ගයමු බුදුගුණ
ලොකු දෝණි
සඳත් පිපී අහසේ හිනහෙන රැයට
තරුත් ඇවිත් රහසක් කිව්වා කනට
මසත් දස. ගෙවී යනවිට මගෙ ලොවට
වසත් කල රැගෙන කුසුමක් එයි කුසට
ඉතින් කල් ගෙවී එලඹුනු වස්සානේ
හිතින් දුටු පැතුම පිබිදුනි සඳ පානේ
අතින් සතුටු මිණිමුතු ගෙනදුටු සිහිනේ
නිතින් කිරි සුවඳ පැතුරුනි මල් යහනේ
පුරා කල් ගෙවී පිය මැන ලොවක් කරා
අරා සතුට සැනසුම දුනි සිතම සරා
සරා සඳ ලෙසින් මා ලඟ සිනා පෙරා
නිරා මිස සුවඳ ඔබමයි සසර පුරා
ලැබ ගුණ දහම් සහ සිප් කිරුළෙන් නතුව
සබ කෝලය එපා සවි ඇත ඔබ සතුව
සිඹ මුදු නළල දෙමි කවි මිණි මා ගෙතුව
ඔබ මගෙ රුවන් මිණ.සසරෙම මා පැතුව
- සංජීවනී පද්මෙස්න -
💚💚💚💚💚💚💚💚
ගයමු බුදුගුණ
හිස අත මුදුන් බැඳ
අස දිස ගුණෙන් පිරි හද
නසන පව් මළ කඳ
සසර බැමි ලිහු තිලොව හිමිසඳ
සවන් මත රඳවන
නුවන් ඇස නිති පහදන
පහන් සිත පුබුදන
දහස් වරහිම ගයමි බුදුගුණ
අඳුරු දුර ලන්නට
සොඳුරු බව ලැබ ගන්නට
ඉඳුරු පින වන්නට
ඇදුරු මොහඳුරු මගෙහි යන්නට
සව් සතට සෙත සැදු
ලොවුතුරු දහම් පැණි බිඳු
පෙව් තිලොව හිමිසඳු
ගව්තම පියා වුනු බුදු
පොවා රා මත් කොට
එවා හිමි වඩිනා විට
හොවා දමනය කට
නිවාලුව නාලාගිරිව එමවිට
බරට බඩ බැඳගෙන
අරමට එදස පැමුණුන
කරන දොස් අහගෙන
උරන නොමවින චිංචි පැරදිණ
අඟුල් මල් සොරුටත්
උගුල් වල නොවැ ටෙන්ටත්
ගඟුල් දම් බොන්ටත්
අගුළ් ලිය පව් මග නොයන්ටත්
ආලවක සච්චක
ලෝල ගති උන්මත්තක
දෝලනය වන්දැක
පාලනය කලෙ දමින් සස්වික
අමා දිය දහමිනි
තෙමා ලෝ සත නිතැතිනි
යොමා මග නොදෙවෙනි
නිමා නැත පිරු පලය හිමියණි
පරාජය කර මරු
මරා මෝහය ගන ඳුරු
මරාමිණ මහදුරු
විරාජිත හිමි වඳිමු බහදුරු
මධුෂිකා අත්තනායක
ඉර එන්නට එපා
අම්මොයි කියා මොරදෙන පොඩි දරුවන්නේ
බම්මොයි කියා බියසිතිල ද මොරදුන්නේ
කම්මොයි කියා බත් උලකුත් නැත උන්නේ
මම් කොයි කියා යන්නද මගෙ පැටවුන්නේ
රෑට බතට ලුණු කැඳ නැත දරුවන්නේ
වැදු මව් සේම. නුඹලත් දුක් උහුලන්නේ
ගෙයි දොර පැලැල්ලට උන් ඉව අල්ලන්නේ
තව කවුරුද මේ දුක්ගිනි උහුලන්නේ
ඉණවට සළු ළිහී යන රෑ මද්දහනේ
හිතුවට පතින් කඩමයි උන් උහුලන්නේ
කරවට තෙක් මතින් පිරි රෑ බිඟුන්නේ
සරුවට නැතත් දෙන සොච්චම දියන්නේ
පැටව් මගේ පව්... උන්ටත් හිතක් වෙතී
අභිමානෙන් අම්මා ගැන කියනු ඇතී
රජ මැති ඇමතිවරු පිහිටට ආවෙ නැතී
මගෙ දරුවනේ අම්මා සිරුර දන්දෙතී
බෝසත් වරියන් ය නුඹළගෙ මව් වැන්නී
තාමත් දරුන් හින්දා ගිනිගොඩට පනී
කෑමත් දිවි නිසත් සිල්පද බිඳ ලන්නී
හාමත් නොවී ඉඳපන් කුස පුරවන්නී
වෙර වීරිය නැතිව කුළි මලි නොදෙන්නේ
පෙර කරුමයටමයි වන්දිය ගෙවන්නේ
දිර පත් හේන කොයි මීමද බුදින්නේ
ඉර එන්නට එපා පැටවුන් බඩගින්නේ
චින්තා විවියන් සිල්වා
💚💚💚💚💚💚💚
ස්වාමීනී
නිල් මැණික් එබ්බවූ
මේ මුදුව
ගලවමි
ඇගළුමෙහි පාටින්
දින හතට හතක් පළදිමි
හෑන්ඩ් බෑගයට ගැළපේද විමසමි
පාවහන් හා සසදමි
හිනැහෙමින් දිවයමි
මුහුළ විහිදමි
නෙකපාට ගල්වමි
සිහින් රැළි දෙකතුනක්
නළල මැද නටවමි
විටෙක කපනෙමි විටෙක වවනෙමි
තනිව හිනැහෙමි තනිව තුටුවෙමි
නෙත් අදුන් තවරමි
නිය තොල් පාට ගන්වමි
හඩගා සිනාසෙමි
ඔහුගෙ කණ ලග යමක් කොදුරමි
බිරිඳ නොමවෙමි....
ස්වාමීනී!
පෙම්වතිය වනු කැමැත්තෙමි.!!
