අඬන මල
මල් පිහිය - රන්දා දිය ලණුවෙ
රූස්ස කිතුලක - හැරපට බැන්ද දවසේ
තලප්පාවෙ පිනි කඳුළු
නෙතු ළඟ ඉකි බින්ද වේලේ
කහවනු විසිරෙන්න - අමා බිඳු කැටිවී
මුට්ටිය පිරුව සන්දා
සැදුව ලේ මස් වලට සතුටක්
දුන්නෙ ඔබම යි මගේ බුදු තාත්තේ
ගල් හෙළේ දොළ අයිනෙ
විසකුරු සපුන් ගහණ වූ - කඳු සිරස නැගී උන්
කිතුලක කඳුළු - ඔබට එක් වුණ නමුදු
අමා පැණි දුන්නත් - ඊට හැර බැඳෝ දවසේ
ඇඬුවා තාත්තේ ඒදත් මා
රිකිල්ලෙන් රිකිල්ල පා තබා
කප්තුරේ නැගි ඔබට - අඳුරු සඳ තරු
මග ඇව්රුවා දෝ.... අදත්
ඉතිං මට කඳුළු විතර ම ද
- රත්නා කහඳගමගේ -
බලන් ඉන්නේ කොහොම!
මහවැලිය ගලනවා ඔහේ
සුපුරුදු මාවතේ
තවම සඟවගෙන ඉන්නවා 
නුඹෙ හස රැව්
ඇය ඇගේ රැළි අතරේ
නෙක මල් පෙති වැටිලා
ගං රැළි හැඩකාරයි
නුඹෙ මුවග හසකැන් විලස
මං නැගිටලා එන්න ආවා
බලන් ඉන්න බැරිම තැන
බලන් ඉන්නෙ කොහොම
මහ වැලිය දෙස දිගට
- වරුණ අබේසේකර -
තෙමුණු දෙකොපුල්
- ඇන්ජලා පැල්පොළ -
සිලි සිලි හඬ නගා ලාදළු ලෙලදෙනවා ...
සුපිපුණු කුසුම් මත බඹරුන් රඟ දෙනවා...
වසන්තයේ අරුණළු මැද හිනැහෙනවා...
අළුත් ඉරක් පුතු වෙනුවෙන් පායනවා...
ඇලේ දොළේ දුව පැනලා සෙල්ලම් කළ කාලේ...
කුප්පි ලාම්පුවේ එළියට රණ්ඩු කරපු තාලේ...
ලියදි දිගේ මඩ නාගෙන ගොයමේ නටපු ආලේ...
සිහි වෙනකොට හරිම දුකයි හොරුගත්තද බාලේ...
දෙනෙතට බර වැඩි කඳුලැල් දෙකොපුල් තෙමුවා...
හදවත ගැහෙනා රිද්මෙට අහසත් ඇඬුවා...
ගංගා ඇළ දොළ උතුරා හසරැලි මැකුවා...
අතීතයේ මිහිරි මතක සිහිනෙන් දුටුවා...
