ලෙයින් මුදාගත් මව්බිම
කලා භූෂණ කිවිපති තල්ගම්පළ ගුණසේන
කරවටට ම ගිලුණු එකා පිදුරු ගහෙත් එල්ලෙනවා
පෙරළුණහම ඔරුවේ ඒ පැත්ත හොඳයි පවසනවා
වැරදුණු අය බොර දියෙනුත් මාළු කන්ට දත කනවා
තරමට වැඩියෙන් පිම්ඹෙන විට ගෙම්බොත් පුපුරනවා

ගිලෙන නැවට පැන නැගිලා ජාතික වීරයකු වෙන්ට
තරම් දෑබිමානය ඇති සිංහලයෙකු බැහැ හිඳින්ට
කෙරුම්, කියුම් ගැන කාගෙත් ඉතිහාසය නොලිය වෙන්ට
අමතක වන ජාතියක් ය අපි අපගේ ගැන හිතන්ට
අනුන්ගෙ පානේ එළියෙන් තරකර ගනු පිණිස මඩි
පිණුම් ගසා වැරදුණ අය නැතත් කරළළියට වඩී
ලෙයින් මුදාගත් මව්බිම රැකගන්නට ඇතිව එඩී
නැවුම් දෑබිමානෙන් හෙළ දරුවනි හෙට තබව් අඩී
නැති බැරි වුන් බඩට කටට ගැහු කතිරෙන් රට කෙරුවෝ
පතිරුව පරපුර රකින්ට අපේ රීරි දිය කෙරුවෝ
ඉතිරෙන සම්පතින් රටේ ඵල නොගත්ත තකතිරුවෝ
වැතිරී පිටවුන් පාමුල කැට හොල්ලති රජ දරුවෝ

කිවිපති තල්ගම්පළ ගුණසේන
෴෴෴ ෴෴෴
දෙ පා සලා පියා

ගගනෝදර දෙ පා සලා පියා
වලා අස්සෙන් අස්සට යෙමින්
ඈතින් ඈත ඉමක් නොපෙනෙන
සරණා විහඟෙකි
නෙතු පිය අතරෙන් දිස්වෙන්නේ
විහඟා.....
දිරිය වඩන් විටෙක සේ යැ ඊයක්.
වරෙක උණහපුටු සැරියෙකැ
ඌ.... ඒ විහඟා
ගොදුරු සොයා යන ගමනේ දැ?
නැතිනං සැරිසරන්නේ
උගේ හෝ ඇගේ හෝ
පෙම්වතා දැ අදරවන්තියැ දැ
සොයා දැ
නොදනිතත් මම්
ඌට නැති පැනයක් හිතේ කා වැදී
දඟලන හැටි කාට කියම් ද
ඒ විහඟා නැතිනං විහඟී
නැතිව ද කාත් කවුරුන් වත් වී අසරණ
තනිව සැරිසරන්නේ ගෝර
කුරිරු උකුසන්, රාජාලියන්, ගිජු ලිහිණියන්,
අරක් ගත් නුබ ගැබ සිසාරා
පුරලාවත් ද දාන පාරමිතාව
මේ මම් සේ මැ
- සුමැ -
කඳුළින් අතරින් ආදරේ...
යටගියාවේ කටුක අමිහිරි ජීවිතය වෙත තිත තියා....
කඳුළු අතරින් හිනැහෙන්න මට ආදරෙන් දුන්නා කියා....
හැඟුම් මියගිය හිතක් තුළ නව පැතුම් පොදියක්
ගෙන තියා......
නැවුම් ළොවකට පාර හෙළිකර කැන්දුවේ මැණිකේ ඔයා...
සිහිනයෙන් ගෑ සුවඳ විලසින් ගෙවුණු කාලය දැන් නිමයි...
ජීවිතේ නව මග කියාදුන් සෙනෙහෙ වන්තිය නුඹ තමයි ...
පෙරුම් පුරමින් සංසාර මග මා සෙවූ ඒ පින් බිමයි.
ජීවිතය යළි ලබා දුන් තැන ලියැවෙන්නෙ නුබේ නමයි..

දෑසට පෙනෙන මානෙක
මගෙ මැණික මගෙ ළඟ නැත...
සිඹින්නට හිතයි..
ඒත් ..
නුඹ මගෙ ළඟ නැත....
කොහේදෝ ඉන්න නුඹ වෙනුවෙන්..
මගෙ හිත මහා දුකින්...
හිතින් පමණක් මන් ..
නුඹ ළඟින් හිඳින්නෙම්.....
සේයා රෑ බලා සැනසෙනු හැර...
නුඹ නැතිව තනිව..
මේ රැය පාළුවෙන් ගෙවනු හැර..
කුමක් කරම්ද මං...
දෑත පටලා නුඹ හා බොහෝ දුර යන...
නුඹෙ ළමැදේ හිස තබා සැනසෙන...
හීනයක
නිදි නැති රැයක් පුරාම මම ජීවත්වෙමි...
නමුදු ඇහැරුන විගස..
මෙතෙක් මා සැරිසරා ඇත්තෙ දැනගතිමි සිහිනයක බව

- මධුෂිකා -
෴෴෴ ෴෴෴
රුවල ගිලිහුණු නැවක් කවදා.....
තැලෙන පොඩි වෙන සුවඳ මල් 
පෙති ඔහේ පරවී ගියාදෝ...
දෝරේ ගලනා අහස් කඳුළින්
මහා කඳු සේදී වැටේදෝ...
මහා සයුරේ රුවල ගිලිහුණු
නැවක් කවදා ගොඩට ඒදෝ...
සිනහ වෙනහැටි කියා දෙන්නට
කවුරු කොතනක මුණ ගැසේදෝ...
- ඇන්ජලා පැල්පොළ -
෴෴෴ ෴෴෴

යුධ බිමෙන් අම්මාට✍️
ගිනි අවිය අත දරන්
රැයක් දවහලක් නැතිව
තල් වැටේ මායිමේ...
ගිනි බටය පපුව මැද තද කරන්
නිදිමරන් මා ගෙවන මේ
රුදුරු රාත්රියේ ....
දැනුණා නුඹේ සුවද
දයාබර අම්මේ....
එපා කදුළැලි සලන්න
යුද බිම මැද මියගිය හොත් මා
සිනාසෙනු මැන
දසන් විහදා.....
වීර පුතකු මැවු
විරු මවක් යැයි සිතා.......
- රාජිකා -
