උණුසුම් පුවත්කව් මිණි වැල්කාලීනවිශේෂාංගසාහිත්‍යය හා කලාව

කව් මිණි වැල්

මටත් යන්නට එන්න තිබුණා

මටත් යන්නට එන්න තිබුණා

 නෙතින් ගලනා කඳුළු ගංගා

දයාවෙන් පිසු  සුමිතුරා ඔබ

සිතින් වැටෙනා සෑම මොහොතක

දිරිය ගෙන දුන් අත්වැලයි ඔබ

ලොවින් නැගෙනා දහක් අවමන්

සිනාවෙන් පිස ඉවතලූ ඔබ

හදින් පමණක් වැළඳ සැනසූ

 පමාවී ආ සෙනෙහසයි ඔබ...

 

නිතර හිනැහෙන මුහුණ මත්තේ

 සිනාවක් පෙර සේම තිබුනා

දකින සැනෙකින් කැලුම් විහිදෙන

 නෙතේ කඳුලක් වැතිර තිබුණා

විතර මහ මෙර හිතේ සැඟ වූ

දහක් සිතුමන් සිතට දැනුනා

නහර ගණනේ රැඳුණු සෙනෙහස

 අහිමි   කරගත් පසුව හැඟුණා.....

 

"ඉතින් සමුගෙන යා හැකිය මට

 ඔබේ මුව දුටු පසුව සදහට.

පෙමින් පැතූ හිත අසල මරණය

වුවද සැපතකි බැඳුණු හිතකට"

මුවින් ගිලිහුණු ඒ වදන් වැල්

පැවසුවේ දුක රැඳුණු හිත යට

බැතින් ඉල්ලමි සමාවුව මැන

මිරිඟුවක් දැක හැඬූ මා හට....

 

දිනෙක දිවියේ සිහි වුණොත් මා

අහසෙ තරුවක් වෙලා ඉන්නම්

දුකක සිරවෙන  නිමේෂයකදී

පවන් රැල්ලක් ලෙසින් එන්නම්

දිනෙක උපදින අහිමි වන්නට

 පෙරාතුව මා සොයා ඒ නම්

ළඟක නැති මුත් වැළඳ ගැනුමට

 තවත් භවයක මුණගැහෙන්නම්....

 

වදනකින්වත් කෙනෙකු රිදවා

සතුටු නොවූ හද-වතක් තිබුණා

සිහිනෙකින්වත් අයහපත නැති

උතුම් මිනිසත් බවම රැඳුනා

කඳුලකින්වත් දුකක් දෙන්නට

බැරිකමට නිහ-ඬවම දැවුනා

කවරෙකුන්වත් යා යුතුම නම්,

 ඔබට පෙර මට යන්න තිබුණා....

 

පැතූ සෙනෙහස පුදනු නොහැකි ව

නොදන්නා මුත් මමත් තැවුනා

නොකී දහසක් හේතු අතරේ

මටත් අසරණ කමක් දැනුනා

සෙවූ සෙනෙහස ළඟා වන විට

ඉරණමේ වෙන යමක් තිබුණා

තැනූ බැමි නොම විනම් ඔබ හා

මටත් යන්නට එන්න තිබුණා.....

   චම්පිකා මුතුකුඩ

 --------------

                                                                     ලේන කුලෙන් ගෙනා..

මව් වත් සෙනේ අරුත මැන

                                 ලේන කුලෙන් ගෙනා...

පෙම්වත් ප්‍රේමයක් ඇත

                                   විරාගික නමට ලියා...

මැවුණත් කෝටියක් බුදුවරු

                            කල්ප ගාණක් භව තනා...

ලැබුණත් එපා කිව් විවරණක්

                          ඇත තිතකින් ඈත තබා...

 

 

ඉරා ගන්නැති විලි සළුවේ

                      හතර කොන් ලෙයින් තෙමා....

ගලා යන්නැති ගැලුම් ගාණක්

                    මහවැලියත් යයි එයින් ගලා...

දරා ගන්නැති උඩවැඩියාවක්

                        අහසින් පොළවටම වෙලා...

හිතා ගන්නැති මමයි අම්මා....

           ඉස් මස් ලේ නැතත් සවියට තනා.....

 

 

අවසර නැති බව දන්නවා....

                          පත්තිරිප්පුවේ පිය ගැට නගින්න....

සඳ ගල ගාවදි හිත හඩනවා

         මගෑරෙයිද පස්මහ බැලුමෙන් මං දකින්න

හිස්කර පෝයෙන් පෝයට

                                  පිරුවට කළ කුසෙන් වහන්න...

නෙලු මල් කෝටියක් තියෙනවා

                                   සුදු පුතේ නුඹ විතරක් වඩින්න....

 

ඉෂංකා මිහිරි  ️

 


දන් දී පිංකම් කරලා හිත සන්සුන් වෙන               තරමක්

අන් සතු පහනක් නිවලා සැනසෙනු බැරි එක        දහමක්

සන්සුන් මනසක් ඇත්නම් පෙර භවයේ කරපු        පිනක්

මන් මත් වී මඟ වරදා නොගන්න පතමු ද           පැතුමක්

 

දිවා රැයේ  මුහුණු පොතේ පතනා පැතුමන්                 අතරේ

ඔවා වදන් පේළි පේළි පහදා දෙන හැටි                      කතරේ

දොවා අරන් පෙරා බලා තේරුම් ගතහොත්                මිතුරේ

එහෙව් ඈයෝ  හමුනොවන්න  පැතුම් පතමු මතු         සසරේ

 

හඳින පළඳින රෙදි  වැරළි ටික ඔතා කඩමලු තබා              හිස මත

හිඳින පැල්පත දිහා නොබලා යන්න වන විට හඬයි             මිහිකත

විඳින දහ දුක කියා හඬමින්  දෑත දිගු කර අහස් කුස                වෙත

වඳින මිනිසුන් දෙස බලන්නට පඬුපුලෙත් නැහැ උණුවෙලා      හිත

 

පින්න මල් පිපී සුවඳෙන                        උදෑසන

පින්න පිණි පළස අතරින්                     සිනාසුන

සින්න කරන් පොත් මිටියට                  මුවාවුණ

දන්න කෙනෙක් කියමුද ඇගේ             නවාතැන

 

ගොන්නක් පැතුම් පුරවා මුළු දිවිය                පුරා

කන්දක් උසට ඇඳි සිතුවම් දෝත                  දරා

නින්දක් ලබා නොලබා නෙත් කෙවෙනි       අරා

දොන්නක් කඳුළු  දැමුවා දුක් පටුන               ඉරා

- ඇංජලා පැල්පොළ -

---------------------

මතක පිටු

සුදු වැලි මඟ දෙපස

ගල් තලාව දිගටම....

ඒ පාෂාණ  අතර රැඳී

සාරවත් රොඩු වල

සුදුපාට කහපාට

අරලියා ගස් දිගටම

ඇවිද ගෙන යනකොට එතනින්

නොනැවතී යා නොහැකි කිසිවෙකුට ..

එ තරම්ම මිහිරියි ඒ  සුවඳ...

 

අක්කපානා පඳුරු සරුවට

ගල් අතර හැම තැනම...

ඉරටු  තෙළිතුඩු අගින්

"අ" යනු.  "ආ" යනු ..

සමනලුන් විහඟුන් මල් උයන්

තව නේක. සිතුවමින් සැරසුණු

 අක්කපානා කොළ

ලස්සනට මුල් ඇදී

පුංචි දලු වටේටම

පොත් පිටු අතරේ සිර වූ..

අහා.... ඒ  ළමාවිය

සුන්දර ද කෙතරම්...

තවමත් තියනවා මා ළඟ

වේලුණු අරලියා මල්

පැරණි පොත් පිටු අතර....

- අනූෂා ගමඇතිගේ -