පෙම් පබා
නිල්ල නඟමින් නටන තුරු වියන් නෙත් පිනයි
ඇල්ල පාමුල දැනෙන සිහිල ගත සනස වයි
රැල්ල ඇවිදින් හැපෙන වැල්ල යහනක් මවයි
දුල්ල මුළු ලෝතලේ සුන්දරත්වය ඔබයි
තෙලි තුඩින් ඇඳෙන සිතුවමේ රැඳි විසිතුර ද
ගීත යෙන් කව් පෙලින් නැගෙන රස භාවය ද
වෙණතතින් සියුම් ලෙස මැවෙන ශෘංගාරය ද
ඔබ වෙතින් දැනෙයි මට ලොව රසය ඔබම වෙද
යුගෙන් යුග විශ්ව යේ නොයෙක් තැන සැරි සරා
ගම න් මග පැමිණි බාධක සියලු දුර හැරා
සිතුම් ගඟ ගැලූ සෙනෙහසේ සමුදුර කරා
ඉතින් අග පැමිණියේ ඔබ නිසයි සිත් යුරා
සනාතන දහම ලෙද ලෝකයෙහි පැවැත එන
සදාතන සෙනෙහසෙහි මිණි ඔටුනු දරා ගෙන
නිවාලන ලෙසින් සරතැසෙහි ගිම් හද තවන
නවාතැන දොරකඩට සිටී අද ඔබ පැමිණ
එළිය ගණ'ඳුර වෙනස කියූ එක සිනා වෙන්
දිලිය යුතුවේය ඔබ දිවි අඹර දයා වෙන්
පෙලිය නොයුතූය මෙසේ මසිත වේදනා වෙන්
එළිය මට ගෙන එන්න ඔබේ පෙම් පබා වෙන්

xxx xxx xxx
ශෝක ප්රකාශයක්
බෙර හඬ නැඟෙන විට දස දෙස ගිගුම් දිදී
හිස් බව දැණුනි ලෝකය නිදියන විට දී
පණ නැති මළ කඳ ම ගිනි කන්දට බිලි දී
කුමට ද අතිර හඬ ජීවිතයට පැර දී
වටවුණු තාප්පය ඇතුළට ගම්බීර යි
පෙට්ටිය අසල ඇති සේයා තිරසාර යි
වැදගත් කමයි කීවොත් එය බොරු කාර යි
පිරුවට පාවාඩ ඔක්කොම හිත පාර යි
කඩදාසියේ වපුරණ වී ඇට හින් දා
ගොවියන් කුඹුරු වල හරියට දුක් වින් දා
වැඩ ගෙන දනන් ගෙන් ධනයට ලොබ බන් දා
තෙදබල ධනවතකු ලෙස නුඔ සැප වින් දා
කෝවේ පැසුණු ගිනියම් වූ යවට වගේ
තිරසර ලෙසින් නුඔ හිරුසඳු දෙක ම නැගේ
දියවෙන තුරු ම හැම ලේ බිඳුවක් ම ඇඟේ
ඔබ සැළකුවේ මිනිහට වහලෙකුට වගේ
ජීවත් වන අය ම ගැන පාරම් බාලා
දෙසුවෝ දෙසති ගම්මානෙ ම සනසා ලා
මන්දාරමයි පහනේ තෙල් ටික හිඳි ලා
මොකට ද මෙහෙම ජීවිත ජීවත් කර ලා
සුසානයෙත් කොතැන ද මිහිදන් කෙරුණේ
ඊයේ වැළලු යදියා ළඟ නොවෙද අනේ
ජීවත් වෙද්දි ඇයි ලොකු පොඩි කම් පෙණු නේ
සසරෙදි යළිදු අපි හමු නොවෙමු ද කෙදි නේ

xxx xxx xxx
ස්වප්න ලොවක
දෙසුම්හලේ
විදුලි පංකා
භ්රමණය වී
රළු සුළඟක් පාවී
දෙසවන්
හිරකරයි
රසවාද ධ්වනිවාද
අලංකාර
නෙත් නිලංකාරව
ස්වප්න ලොවක
කහවත දැරූ
මහණෙක්
පැවිදිවත හැර
ගිහිගෙදර
සොයා
ආපසු ඇදෙයි
ගේදොර
සකල සම්පත්
අතහැර
වෙන අයෙක්
මහණ වෙන්නට
අරමක්
සොය සොයා
වෙහෙසෙයි

♣️♣️♣️♣️♣️♣️
වධකාගාරයක් ලෙස හංවඩු තියලා
පාසල් බිමේ වද හිංසා ගැන කියලා
බලයෙන් උමතු වී කට මැත ඔහේ දොඩලා
කොදු නාරටිය කැඩුවේ කාගෙද ඔහෙලා
ඇප කැප වෙලා දරුවන් යහමගට ගෙන
සෙනෙහස පුදා සිප් සතරත් කිය දෙන
මව් පියවරුන් වාගෙම බැති උපදා ගෙන
ගුරුවරු කරන මෙහෙවර ගැන සොයනු මැන
