මට මං වෙන්න
පාති ඇල්මක් ලොවේ සැමටම ලොකු කුඩාකම් නැහැ තකන්නේ
දාති වැට කොටු කඩා කුඩු කර එකමුතුව අද උන් රකින්නේ
නීති දමමින් දුරස් වෙනකොට ජීවිතේ රස නැහැ දැනෙන්නේ
ජාති කුලමල පසෙක දැමුදා තැලෙන පොඩිවෙන අය රැකෙන්නේ
තුරුළු වෙලා මිහිරි ගීත කියාපු ගොත ගොතා
යහළු වෙවී තරහ වෙවී ගෙතුවලු බොරු කතා
කඳුළු හංගා ගෙන දිරියෙන් ආවලු ජය පතා
කුරුලු පැටව් වගේ හිටියේ මතකද මගේ පුතා
සිනහව ළග සිනා වෙන්න
කඳුලු ළගදි එකතු වෙන්න
විරිත්තුවොත් විරිත් තන්න
මම ඉන්නවා ඔබත් එක්ක
මගහැරලා යන්න ගියොත්
ලුහු බඳින්න දෙන්නෑ හිත
ආයෙත් ආවොත් සොයාන
පිළිගන්නවා පුරුදු ලෙසින්
ජය වන්නට ලෝ සතහට
පතනවා මං ආදරයෙන්

- ඇන්ජලා පැල්පොළ -
෴෴෴෴෴෴෴෴෴෴෴

හිත රිදුණු බොහෝ තැන්
දරාගෙන හිනහෙන්න
අත් හැරුණු තැන් වලදි
හිත හිතා නොහඩන්න
ජිවිතය අතරමග
නොනැවති ජයගන්න
කවුරුවත් වගේ නෙවෙයි
මට ඕනැ මම වෙන්න

- රොක්ෂි ෂයින් -