උණුසුම් පුවත්කව් මිණි වැල්සාහිත්‍යය හා කලාව

කවි කිවිඳියන් ගේ කවි මඩුව

ගුමු ගුමු නාදේ

- ඇන්ජලා පැල්පොළ -

පායන හිරු කිරණ මැදින් මල් ගොමුවේ සැරිසරනා...

සෑහෙන වෙහෙසක් විදිමින් මලින් මලට තටු සළනා...

පේවෙන ගුමු ගුමු නාදේ ගීතවත්ව පිට කරනා...

රෑ වෙන යාමේ බිඟු කැල හිටි හිටි තැන නිදි කිරනා...

සුපිරි බලවතුන් තමන්ගෙ බලය පෙන්නලා...                                          

මුඛරි වදන් දොඩනවා රුක් දෙවිදුට ඇහිලා...

ඇඳිරි වැටෙන යාමේ හැමදෙන බය කරලා...

හවරි නුගේ හිනා වෙනවා පාරේ රජ වෙලා...

ඈත සොහොනක මගේ මළකඳ අනේ ,නො තබන්නේ...

ශීත අඳුරක රැහැයි හඬ මම කොහොම වාවන්නේ...

මෑත ගේ ළඟ සොහොන ඉදිකර හොඳින් රැක ගන්නේ....

ආත භූතයි  සියල්ලන් අප,මටත් කලියෙන් ඔබයි නැති වෙන්නේ...

 

- සිසිතරු විසුළ සුයාමය-

 කහපාට සිසි කිරණ පට

අහස මත  දඟ කරන විට

පහස විඳ පිනි පලස යට

රහස් කියනව වගේ මට

තරු කිරණ හොරෙන්  ඉඟිකර

තුරු  ගෙලට බඳියි මුතුහර

හිරු  බසින විට අවරගිර

කරුවළට සඳු එළයි තිර

මිණි පබළු  වැණිය  පිනි බිඳු

දුණි නෙතට රසඳුනක් බඳු

රනින් දුර බබළද්දි සඳු

වුණිය මල් යායක්ම සුදු

රන් රුවන් මිණි  වගේ දිළී

මන් බඳියි  කදෝ පැණි එළී

බන්දමින් වැවේ දිය රැළී

මින්දදට පිපේ හෙල්මැලී

හිරු  සිනා රැගෙන එන තුරූ

කරුවළට පෙම් බඳියි තරූ

තුරුණු හදවතින් කවි කෙරූ

පිරුණු සඳ පරදවයි හිරූ

එළි නිවා කවුළුවත් වසා

රැළි සුළඟ  කියන ගී අසා

සැලි සීත රැයම දිගු නිසා

මැලි වුණත් නිදමි නෙතු  වසා 

 -  සංජීවනි පද්මසේන  -
     ඇහැළියගොඩ

පොත් වසන්තයෙ

(- නලිනි ද සිල්වා - කළුතර)

සැරිසරන නවකතා කවි ශානර  හැමතැනම

පොත් ගන්න  බැරිව

සුවඳ බල බල නවතින අහිංසක මුහුණු

ළමා දිනයෙත්

අයිස්ක්‍රීම් කඩ පසුකරමින්

රංචු පිටින් යනහැටි කුටියෙන් කුටියට

වෙහෙස මුහුණුත්  අරගෙන

ආපසු හැරෙන විට

ළමාදින සැමරුම් දසඅතම

මයික් කටවල්  සවන්පත් ගොළුවෙන්න

උත්සවය අවසන්ව  පිටත්වන විට

ඉරුණු ඇඳුමකින් සැරසුණු දරුවෙක්

අතපායි 

රෑට බඩගිනි නිවාගන්න යමකට

 

රාමුගත ළමා දිනය අවසන

දෙනෙත පිරි කඳුළු

වැටෙන්නට ඉඩ නොදී

තුරුල් කරගතිමි

මවක් සේ ඇයව

සංසාර සිනාවෙන්  පිරි මුවමඩල

දියණිය ඔබ රටේ අපේක්ෂාවය

අප දෙදෙනාටම  වෙන්කළ

එකම දිනයක හමුවීම

වියපත් පත් සැලී

ළදළු  ලියලන කාලයයි

මේ  පුත!

 - නලිනි ද සිල්වා -
  කලුතර