ඒ නිසා පළාත් සභා මැතිවරණය පවත්වන්න - විපක්ෂ නායක සජිත්
සමගි ජන බලවේගයේ සමාජ සේවා ගමන හා දේශපාලන ගමන තුළ ජනතාව සමඟ සිටින නිසා ඕනෑම අවස්ථාවක ඕනෑම මැතිවරණයකට සූදානම් බවත් සමගි ජන බලවේගය ප්‍රතිපත්ති ගරුකව සමගි ජන බලවේගයේ නායකත්වයෙන් ජනතා ගැටලුවලට විසදුම් ලබා දීමට එකට වැඩ කිරිමට සුදානම් බවත් එහි දී පක්ෂවල අනන්‍යතාව රැක ගෙන කටයුතු කරන බවත් මේ එකතු වීම අවස්ථාවාදී දේශපාලන ඉලක්ක කේන්ද්‍ර කර ගෙන නොව ප්‍රතිපත්තිගරුකව රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සැපයීමට එකතු වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මහනුවර අස්ගිරි මහා විහාරයේ දී අස්ගිරි අනුනායක ස්වාමීන් වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මැතිවරණය තියෙනවා නම් දිනය ප්‍රකාශ කරන ලෙසත් මැතිවරණයක් වෙනුවෙන් සමගි ජන බලවේගය සූදානම් බවත් ඕනෑම මත විමසුමකට සූදානම් බවත් ඕනෑම ලිට්මස් පරික්ෂණයකට සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රට බංකොලොත් කළ අය අනාවරණය කළේ සජබේ අපි
මේ රට බංකොලොත් කිරිමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය ගියේ සමගි ජන බලවේගය බවත් එදා සමගි බුද්ධි මණ්ඩපය සහ නීතිඥයන් එකට එකතු වී මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තීන්දුව ගත්තේ සමගි ජන බලවේගය බවත් රට බංකොලොත් කළ අය අධිකරණය හමුවේ අනාවරණය කළේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
අපේ බලපෑම නිසායි විදුලි බිල වැඩි කිරිම නතර වුණේ
සමගි ජන බලවේගය කතා කළ නිසා විදුලි බිල වැඩි කිරිම නතර කිරිමට රජයට සිදු වූ බවත් 33%කින් විදුලි බිල අඩු කරනවා කියූ වත්මන් රජය අයි. එම්. එෆ්. එකේ පදයට නටමින් විදුලි බිල වැඩි කිරිමට ගිය අවස්ථාවේ එයට විරුද්ධ වූයේ සමගි ජන බලවේගය බවත් ඒ නිසා විදුලි බිල මාස 3කට වැඩි කිරිම නතර වූ බවත් රජය කියූ 33% විදුලි බිල අඩු කිරිමට බල කරමින් ඉදිරියේ දී ජනතාව සමඟ අරගල කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
මත්ද්‍රව්‍ය ජාවාරම නැති කළ යුතුමයි
පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය සරු දේ සරු ලෙසත් නිසරු දේ නිසරු ලෙසත් දකින බවත් 30 වසරක යුද්ධය අවසන් කිරීම හොඳ දෙයක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම විනාශ කිරීම ද හොඳ දෙයක් බවත් මත්ද්‍රව්‍ය ජාවාරම විනාශ කරන්නේ කවුරු වුණත් රටට හොඳක් වෙනවා නම් ඒ වෙනුවෙන් පෙනී සිටින බවත් අද පාසල් පද්ධතියේ කුඩු ව්‍යාප්තිය ඊෂි කෑෂ් හරහා කුඩු ව්‍යාප්තිය සිදු වීම නතර කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ විදිහට නම් 2028 ණය ගෙවන්න බැහැ
රටේ ආර්ථිකය සාර්ව සහ ක්ෂුද්‍ර ලෙස කොටස් 2ක් ඇති බවත් ක්ෂුද්‍ර ආර්ථිකයේ තනි පුද්ගලයන්, ගෘහ ඒකක, ව්‍යාපාර ව්‍යවසාය සහ කර්මාන්ත ඇති බවත් මේ ක්ෂුද්‍ර ආර්ථිකයට රජය කරන දේවලින් සහන ලැබී නොමැති බවත් බඩු මිල වැඩි වී මුදල් ලැබීම අවම වී ඇති බවත් මේ ආර්ථික වර්ධන වේගය වැඩි කරන්න රජයට වැඩපිළිවෙළක් නොමැති බවත් එසේ නොවුවහොත් 2028 ණය ගෙවන්න නොහැකිව අමාරු වන බවත් ඒ සඳහා ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් සෑම ක්ෂේත්‍රයකම අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
අපි නිවාස හැදුවා විතරයි. වත්මන් රජය වගේ කොළ කෑලි බෙදුවේ නැහැ.
නිවස හදන්න පෙර නිවස හදනවා කියා කොළ කෑලි බෙදන්න සමගි ජන බලවේගයට පුරුදු නැති බවත් 1987 ජගත් නිවාස වසරක් නිර්මාණය වී නිවාස දස ලක්ෂය පහලොස්ලක්ෂය නිර්මාණය වූ බවත් උදා ගම්මාන 2500 වැඩසටහන ආරම්භ වී 300 ගාණක් විවෘත කළ බවත් 2500 හදනවා කියා කොළ කෑලි බෙදුවේ නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.