමවාදීන්. බණ්ඩාරනායක 1956 දී බලයට පත්වීමට සඟ වෙද, ගරු, ගොවි, කම්කරු පංච මහා බලවේගයක් අරඹා දුන් පොරෝන්දු රැසකි. ඒ අනුව මැයි දිනය රජයේ නිවාඩු දිනයක් කිරීමට ඔහු පොරොන්දු විය. වාමවාදීන් ලෝක කම්කරු දිනය නිවාාඩු දිනයක් කරන්නැ යි කළ උද්ඝෝෂණවල ප්‍රතිඵලය තහවුරු වූයේ 56 බලයට පත් මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුවෙනි. සමසමාජ යේ ආරම්භක නායකයකු වූ පිලිප් ගුණවර්ධනයෝ ද එහිලා මහත් මෙහෙයක් කළහ.
එතැන් පටන් කම්කරු පන්තිය කෙරෙහි යොමු කළ ඇස් ඇති බණ්ඩාරනායකයෝ තව තවත් සහන කම්කරුවන් හා වැඩ කරන ජනයාට ලබා දුන්නේ ද වාමවාදීන් ගේ දැඩි බලපෑම් මත යි.
අද වෙන විට රටේ අට දිසාවෙහි ම සිටිනා දෙකෝටි විසි දෙලක්ෂයක් වන ජනතාව මෙන් ම වැඩ කරන පන්තිය ද කදිමට බෙදා පාලනය කරන්නට පාලකයෝ කපටි වී සිටිති.
මේ දක්වා පවතින 1980 මහා වැඩ වර්ජනයේ යෙදුණු පිරිසෙන් තවමත් කිසියම් පිරිසක් රැකියා නොමැතිව දහ දුක් විඳිති. එදා 5/6 බලයෙන් මත්ව හුන් ධාර්මිෂ්ඨ පාලකයින් ඉතා තුච්ච අයුරින් ඒ වැඩ වර්ජනය මැඩියේ හිත් පිත් නැති නරුමයින් ලෙස යි.
ඒ. ඊ. ගුණසිංහ
එදා ඒ වැඩ වර්ජනයට අද රටේ කම්කරු පන්තියේ ගැලවුම්කාරයින් සේ පෙනී සිටින ජනතා විමුක්ති පෙරමුණ කළේ පාලක ධාර්මිෂ්ඨර්ලාගේ පස්සට මුවා වී හිඳිමින් වර්ජකයන්ට කොචොක් කිරීම යි.
අද හැම සුළු දේකට ම වැඩ වර්ජනයේ යෙදෙමින් අසරණ රෝගීන් දහස් ගණනක් ප්‍රාණ ඇපයට ගන්නට තරම් ලැජ්ජා සහගත බවක් නැති සෞඛ්‍ය සේවාවේ කිසිදු අංශයක් 80 මහා වැඩ වර්ජනයට ඈඳා ගන්නට වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පියවර නොගත්තේ වෛද්‍යවරුන්ගේ පිහිට පතා ගෙන රෝහල් කරා  ඇදී එන අසරණ රෝගීන් කෙරෙහි දැක්වූ අනුකම්පාව හේතු කොට ගෙන යි. එදා 80 වර්ජනයට සෞඛ්‍ය ක්ෂේත්‍රය කැඳවන්නට ඔවුන් පියවර ග්තේ නම් වර්ජකයන් හමුවේ 5/6 බලය තිබූ පාලක ධාර්මිෂ්ඨර්ලා දණ ගහනු සහතික ය.
අද කොමියුනිස්ට් සමසමාජ පක්ෂ වලින් එදා කළ හටන් හා වැ කරන ජනතාවට දිනා දුන් බොහෝ දේ දැන් එකින් එක ධනේශ්වර පාලකයින් විසින් උදුරා ගනිමින් සිටී.

ජනසතු ව්‍යාපාර හබක් ය. සියල්ල විකුණා කෑමේ ප්‍රතිපත්තියකිනි ආණ්ඩුව ක්‍රියා කරන්නේ. රටේ ජනතා අයිතීන් එකින් එක කප්පාදු කරමින් මේ භූමිය තුවක්කුවෙන් යටත්  කර ගන්නට සුද්දන්ට බැරි වූ දේ අද අයිඒම්එෆ් හා බටහිර බලවතුන් ගහන ගහන පදේට නටන පාලකයින් කරමින් සිටියි.
රතුපාට  දියකර හරිමින් සිටින ජවිපේ ද දැන් නටන්නේ මව්බිම නැත්තං මරණය අධිරාජ්‍ය   වාදයට විනාශය, ජනතාවට විමුක්තිය කියා එදා නැගූ හටන් පාඨ කුණු කූඩයට දමා ඇමරිකන් තානාපතිනිය කියන දේට අනුව ය. ලාංකේය වැඩ කරන ජනතාව අද භුක්ති විදින යම් වරප්‍රසාදයක් වේ ද ඒ සියල්ල දිනා දුන් සමසමාජ කොමියුනිස්ට් පක්ෂ ද හඩක් නොනඟා කුම්භකර්ණ නින්දකට වැටී සිටියි.
අපි එක්වෙමු. රට ගොඩ දාමු යන සටන් පාඨ පුවරු ඔසවා ගත්තු කම්කරු පන්තිය ප්‍රමුඛ වැඩ කරන ජනතාව කොළ, නිල්, දම්, රතු ඈ දේදුණු වර්ණවලට බෙදා ගෙන පක්ෂ නායකයින් කරන්නේ අධිරාජ්‍යවාදීන් හා උනට කත් අදින ඊනියා නායකයින්ගෙන් සැදුම් ලත් කුපාඩි පක්ෂ පාට කර පින්නන් යන්නන් බවට පත් කොට හමාර ය.ඉදින්.....
මේ තවත් එක් මැයි දිනයක් නොවේ. එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන තම හයිය හත්තිය පෙන්නන්නට අමුඩ ගසාගත් දේශපාලන කුපාඩියන් ගේ ඊනියා මැයි සැමරුම් ය.
සබඳ ඔබ අප බෙදා වෙන් කර ගෙන මේ කපටි අමනෝඥ දේශපාලු උත්තමයන් කරන්නේ අප රවටා උන්ගේ ජාම් බේරා ගැනීමයි. ඇමරිකාව ප්‍රමුඛ බටහිරයන්ට ආවඩමින් මේ රටේ සියලු සම්පත් හූරා පෙරා ගන්නට ඉඩ හසර පෑදීම යි.!
ඉතින්... මෙහෙම තව කොච්චර කාලයක් ගත කළ හැකි ද? අපි අනාගත පරපුරට දෙන්නේ වෛරයත් ක්‍රෝධයත් දුෂ්ටකමත් කරපින්නා ගත්තු කපටියන්ගේ දූ පුතුන්ටත් බටහිරයන්ටත් මෙසිරිලක ගොදුරු බිමක් නින්දගමක් කර ඒ මතුපරපුර ද උකසට තැබූ මහ පොළොවක් ද?
කම්කරුවනි එක්වව්!!                                             
නරුම මිනිසුන් වෙතින් උත්සාහ කරන්න ගැලවෙන්න. නෙත් වසා ඇති පාට පාට රෙදි කඩ ගලවා දමන්න. ලෝකයේ සෙසු රට රාජ්‍යයන් දවසින් දවස ඉහළට නඟිද්දී අප තව තවත් පාතාලයක අගාධයක පත්ලට ම ගිලී නැසෙමු ද යන්න හිතන්නට කාලය යි මේ. හිතන්නට දවස යි මේ. මානුෂිකත්වය ගරු නොකරන පිම්පියන් සමඟ තව දුරටත් දීග කෑ හැකි දැ යි හිතන්න. නැතිනම් අනාගත පරපුරෙන් ඔබටත් මටත් නිවී හැනහිල්ලේ හතර  රියෙනවත්ප සාමයෙන්ට සැතපෙන්නට ඉඩක් නැති වේවි.
ලෝකයේ කම්කරුවනි ඒක්වව්.  මෙසිරිලක කම්කරුවනි එක්වව්!!!
 - සුගතපාල මැන්දිස් -