ලොප් වී ද ආදරේ?!
ජීවිතේ අරගෙන ගිහින් - ආදරේ ළඟ තියන්
වන්දි ඉල්ලා නඩු කියයි
ආදරේ පැන ගිහින්
උසාවිය නිහඬයි පත්තරේ
කෑ ගසා ගෙන කියයි
වස්තරේ ගැලවිලා නිරුවත
දෝරේ ගිහින්
ජීවිතේ ආදරේ නම්
ජීවිතේ ඇයි කාණු පල්ලේ
ආදරේ එකේක ඇඳන් උඩ
සංසාරේ පාර දිග හිඟමනේ
ආදරේ ආගමයි කියාගෙන
වැළපී හඬන ඇද්ද තව මිනිසුන්
අනංගයා විඳළ නෑ මුන්ට හරියට
ඊතලේ මුවාතයි දැක ඇත්තේ ආදරේ ට
ඒක එතකොට ආදරේ නොව
කාමයේ බඩගින්න හා පිපාසාවයි .
- චම්මින්ද වෙලගෙදර -
කාලයේ මං
ජීවිතේ ගමනක්
ආදරේ විවිධ රථ වලින්
කාලයේ මං තීරු මත යන
උසස් පෙළ පංතියේ
ජෝතීගේ ගීයක එති
කදු නිම්න අතරින්
වැටි වැටි පැදි බයිසිකල් ප්‍රේමීය
"ඉදිරියෙන් වංගුවකි, ඔය ඔතන බෑවුමකි"
මේ වගේ සංඥා
කිසිවකුත් නොවුණි එ දවස
"හැමදාම මෙහෙම ඉමු"
ඉදහිටක ලියවෙනා සැහැල්ලු ම දඩකොළය
ජීවිතය ගමනක් ආදරේ විවිධ රථ වලින්
කාලයේ මං තීරු මත යන
අනතුරුව ගොඩ වුණු සැප පහසු අසුන් පිරි
විසල් මෝටර් රථය
ඔය ඔහොම, මේ මෙහෙම
මා තරුණ කල නැමැති
තිරිංගය හසුරුවා ඈ දැමූ අණපනත්
ජීවිතය ගමනක් - ආදරේ විවිධ රථ වලින්
කාලයේ මං තීරු මත - යන මෘදු හදින් මුදුවකට
ඇරයුමක් ලැබුණු පසු - වෙදැගිල්ල බර කරන්
මැදි වියේ මම නැගපු , කෝච්චිය
අන්තයට ළගා වෙන තෙක් - අසුන් යාබදව
සැරිසරණ පිණිස වූ - දිගම දිග
පොරොන්දුව - මට වගේ කිහිපවර
අලුත් වේදිකා මත
ඇගේ නෙත
ඇගේ හිත
කොයිතරම් සසැලුණි ද?
කන්තෝරු කාමරේ - පරිගණක තිරය කතා
දැන් දුවමු - දැන් දුවමු
මේ තමා ජීවිතය
නෙක රිය මතක වැල් - මේ දවස හිත් තුරෙහි
එතී උඩු දුවන විට - මට හිතෙයි
උසස් පෙළ පංතියේ - වැටි වැටි පැද ගියපු
බයිසිකල් ප්‍රේමීය - කොයිතරම් සුන්දර ද?
අනේ ඈ කොහි වෙයි ද?
- නජිලා අධිකාරි -
පිය වලප
කොට්ටය ඉකි ගසා අඬනව යහන මත ...
පියරු සුවඳ තවමත් හමනව දසත...
ලිප්ස්ටික් කූරු මත ගැටෙනව මගේ දෙනෙත...
අල්ලනු කොහොම වෙව්ලනා මගේ සුරත...
රෝස පැහැය තවරා කල එළිය කළ...
බිත්ති හතර බුම්මන් බලනවා පහල...
පැද්දෙන තොටිල්ලත් තනිවී ඇත අහළ...
කිරි බෝතලය සොයනවා පොඩි මුව කමල...
පිරිවර සමඟ ගෙවෙනා මේ හෝරාවේ ...
සිත තනිවෙලා හඬ තලනා වේලාවේ...
රෑ වෙන ජාමේ බකමූණගේ ගීරාවේ...
පාළුව මකයි තත් ගිලිහුණු වීනාවේ...