රාමුකළ ජීවිතය ....🌹
මද අඳුර මැද පෑල අහසත් ඉකිබිඳිද්දී දස අතින්.
රිදී ඉරකින් ඇන්ද රේඛා, හඬා වැටුනා මහ හඬින්.
රුදුරු මේඝය නිමක් නැතුවම හඹා පසු පස ආ සැණින්.
නිමක් නොපෙනෙන මහා සයුරත් කඳුළු හැලුවා දී ගිගුන්.
රුවල් ඔරුවත් මං මුලාවී එහෙ මෙහේ පාවී ගියා.
ගිලී ගිලී මතු වෙනා වේලේ හදවතට මහ බර තියා.
ඔබ කොහේදැයි සෙව්වමුත් මට සොයා ගැනුමට බැරි නියා.
දෙනත් තදකර වසාගත්තෙමි ජීවිතය මෙය යයි කියා.
බලා සිටියත් යළිත් නොඑනා ඉසව්වක පාවී ගියා.
අඳුරු පතුලේ බුබුළු දමමින් සුසුම් පොද නැවතී ගියා.
දෙඇස් තැවෙනා කඳුළු බොඳ කර ඔබේ සිහිනෙන් මා ගියා.
ජීවිතය රාමුවට මැදි කර මිලින වූවා තිත තියා.
- සුනිල් අකුරුගොඩ .
≈≈≈≈≈≈≈≈
නුඹ දුන්න ආදරේ
හිස් අහසේ මම බැන්ද..
ආදරේ නුඹ දුන්න..
වචන මදි පෙරලන්න..
ඵපා මගේ හිත දවන්න..
- ශ්‍යාමලී ගමගේ -
සිහින් වැසි පිනි
එදා සුපිපුණු තාරුකා මල්
තවම සුදිලේ පෙර ලෙසේ
එකිනෙකා ගැන නොදන්නා දේ
සොයනවා තනි වී මෙසේ
දැනුත් ඉදහිට ගලයි කඳුළැලි
මතු කරන් ඒ ආදරේ
තවත් නෙතු ළඟ ඔබේ රුව ඇත
සවන් ළතවේ ගනඳුරේ
වියළිලා නැත මතක සියලුම
සිහින් වැසි පිනි දුන් තොසේ
අඳුන් අංජන ගගා සිනිඳුව
විහඟ ගැයු ගී රස ඇසේ
කුඹුරු බඩ වැටි ඉළුක් ලන්දේ
දුව පැනපු නැටු කාලයේ
දසුන් ඉසිවර සතුට සොම්නස
උතුළ රංගන මා ළයේ
දිනිඳු මොනරිදු සදා රංගම
අදත් හසලන තුටු නෙතේ
රත් ලවන් පෙති රසින් පොපියයි
සඳැති රෑ ගනඳුර වෙතේ
සිසිල් සෙවණේ ලෝලුගහ යට
ඔබ ගැයූ බටලී නදේ
හදේ ගැඹුරේ ගැයූ පෙම් බස්
ලියවිලා රන්රස බැදේ
ලතා මඩුවල නැඟු සඳ සොඳ
වසත් කූජන හඬ නොදේ
නොමද සතුටින් පිරී ගිය සිත
අමරණීයව හද රැඳේ
- සීතා මොරගොඩ -
සෙල් රුවක කඳුළක්..
ගිණි දළු නැගෙන මිහිමත සෙවණැලි පමණ ගහ කොළ පමණි දන්නේ අපගේ සිහින
දරු පැටවුන්ට හිසටත් සෙවණක් සදන මගෙ හිත යටත් තිබුණා දහසක් සිහින.....
දෙන්නට උණුසුමක් බිරිඳට දරුවන්ට සිතිවිළි පමණි බැරිවිය එය කරගන්ට
වෙඩිහඬ මැඳට පමණක් සීමාවෙන්ට ජීවන ගමන විය ගල් කුළුණක් වෙන්ට....
ඉර හඳ පමණි තනියට සැමදා උන්නේ අව් වැසි වලට දහයට සෙවණක් දුන්නේ
රැකවරණය පිණිස හිත මැඳ සැතපෙන්නේ අසිපත පමණි මාළඟ තනියට උන්නේ...
ඈතට විහිද යන අසිපත්වල සද්දේ දෝතට පිදුණු මල් කළඹක් නොව යුද්දේ...
සීතට උණුසුමට නොව අසිපත ලද්දේ මගෙ රට රකින්නයි මේ සීතල යුද්දේ ....
දරුපැටවුනට නොලැබුණි පියෙකුගෙ පිහිට සෙවණක් නොවුණි බිරිඳට මගෙ පරපුරට
හැඟුමන් සිතේ තෙරපෙන අව් වැසි වලට දහදිය සුවඳ පිරුණයි නැහැපුඩු ළඟට...
අව්වැසි වලට රැකවරණය නිළ ඇඳුමයි සීතට උණුසුමට පිහිටත් ගිණි අවියයි...
රස මසවුළු යදින මුත් කුස නොම පිරුණයි බිරිඳගෙ මුදු පහස අඩ නින්දක දැනුණයි.... වට කොට මුතු ඇටය ගැන නිතරම සිතුවා
හෙට ගැන යමක් සිතයට සඟවනු බැරුවා වට කොට සයුර මගෙ රට දැය ගැන සිතුවා
වගෙ හැඩිදැඩි සිරුරෙ හැඩ ගලකට පෙව්වා... දරු පැටවුන්ගෙ දෑඟිලි අල්ලන් පැමිණ නෙතුපිය නොසලාම මගෙ රූපය දකින කඳුළැලි වගුරවන උන්ගේ දෙස බලන
මගෙ සෙල් රුවෙත් කඳළැලි උල්පත් හැලිණ.
ඉන්දු මංචනායක
≈≈≈≈≈≈≈≈≈≈
සඳේ සඳ
එසඳ - මෙසඳ ඒ සඳ - මේ සඳ ආ සඳ - ගිය සඳ
තරු මැද - ළා සඳ - වැඩි සඳ - පුන් සඳ - පෑ සඳ - ඒ සඳ
සඳේ සඳ වරුණා - සඳ මත පියුම් පිපෙණා - වනමින් සඳ පෙන්නා
පොතේ බුකියෙ දන්නා - පසුම්බියට කෙළිනා - රුවැත්තියන් සිටිනා