ජීවන බන්ධන
රෝහලේ ලෙඩ ඇඳක් යට එක් දිනෙක නුඹ මියගිය භෙයින්
කිසිවෙකුත් හිමි කමක් නොකියූ සිරුර ගෙන ලා ෆෝමලින්
ලෝහ සැත් ගෙන කපා වෙන් කොට නභර සම් මස් එකිනෙකින්
ව්‍යූහ වේදය හැදෑරූයෙමි දිළිඳු නුඹගේ මළ කඳින්
රෝහලේ දුක් අඳෝනා මැද දෙකණ අමුණා නලාවේ
හද නගන හඬ ශ්වසන යෙහි හඬ නුඹ වෙතිනි මා ඇසූවේ
නුඹයි දුබලවු හඬින් රෝ දුක් පිළිබඳව මට කියූවේ
ව්‍යාධි වේදී දැනුම නුඹ ගෙනි දිලින්දාණෙනි ලැබූවේ
නුඹ කියූ ලෝකයෙහි තොරතුරු වලිනි මා සිත රස හැඳින්ණේ
ජීවිතේ දැඩි අග්නි ජාලා වලින් නැගි තාපයද දැනුණේ
නුඹේ ජීවන සුවඳ පවනෙයි හැඟීමද බුද්ධිය ද වැඩුණේ
නුඹම ගුරු විය නොයෙක් විෂයෙහි දෙරණ මත හිස් අහස සෙවණේ
පා තබන්නට වරම් නැතිමුත් නුඹයි මාළිග මැඳුරු මැවුවේ
නුඹේ බඩ සාගිනි දැවෙද්දිත් ජාතියක කුස ගින්න නිවුවේ
බලවතුන් පටු කල්පනා තුළ ප්‍රාණයෙනි නුඹ වන්දි ගෙවුවේ
රෝහලේ ලෙඩ ඇඳේ වැතිරුනු නුඹයි මා වෙදැදුරෙකු කෙරුවේ
සොවින් බරවූ නුවන් දල්වා බිමට යොමු කොට සුදුමැලිවු වත
පයෙන් පය වාරුවෙන් ගටමින් උහුලමින් බර දුබලවූ ගත
ලවන් වියලා නැඟී එද්දී උණු සුසුම් වැල් හදෙන් පීඩිත
ලෙඩින් පෙළෙමින් අයෝබල වී සිටී අද නුඹ පැමිණ මා වෙත
කාත් කවුරුත් නැතිවැ පිහිටට කටු කොහොල් පිරි පාළු මාවත
රෑ ත් දවලුත් විඩා නොනිවා යෙදෙන කල දිවි ගමනෙ අනියත
මෑත් කොට සළු පිරික්සා ලෙඩ පසුම්බියට ද හෙලන විට නෙත
දෑ ත් නොනඟව මා වඳින්නට බාලයෙමි මම නුඹට හිතවත

xxxxxxxxxxxx
අමාවක සිත
මුදු සිතක කඳුළු වැල් නෙතු දිගේ ගැලුවා
සුදු මලක් පිනි මතින් තරු දිහා බැලුවා
කඳු වගේ සිහිනයන් දෙපා මුල හැළුවා
සඳු හොරෙන් මිහිමතට සුසුම් වැල් හෙළුවා
අතට අරගත් පියුම් මිලින වෙන හැටි බලා
නෙතට කඳුළක් ඇවිත් නෙතු කෙවෙනි බොඳ කළා
හිතට රහසින්ම ආ මලවි මල් හී සලා
විතට විස එක්වෙමින් හද පොකුණ හැඩි කළා
තරු වලට දුක කියා සඳ එළිය මැකුණ රැය
කරු වලට හෙල් මැලිද පිපෙනවා මැදින් දිය
හිරු නැතත් සඳු වෙතොත් අහසකට නොමැත බිය
හුරු වෙලා අඳුරටම සිත අමාවකම විය

xxxxxxxxxxxx
ගිලිහුණි ඒ රතැඟිල්ලෙන්
නිලට නිලේ දිදිළුණු නිල් කැටය
නෙතඟින් ගිලිහුණා හද
පාරන වේදනාව
සසල වෙද්දී අන් හැම
නිසල කළා ඈ දෙතොල
මත තබා
ඇගේ රතැඟිල්ල
- සුමැ -
නොයා සිත ළඟින්
පිහාටු කුරුලු එකෙක පාට
තුරුපත් අහුළා ගත් බිම් පෙතින්
නෙක නෙක පුෂ්පාදි
දමා වනපොත් කරන
පෙළ පොත් අතර
සැරිසැරූ කාලය
අපි ආදරේ කළේ
ගහ කොළට සතා සීපාවුනට
ඒ ආදරේ කෙළසක ගියේ
පැන පැන තවත් අයෙකුගේ හදවතක උරුමයට
අහම්බෙන් නෙත ගැටුණු
කාලයේ සුවඳින් පණ ගැසු ඒ පොතක
සැකිලි පමණක් පිටු අතර
ඒ ඒ මලට ඒ ඒ පත්වලට
හිමි පාට වියැකී ගොසිනැ
මකුළු දැල් මෝස්තරකි
වර්ණ දුරු වු රටාවක. .
කියා දෙන්න මට
තබා මා හිස
නුඹ උකුල මත්තේ,
සෙමින් අතගාමින් කේශ
ඒ සොඳුරු ළඳ මා මවුන් හැදූ අත් පා වැහැරී කාලවර්ණ ඝන කේශ ගැළව ඇත
ඉතිරියත් ධවල පැහැ හිමී
ඉදින්
කියනු මැන ළඳුනි
ජීවිතේ
ආදරේ
වියැකී යන මතක අතරේ
කෙසේ නම් රැඳේදැයි කියා .
මම බලා සිටිමි
තුරුපත් මුදුන් හී
ළා දළුපත් සුළඟට සෙළවී
හිරුට සිනා සී
පිපි මල් දෙස බලා
ඔමරි පානා සැටී
සුළඟක් හමා
පොත් පිටුවෙන් ඉගිළ ගිය කොළ සැකිල්ලක්
ඇලවී ගියේ ය සුළඟට
වැනෙනා ළා දළු පතක.
සිනාසෙන්න ඔබ
වටා පිටාව හා
අපිට ජීවිතේ කියාදුන්.
සුබම සුබ සොඳුරුමය හෝරාවක අපි දෙදන
සතුටම පතමි

=== === === === ===
නොයා සිත ළඟින්..
නොයා සිත ළඟින්
මදකට දුරින්..
නුඹ පෙමින්..
බලා ඉඳිමි මං..
මුනිවත රකිමි දෝ..
සොවින්..
සිනාසෙනු තවත්..
නොහැකිව දරා..
නෙතු අගින්..
කඩා වැටුණු
තරු අහුලමි..
පුරා සඳ.
සෙමින්..
නිමා කළ නොහැකි..
පෙම් සිත..
සදා අවුලමින්..
නොයා ඵනු ඉතින්..
මට තව දුරයි..
වදනකින්..
