උණුසුම් පුවත්කව් මිණි වැල්විශේෂාංගසාහිත්‍යය හා කලාව

කවිකාර මඩුවේ අලුත් හවුරුදු අසිරිය

සුවපත් සුන්දර සිතක....

පිය සකිය, සකියනී!

සුවබර සුවපත් සුන්දර සිතක සැහැල්ලුව ඔබට දැනෙන සුබ අලුත් අවුරුද්දක් ම වේවා!

පෙරදා රැයේ සූර්ය සංක්‍රමණයත් එක්කම වැටුණු පොද වැස්ස ආසිරි මල් පොදක් කියා අපි හිතමු.

ඒත් එක්කම අපි හිතපු බොහෝ දේවල් වගේම එයත් තවත් එක් සිතුවිල්ලක් නොවේවා කියලත් අපි එක්ව එක් සිත්ව පතමු.

අපි ජනවාරී පළමුදාටත් සුබ පතනවා. රාජකාරියට යන්නෝ එදාට අලුත් ඇඳුමින් සැරසෙනවා. ඒකත් අවුරුද්දක්.

ඒත් බක්මහ වසන්ත මංගල්ලය අමුතුම හැඟීම් දනවන , සිතුම් පැතුම්වලින් අමුතු සංස්කෘතික ප්‍රාණවත් බවක් දැනෙන වසන්තයේ පිබිදීමක්. සිතට ගතට දැනෙන මංගල්ලයක්.

ඒකේ රැඳෙන්නේ දේශජ හැඟීම් මත ලබාදෙන ජාතික අභිප්‍රේරණයක්.

එය එසේ වෙන්නේ ඇයි?

ආදී මානවයාගේ පටන් ඇරඹි අභිචාර ක්‍රියා කෘෂි  ජීවනය හා  බැඳීමෙන් ලත් ශික්ෂණය නිසා.

ඒක තවමත් වත්මන් මානවයාගේ ජානවල තැනින් තැන හෝ රැඳී ඇති නිසාත්.

ගස් කොළන් සමග පරිසරයේ වෙනස සිත සනහන්නක්. අටු කොටු පිරුණොත් ඒක තවත් සිත් සැහැල්ලුවෙන් සනහාළන්නක්. ගොවියෝ නෙළා ගත් අඩ්වැන්නෙන් සැනහෙන අතර ශ්‍රම ප්‍රජාව උත්සව අත්තිකාරමින් හෝ ප්‍රසාද දීමනාවෙන් ලබන්නේත් ගොවියා ලබන සතුටමයි. එය සතුටම මුල් වෙන්නේ අපේ කම මුලට ගත් නිසා. ඒ නිසාම එය කෝණ මංගල්ලයක් වුනා.

ඒත් එක්කම පුදපූජා හා බැඳුණු සිරිත් විරිත් රැසක් ඇති වුනා පැවති සමාජය විසිරී නොයා එකට බඳ තැබිය හැක්කා වූ.

එහෙත් අපි දැන් අවුරුදු ගාණක් පුරා ඒ ක්‍රියා පිළිවෙත් පුරමින් එනවා.

සිංහල අලුත් අවුරුද්දේ නැකත් කියන්නේ මුළු රටක් එක් කරන මහ පුදුම සොඳුරු ආඥාදායකත්වයක්  දරා ඉන්නා කාරියක්. එකම මොහොතකට අවුරුද්ද විඳින්නෝ එකම කාරියක් එකම දෙයක් එකම ලෙසකින් කිරීමට සෑදී පැහැදෙනවා.

ඒ නිසා අලුත් අවුරුදු චාරිත්‍ර තුළ සාමය, සෞභාග්‍යය ,සහජීවනය හා පිළිවෙත් රකින සමාජයක් බිහි කිරීමේ කාර්ය භාරය ගැබ්ව තියෙනවා. අවුරුදු කාලෙට ඒ ගැන බොහෝ දේවල් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් කතා කරනවා. පෙන්වනවා.

ඒත් තවමත්  අපි එතැනම නේද?

හරියට බණ කියනවා පිරිත් අහනව හා සජ්ඤයනා කරනවා. ඒවායින් ලෙඩ රෝග හැදෙන්න එපා කියනවා. ආරාවුල් වියවුල්  නැතිවෙන්න කියනවා. සාමය රැකී රට සුඛිත මුදිත වෙන්න කියනවා. ඒත් රට තිබුණාටත් වඩා ප්‍රයෝගකාරියි. විනාශ කාරියි. ආරාවුලින් පිරිලා. එසේ නම් ඒ බුදු ගුණ බලයක් නැද්ද ?

නැත්නම් කියන අයගේ බලයක් නැද්ද ? එහෙම නැත්නම් අහන අයගේ..?

අවුරුදු චාරිත්‍රත් එහෙම්මමයි කියා මට හිතෙන්නේ.

ඒ නිසා අද අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර අළෙවිකරණය විසින් පූර්ණ අත් අඩංගුවට ගත් පැකේජය ක් බවට පත්වෙලා.එහි අපේකම තබා තිබිය යුතු මානවීයත්වය හෝ නෑ.

ඒක අපි තවමත් තේරුම් අරගෙන නැහැ.

හැබැයි ඒක ගහට කොළට පරිසරයට

තේරිලා.

සතා සීපාව පවා තේරුම් අරගෙන.

ඒ නිසා දැන් එරබඳු මල් නෑ පිපෙන්නේ.

කොහා නෑ ඉස්සර වාගේ ඒ ගී හඬ අපිට දෙන්නේ.

රබන් හඬක් සිව්දිශාවෙන්වත් නෑ ඇහෙන්නේ රූපවාහිනියෙන් විනා.

අද ඒ පරිසරයෙන් ජනිත වූ අපේකම මත පදනම් වූ මනුස්සකම,සාරධර්ම අපෙන් දුරස්ථ වෙලා.

ඒ නිසා අපි මේ කරන්නේ අවුරුදු චාරිත්‍රවලින් ජීවිතය පිරීමක් නොවෙයි .පුරුද්දට "යමක් " කිරීමක්.

ඒ නිසා බොහෝ තන්හි ඒවායේ ජීව ගුණයක් හෝ ඕජෝ ගුණයක් නෑ.

හදවතින් මතුනොවන දෙයක් හරියට ඉටු වෙන්නේ නෑ වගේම එය ඉටු කිරීමක් පමණක් වෙලා.

ආයෙත් අපි එතැනමයි.

අපි මේ තත්ත්වයෙන් මිදෙන්නට ඇවසි කටයුතුවල යෙදෙමු.

එදා සිදු වූයේ පුරාණ මිනිසුන්ගේ අභිචාර වන්දනාවක් නොවේ අවුරුද්ද ,එම සිරිත් විරිත් අපේ දේශයේ සශ්‍රීකත්වය හා එකමුතුව ඇති කරන්නට මහා වෙරකින් ඇඹරූ රන්හුයක් සේ

සිතමු රකිමු.

අපේ අවුරුදු පැතුම එය කරගමු.

චම්මින්ද වෙලගෙදර . - 14-04-2025.

෴෴෴   ෴෴෴

ලස්සන බක් මාසේ

මල් පිපිලා ඵල දරලා ලස්සන බක් මාසේ...

කල් බලලා ගී ගයලා  කොහාගේ සංදේසේ...

ගල් පිලිමත් හිස සලලා වපුරන සංතෝසේ...

පිල් බෙදිලා කඹ ඇදලා සැනසෙමු සැම රිසිසේ...

වරල මුදා අරලිය මල් ගසාගෙන...

සිනහ පොකුරු මුව මඩලේ රදවා ගෙන...

නෙතු සගලින් හද බැඳි පෙම ගයාගෙන...

චූටි මැණික ආවා අප සොයාගෙන...

සඳ පායා සිසිලස දී දිදුලන විට නිල් ගුවනේ...

සිඳ නිදහස බලු රෑනක්  රෑ මැදියම මොර දෙන්නේ...

මද පවනේ විකසිත පෙති කුතුහලයෙන් ඇරඹෙන්නේ...

අද ඊයෙ වගේ හෙටත්  ලෝ දහමට නතු වෙන්නේ...

 - ඇන්ජල පැල්පොළ - 

සේද වළා පට..

 

සේද වළා පට..

දෙතනේ රනේ සුද..

මි මැසි කැළඹුව..

කෝහෝ නුඹේ හඩ..

ඇසෙන රබන් පද..

හඩට පිපුණු සඳ..

ඇතින් සිපගෙන..

නලියයි නුඹේ සුද..

බලා ඉන්නට..

පෙරුමන් පුදින..

බක්මහ අසිරිය..

කැන්දන් නුඹ අද..

-  ශ්‍යාමලී ගමගේ  - 

෴෴෴   ෴෴෴

අරුණලු

බැඳුණු අමනාපකම් තවත් නැහැ ඔට්ටු

වැට දිගට පිපී අර රතු පාට මොට්ටු

පුපුරණා තාච්චියෙ ආස්මියෙ පාරට්ටු

කොහා ඉගිලෙයි කියාගෙන අවුරුදුත් කිට්ටු

මකුළු දැල් කැඩුණු තැන එලාගෙන පැදුරු

පංච පෙතෙ උඩ පනී කිරි කවඩි පොකුරු

ඔසරියේ රැලි හදන දෑත් දැක නුහුරු

වලා පෙළ බැස වඩී අලුත් අවුරුදු කුමරු

හැම ලිපක එක ලෙසම කිරි බතක් ඉදෙන්නයි

හැම ගතම අලුත් සළු පිළියෙන් වැසෙන්නයි

ළපටි මුව සිනා මල් සුවඳින් පිපෙන්නයි

නව ඉරක අරුණැල්ල දසතම සිඹින්නයි 

- ෂර්මිලා බංදුනී දංවත්ත

෴෴෴   ෴෴෴

 

නුඹට පමණක්......

මහා සයුරේ

නියමුවාණෙනි

ජිවන නෞකවේ

සසළ රළපෙළ පතුළ

විනිවිද

ගිලී නොයෙනා පසන්

පෙම්සිහිනේ

අහස සමුදුර ගිලී

නොයෙනා

සිතිජ රේඛාවේ

ම්නිස් ඇස්නැති

මායිමේ,,,

නැඟෙන රළපෙළ ළමැද

නුඹගැබ

සිපින වේලාවේ

රැගෙන යනු මා නොදි

ගැහැටක්,,,

ලෙලෙන දියගැබ තරඟ

නගනා

සිතුම් රේඛාවේ

ඉඳිම් නුඹ නැති

පාලුවේ,

එතෙන මල්පෙති රැගෙන

ගුවනත

හමන මාරුතයේ

ලියමි පෙම්කව. නුඹට

පමණක්,,,,

- කේලි - 

෴෴෴   ෴෴