සාහිත විචාර
කවුද? මන්ද...
කාව්‍ය සංග්‍රහය (- Pocket ප්‍රමාණය)
මේනකා ජයසුන්දර
ප්රකාශනය - Sera Audio Books
මිල රුපිල් 2000. 00
කවුද? මන්ද... 4. 6 x 7.5 ලියුම් කවර ප්‍රමාණයේ පොතකි. පොත් පිංචකි. පිටු 67 කි. ඊට අමතරව මෙහි විශේෂත්වයක් වන්නේ මෙහි ඇති පබැඳුම් යූටියුබය ඔස්සේ ශ්‍රවණය කිරීමේ පහසුකම තිබීම යි.
හරිම හුරුබුහුටි මේ කවුද මන්ද, නිර්මාණකාරිය මේනකා ජයසුන්දර නම් කවිකාරියකි. හැබැයි ඈ විසින් ලියන ලද කවි හඳුන්වන්නේ 'කවි වගේ ඒවා' ය යනුවෙනි. ඈ පළමු පදවැල සිතුවම් කර ඇත්තේ හයිකු ආරේ දෙපැදියකිනි.
''පිළිමෙකට උනත්
අඬන්නම හිතුන දවස්
තියෙන්නැති
දරා ගන්නම බැරි තැන
හොර හොරෙන්
අඬන්නත් ඇති (පිටුව 19)
කවිය යනු සෞන්දර්යාත්මක කලා මාධ්‍යයක් යැ යි කියනු ලැබේ. ඒ අනුව මේනකා ජයසුන්දර ගේ කවුද? මන්ද... නම් සාක්කු පොත් පිංච, පුංචි කාව්‍ය සංග්‍රහයකි. පැදිවැල් විසි නමයකින් යුත් මෙය නෙත් සිත් ඇද බැඳ ගන්නා අයුරින් නිමහම් කෙරී ඇත. ඉතා හොඳ මැදපු කඩදහි (Art paper) භාවිතා කරමින් නවමු ආරක් සහිතව පාඨකයා අතට පත් කිරීමට කතුවරිය වෙහෙස වී ඇති බව පෙනේ.
ඇගේ කවි අනායාසයකින් හිතෙන් එළියට මුදා හැර ඇත. කාව්‍යාලංකාරය හෙවත් භූෂණය ගැන කීමට ඇත්තේ සමහර නිර්මාණයක් ඇය අමුවෙන් ම කියා ඇති බවක් දැයි හිතේ. ඒත් ඒවායේ ද කිසියම් අපූර්වත්වයක් ඇත්තේ ය.
බලන්න ඇගේ පොත් පිංචෙහි පළමු කවිය... එහි ව්‍යංගාර්ථය.... හයිකු කවියක් ද ? එය රසවත් ය. කවියක් බදුම බව පෙනේ. දැනේ.
එවන් පැදි වැල් දහයක් ද මේ කවි ගොන්නට ඇතුළත් වේ.
06. දරාගැනීමේ සෞන්දර්යය දුටුවෙහිද?
08. ඒත් එයා හරි - ඩීසන්ට් - ඔව් හොරු පට්ට ඩීසන්ටි!
11. හැව ඇත - නයා නැත
13. සෙත් කවි වගේ වස් කවි දුටුවෙහිද?
15. හද! පේනව නේද? ගෙවී යන ඒ අඩ හඳ
18. හඳ ඇත - හවා නැත
20. යන - එන - යන
22. සමහර - පහන් කණු, එහෙමය,
23. පෙනීම Vs දැකීම
25. පෝසත්කමත් - බෝවෙන ලෙඩක් උනානම් යන ඉතා කෙටි පදවලින් අමුණා ඇත. හයිකු කවි සේ දැක්කේ ය.
මෙපබැඳුම්වලින් විශද වන අත්දැකීම් ගැඹුරු ය. ඒත් සරල ය. සංකේතාත්මකය. ධ්වනිය හා ව්‍යංගය ඈඳා ගනිමින් ඇය අපට චිත්තරූප මවමින් හිතන්නට අවකාශය ලබා දෙන්නී ය.
07. කවි සිතට හිත රිදුණු බව දැනුණු නැතිසේම
එදා වාගේම අදත් හිනැහුණා කවුළු හැර,
හීනයට අත වනන අහස් ඉම තරු පොකුර
රැය දිගයි සඳ නැතිව, ඔබ එන්න රහසේම....
රෑ අහස පියකරුයි තරු දිලෙන සිනා බර.
සඳ කුමරු තරු කුමරි හමුවේවි සිතුසේම,
හීනයට අත වනන අහස් ඉම තරු පොකුර.
රැය දිගයි සඳ නැතිව, ඔබ එන්න රහසේම
ගීයක්ව ගැයෙන්නට තරු වතල අහස යට.
ඔබ එන්න රහසේම තනුවක්ව පද පෙලට.
හීනයට අත වනනඅහස් ඉම තරු පොකුර
රැය දිගයි සඳ නැතිව, ඔබ එන්න රහසේ ම
ඈ බොහේ සහකම්පිත නිර්මාණකාරියක බව මේ සාක්කු කාව්‍ය සංග්‍රහයෙන් පෙන්නන්නී ය.
ඇගේ බසෙහි උත්ප්රාසය අඩුවකින් තොරව පිරී ඇත්තේ ය.
03 පද්‍යය පොල් කවිය
පැරීසියේ මට - කොහෙද අනේ කැති මන්නා
ගත්තා පොල් ගෙඩිය - ගැහුවා බිම
කුස්සියේ හරි මැද - (කීප දෙනෙක් මතක් කරලා)
පොල් ගෙඩිය කුඩේ කුඩු - පුදුමයි!
මරු කවිය
ඇත්ත ද අනේ - ඔයා 'මරු' කිව්වොත්
මරුම තමයි ඉතින්
ඉන්නකෝ - මේක දාන්න ෆේස්බුක්
ඊට පස්සේ - 'ලයික්' ගොඩාරියක් ගන්න - නෑ, නෑ
'හාර්ට්ස්' ගොඩාරියක් ගන්න
ඉතින්
ඊට පස්සේ - බැරියැ මටත්
පත්තර ගොඩාරියකට 'ඉන්ටර්විව්' දෙන්න
ආහ් - තව
කතා පෙට්ටියෙයි රූප පෙට්ටියෙයි
සින්දු තෝරන්න හ්ම්!
අරගලයේ මස්සිනා කෙනකුගේ පැනය
පොඩි ප්‍රශ්නයක් - දෙනවා
මේකට උත්තරයක්. ඔයැයි හිතන්නෙ - ඇයි අල උනේ?
අපේ අරගලේ
අපේ? මොකක්? ඇයි අනේ
අපේ අරගලේ
ගෝල් ෆේස් එක පුරෝලා කරපු අරගලේ.
ආ... ආ..... ආ....
ඔයැයිලගෙ අරගලේ
අර ඇන්ටාක්ටිකාවේ ඉඳලා
'අරගලේට හෝයියා'
කියපු එවුන්ටත්
කවි සින්දු ලියැවුණු
පත්තර පිටු පිරැවුණු
මල් මාලා දැමුණු
පෝලිමේ ඇපොයින්ට්මන්ට්අට්රන්
හම්බෙන්න ගියපු
විහිළු එපා හලෝ
කියනවකො
ඔයා හිතන්නේ
ඇයි ඒක අල උනේ
සමහරුන්ට ඒක
අල නොවුණත් ඔහෙලට ඒක අල උනේ
වැඩේ ඔළුවෙන් මෙහෙයවන්න ඕනෙ එව්වො
ගෝල්ෆේස් එකේ බෝක්කු උඩ නැග්ග එහින්දා
බෝක්කු උඩ නගින්න ඕනෙ එව්වො
වැඩේ මෙහෙව්ව හින්ද....
තව ප්‍රශ්න තියෙනව ද?
නෑ!
(අරගලයෙන් දෑහවුරුද්දකට පසු 'අරගලයේ මස්සිනා කෙනකු සමඟ වූ සංවාදයකි) යන පැදි පන්තියේ මේනකා එහෙම කියන්නී ය.
මේ ඇය අරගලය ගැන ම ලියන ලද තවත් කවියක් වගේ එකක්
තක්කඩි
මේහ්'''
ඇයි ඔයා අපේ අරගලය ගැන මොකුත් ලියන්නෙ
නැත්තෙ?
ආහ්....
ලියන්නත් ඕනැද?
ඔන්න එහෙනම් ....
තක්කඩි පාලකයෝ භංග වේවා්!
නිල්, කොල, රතු, කහ, කලු, සුදු, අවර්ණ
එකී මෙකී නොකී සකල
බොර දියේ මාළු බාන
තක්කඩි අවස්ථාවාදී
දේසයපාලුවෝ රැලත්
භංග වේවා!
වරදානයට,
වරප්‍රසාදයට
කුලියට,
පඩියට,
සොමියට,
සෙල්ෆියට, බොරුවට පාරට බැස්ස
තක්කඩි අරගලකාරයන් ද
අරගලය අල කරන්නන් ද
භංග වේවා!
සැබෑ අරගලකරුවන්ට ජය වේවා!
මේ අරගලයෙන් ඔබ්බටවත්.
ජනතා විඥානය නිදි නොවදීවා!
පසුව ලියමි
කරුණාකර ඔබේ කිරි සප්පයා
ඔක්කේ ගසාගෙන
අරගල බිමට නොබසින්න
ඔබේ කිරි සප්පයාට යමක් වුවහොත්
අප්පොච්චිටවත්
ලොකු අප්පොච්චිටවත්
බාප්පොච්චිටවත්
දොස් කියා පලක් නැ..
ඊටත් පසුව ලියමි
කයි ලියන
කයිය ගහන
අයියලා
උන්ගේ සප්පයන්
අරගලයට යවන්නේ ද නැත.
(කිරිසප්පයන් ඔක්කේ ගසාගෙන අරගල කරන්නට යාමෙන් වුන්ට කවි ප්රශස්ති ලිවීමත් රැල්ලක් වෙමින් යන බැව් දැක ලියවුන කවියක් වගේ එකක්)
-
හෙජමොනික ගිරාපෝතක සින්ඩ්‍රෝමය
(Hègèmonika Girapothaka Syndrome)
හෙලෝ හෙලෝ
කොහොමද සහෝදරී? හෙලෝ හෙලෝ
හොඳයි හොඳින්
මොකෝ මේ හදිසියේ
මාව මතක් උනේ
අමතක වෙලා නෙවෙයි හලෝ
වැඩ වැඩ වැඩ
අප්පේ
මොනවද ඉතින්
ඔච්චරම වැඩ වැඩ වැඩ?
දන්නැද්ද
රටේ වැඩ
රටේ වැඩ
මේ හෙජමොනික
ලුම්පන් බුෂුවා
යුතෝපියානු
මෙලන්කොලියානු
ෆැන්ටාස්මැටික
හෝමොනික
ල්රස්තික නියුරෝසික
ඇකඩමියානු
හෙගේලියානු ලකානියානු
පැරඩොක්සිකල් හෙජමොනිය
දයලෙක්තිකය
වාස්තවික වියූහය
සමුච්ජානය කරන්න
සංවාසය කරන්න
මාක්ස්වාදී
ලිබරල්වාදී
භෞතිකවාදී
අලිඛිත
අශ්ලීලහෙජමොනිය
........
........
තේරුණා නේද සහෝදරී ට?
අපොයි ඔව්
තේරුණා තේරුණා
අකුරක් නෑර තේරුණා
එක වචනයක් විතරක්
පැහැදිලි මදි
මොකක්ද ඒයි
හෙජමොනිය කියන්නේ?
හෙලෝ හෙලෝ helloooo
ඕ...... ඕ......
'සහෝදර
සිග්නල් නෑ වගේ
ඉන්නේ හරිම
අප්සට් තැනක
පස්සේ ග ග ග ග ග.....
හා..... හා....
පස්සේ ගන්නකො
තැන අප්සට් නම්
බලාගෙන
පය පැටලෙයි
හෙජමොනිවල.
(එහෙන් මෙහෙන් අහුලා ගත්, තමන්වත් තේරුම් නොදන්නා වචන කිහිපයක් ඔහේ කියවන ගිරා පෝතකයකු හා කෙරුණු දුරකතන සංවාදයකට පසු ලියැවුණු කවියක් වගේ එකකි.)
පිනෝකියානු නාස්
සාංසාරික හුරුකමක්
දැනෙන්නෙ මට ඔයා ගැන
දැනිලා නෑ කවමදාවත්
වෙන කෙනෙක් ගැන මෙහෙම
ඔයා නැති තත්පරත් කල්පයක් නොවැ මට
ඉතින් අපි පියාඹමු
සංසාරේ පුරාවට
කියලා දෙන්නම් මම
පියාඹන හැටි ඔබට
ඔබට බැරි නම් පියඹන්න
උසුලගෙන යන්නම් මම ඔබ
අත්නොහැර......
මේහ්! ඒක නෙවෙයි
මේ අහන්න කෝ
හොඳ වෙලාවට නේද
මිනිස්සුන්ට
නොතිබුනේ
නාස් පිනෝකියානු...
නාස්? පිනෝකියානු?
ඔව් ඔව්
අර
පිනෝකියෝ කොලුවට
තිබුනා වගේ නාස්
ඇයි ඒ?
ඇයි ඉතින්
එහෙම උනානම්
පැටලිලා නාස්
ලෝක ජංජාලයක්
ජංජාල ලෝකයක්
හා නැද්ද?
හූම්!
(සංසාරික ප්‍රේමවන්තයෙක් යැයි සපථ කරමින් පුන පුනා බොරුම දෙඩූවකු මතක් වී ලියැවුණු කවියක් වගේ එකකි)
මේනකා ගේ බස් වහර සරල ය. සුමග ය. කියවීමට රසවිඳීමට ආසාවක් දනවන්නේ ය.
මෙවන් කවි වගේ එකක් යැයි ඇය විසින් ම හඳුන්වන පදවැල් රමනීය ලියැවිල්ලකි.
මෙහි ඇය සිය පියාණන් ගැන තබා ඇති සටහන මසිත් ගත්තේ ය.
අපි එය ඔබට කියැවීමට මෙසේ සටහන් කරන්නේ කියවන හැම කෙනකුට ම වඩාත් වැදගත් යැ යි හඟින හෙයිනි.
පොතේ මංජුසාව
(In Honor of Our Father
ජයා මිද්දෙනිය
- K. Jayasundara
(1959 - 2024)
පොතේ මංජුසාවේ ඇත්තේ අපේ මහගෙදර ප්‍රධාන ගේට්ටුවේ ඇති හංස පූට්ටුව මගේ පියාගේ සිතුවමකි.
අදින් අවුරුදු හතළිහකට පමණ පෙර දිනක තාත්තා සාලයේ බිම දිගහැර ගත් ගේට්ටුවේ ප්‍රමාණයටම වූ විශාල කඩදාසියක එම සිතුවම කළ හැටි තවමත් මගේ මතකයේ ඇත.
ගේට්ටුව සාදන්නට දුන් පසු දිනක යකඩ වැඩකරු අපේ ගෙදර ආවේය. 'බැරිද ටිකක් හංස පූට්ටුවේ නැමි අඩු කරන්න? යැ යි තාත්තාගෙන් ඇසුවේ ය. 'බෑ' තාත්තා කිව්වේ ය. 'ඔහේ නම් පැන්සලයි පින්සලයි කරකව කරකව අඳියි. අපි එපෑ යකඩ නවන්න' ඔහු කන්කෙඳිරි ගෑවේය.
'බැරිනම් කියන්න. මම යකඩ නවන්න පුළුවන්කෙනෙක් හොයාගන්නම්' යැයි තාත්තා කිව්වේය.
තාත්තා හංස පූට්ටුවේ සැරසිලි නැමි අඩුකළාදැයි නොදනිමි. ටික දවසකින් නවන්නට බැරි යකඩ නැවී තිබිණ. තාත්තාගේ හංස පූට්ටු ගේට්ටු පියන් දෙක උජාරුවෙන් අපේ මහගෙදර ඉදිරිපට සවිකෙරිණ.
තාත්තා ඩිජිටල් යුගය එන්නට පෙර ගිරුවාපත්තුවේ සහ අවට සුපතල චිත්‍ර ශිල්පියකු වූයේය. එකල අප ප්‍රදේශයේ ඔහු අතින් නිම වූ මිද්දෙනිය නමින් අත්සන් කෙරුණු පෝට්රේට්ස්, දැන්වීම්, නාම පුවරු සුලබ දසුනකි. ඡායාරූප එන්ලාජ් කිරීමක් නොකෙරුණු එකල තාත්තා අතින් නිමාවූ පෝට්රේට්ස් ප්‍රමාණය දහස් ගණනකි. කෙනකු මිය ගිය පසු ඔවුන්ගේ පවුලේ අය මුලින්ම ආවේ තාත්තා සොයාගෙනය. බොහෝ විට ඔවුන්රැගෙන එන ඉතා කුඩා හැඳුනුම්පත් ප්‍රමාණයේ ඡායාරූපයකින් එසේ නැතිනම් බොඳ වී ගිය පැරණි ඡායාරූපයකින් අඩි පහේ හයේ විශාල ප්‍රමාණයේ පෝට්රේටයක් පැය කිහිපයකින් කැන්වසයක නිර්මාණය විය. මට මතකයේ ඇති සෑම ගම්උදාවක් සඳහාම පාහේ තාත්තා ප්‍රදර්ශන කුටි සහ ප්‍රදර්ශන රථ නිර්මාණය කළා පමණක් නොව ඒවා සම්මානයට ද පාත්‍ර විය. තාත්තා කතරගම ගම්උදාව සඳහා විශාල ට්‍රක් රථයක සුවිශාල මොනරකු නිර්මාණය කළ අයුරුත් එය බලන්නට බොහෝ සෙනඟ එකල අපේ මහගෙදරට ආ සැටිත් සුබ නැකතින් දොරටවට ඒ මොනර රථය පෙරහරින් කතරගම දක්වා ගෙනගිය හැටිත් තවමත් මගේ මතකයේ ඇත.
2012 වසරේ තාත්තා කලාභූෂණ රාජ්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබුවේ ය. ඊටත් එහා ගිය ආදරයක් ගෞරවයක් මිනිසුන්ගෙන ලැබුවේය.
මුදල් උපයන්නට බොහෝ මාර්ග අභිමුඛ වුවද තාත්තා කිසි දිනක මුදල් අංක එකට දැමුවේ නැත. කලාව, මනුෂ්යතක්වය සහ ජයා මිද්දෙනිය නම් වූ තමාව මුදලට වික්කේ ද නැත. එකල තාත්තා ඔහුගේ බොහෝ නි්මාණ කළේ අතින් වියදම් කරගෙනය. නොමිලයේ ය. සරල කුඩා මිනිසකු ලෙස ජීවත් වූ අපටත් එසේ ජීවත් වන්නට උගැන්වූ අපේ තාත්තා දැවැන්ත මිනිසෙකි.
තාත්තා විශ්මිත මිනිසෙකි. අප මෙලොවට ආවේ ගන්නටම නොව දෙන්නටත් බව මා උගත්තේ තාත්තාගෙනි. ලෝකයට ආදරය කරන්නට උගත්තේ තාත්තාගෙනි. මියැදුණු ගහක මුලක, නොසැලෙන කළු ගලක පවා කලා කෘතියක් දකින්නට උගත්තේ තාත්තාගෙනි. (එකල අපේ මහගෙදර ඉදිරිපිට වූ විශාල කළු ගල්වල පවා සිතුවම් ඇඳ තිබිණ) වැඩ කරන බව පෙන්වීමත් වැඩ කිරිමත් එකක් නොව දෙකක් බව උගත්තේ තාත්තාගෙනි. කරනා වැඩය කුමක් වුවද එයට උපරිමය දෙන්නටත් එයට අවංක වන්නටත් උගත්තේ තාත්තාත්ගෙනි. සංවේදී මනුෂ්‍යයකු වන්නට උගත්තේ තාත්තාගෙනි. අව්‍යාජ මනුෂ්‍යයකු වන්නට උගත්තේ තාත්තාගෙනි. මිනිසත්කම හැර අන් කිසිවක් ඉදිරියේ නොනැමෙන්නට උගත්තේ තාත්තාගෙනි. මම මමම වන්නට උගත්තේ තාත්තාගෙනි.
තාත්තා ජීවිත පාඩම් උගැන්වූයේ ක්‍රියාවෙන්ය. නිහඩවය. මා ඒ පාඩම් උගත්තේ ද නිහඩවමය.
තාත්තාගේ ජීවිතයේ අසීරු කාලවල දී, කඩාවැටීම් වල දී අම්මා ශක්තිමත්ව ඒවාට මුහුණ දුන් හැටි ද මම නිහඬවම බලාගෙන සිටියෙමි. ශක්තිමත් ගැහැනියක් වන්නට මම උගත්තේ අම්මාගෙනි.
කවුද? මන්ද.... මේ වසර අවසානයේ ප්‍රකාශයට පත් කරන්නට කාලයක සිට සැලසුම් කරගෙන සිටියෙමි. තත්තාගේම නිර්මාණයකින් හැඩවුණු මංජුසාවේ බහාලූ පොත, අම්මාටත් තාත්තාටත් පෙන්වන්නට කැමැත්තෙන් සිටියෙමි.
පොත එන්නට පෙර තාත්තා ගියේ ය.
- මේනකා ජයසුන්දර.
මා විසින් ලියන ලද කවි වගේ ඒවා එකතුවක් Coffee table, Pocket, E සහ Audio කෘති ලෙස අද ඔබට තිලින කරන අතර Coffee table, සහ Pocket ප්‍රමාණයේ පොත් විශේෂය. ඒ කවිවලින් ඔබ්බට ගිය කලා නෘතියක් ඒ දෙකෙහි අන්තර්ගත බැවිනි.
ප්‍රංශ සහ ඉංග්‍රීසි භාෂාවෙන් එළිදක්වා තිබූ විවිධාකාරයේ අලංකාර සහ නිර්මාණාත්මක Coffee table books දැක කියවා රසවිඳ ඇත්තෙමි. ඉනික්බිති ඒවාට පෙම් බැන්දෙමි. කවදා හෝ එම ශානරයේ පොතක් කරන්නට ඇත්නම් යැයි සිහින මැව්වෙමි. 2021 වසරේ දී ලංකාවට ගිය මොහොතක නීතිඥ අජානා රණගල කිවිඳිය ඇයගේ පළමු කාව්‍ය සංග්‍රහය වන 'අපේ අහ කොහෙද ලිලි මල්' පොත මට තෑගි කළා ය.ලංකාවේ ප්‍රකාශයට පත්කළ Coffee table පොතක් මා දුටු පළමු අවස්ථාව එයයි. ඉතා උසස් නිමාවකින් යුතු ඇයගේ පොත මගේ සිහිනය කුළුගැන්වූ බව නො කියව්වේ නම් එය අකෘතඥකමකි යනුවෙන් මේනකා සිය Pocket ප්‍රමාණයේ මේ කෘතිය නිර්මාණය කරමින් සඳහන් කරන්නී ය.
ඇය මෙසේ ද කියන්නී ය.
Pocket ප්‍රමාණයේ පොතක් බොහෝ විට මුද්‍රණය කරනුයේ අඩු පිරිවැයක් දරා මිලෙන් අඩු කඩදාසියේ වන අතර ඒ නිසාම සාමාන්‍ය ප්‍රමාණයෙන් මුද්‍රණය වන පොතකට වඩා අඩු මුදලකට පාඨකයා එය මිලදීගැනීමට හැකියාව ලැබේ. එමෙන්ම එහි ප්‍රමාණයෙන් කුඩා බව නිසාම පහසුවෙන් ඔබගේ කොකට්ටුවේ ගෙන යා හැකිය. ජාත්‍යන්තර පිළිගත් ක්‍රමවේදය එය වුවද කව්ද? මන්ද... පොත ඊට වඩා වැඩි පිරිවැයක් දරා නිමවා ඇත්තේ එහි කලාත්මක බව හා හුරුබුහුටි බව ආරක්ෂා වන පරිද්දෙනි.
Coffee table, සහ Pocket පෙත්වල මංජුසාව විශේෂිතය. ලාංකික ඔබට එය අලුත් අත්දැකීමක් ද වනු ඇත. පොතේ මංජුසාව සටහන් මේ පිළිබදව දීර්ඝව විස්තර කොට ඇතැ යි ද මේනකා සඳහන් කරයි. 2024 නොවැම්බර් මාසයේ ඇය පොත මුද්‍රණය කර ඇත්තේ ප්‍රංශයේ දිවි ගෙවමිනි.
කවුද? මන්ද... අලංකාර මුද්‍රණයකි. එහි මිල රුපියල් 2000/= කි. මිල සාමාන්‍ය පාඨකයකුට දරා ගැනීම අපහසු බව සැබෑවකි. ඉතා ඉහළ ආර්ට් පේපර භාවිතා කර අගනා කෘතිය ආවරණයට මංජුසාවක බහා තිබීමත් නිසා පිරිවැය වැඩියෙන් දරන්නට සිදුවන්නට ඇත.
කෙසේ වුව ද මේනකා ජයසුන්දර ගේ විසින් රචිත මේ කාව්‍ය සංග්‍රහය නිමහම් කරන්නට ඈ ගෙනැති වෙහෙස ද අගය කළ යුත්තේ ය. මෙවන් කෘතියකින් හෝ තම හැඟීම් දැනීම් සෙස්සන් හා බෙදා හදා ගන්නට විදේශයක හිඳිමින් හෝ (විදෙස් හි සිට ලියන තව ලේඛකයින් සිටින බව අපි දනිමු) ඈ හෙළදිව වැසියනට නවමු අත්දැකීමක් එක්කිරීමට සමත්වීම පැසසිය යුත්තේ ම ය.
අපේ බොහෝ ඇත්තන් දුරු රටකට ගිය විට උපන් බිමත්, මව් බසත්, අමතක කරද්දී මේනකා වැනි යම් පිරිසක් ස්වකීය කාලය හා ශ්‍රමය වැය කරමින්, බසට පණදෙන්නට ගන්නා වූ අපමණ වෙහෙස, අගය කිරීම ඔවුන් තව තවත් දිරිමත් කර, වියැකෙමින් පවතින හෙළ බස, ඔප්නංවන්නට හෙළදිව නිබඳවම සැරසී සිටිනා වග ද සටහන් කරන්නෙමු.
හදවතේ පහළවන අනුභූති පූර්වක භාවයන් ආකාස්මිකව මුදාහැරීම කවියක ආරම්භය යි. රස වක්‍රොක්ති ධ්වනි ඖචිත්‍ය ආදියෙන් මේනකා සිල්ප දක්වා ඇත්තේ ය. එහෙත් මෙහි අකුරුවල (පොන්ට් 12) ප්‍රමාණයෙන් මුද්‍රණය කෙරුණේ නම් පාඨකයාගේ කියවීමට පහසුවකි. ඒත් මෙහි ඇත්තේ පොන්ට් 09 හෝ 10 හෝ ප්‍රමාණය වීම හේතුවෙන් වැඩිහිටි පාඨකයනට කියවන්නට සිදුවන්නේ අසීරුවෙන් බව සඳහන් කළ යුත්තේ ම ය.
මෙවන් නවමු කෘති ලාංකේය පාඨකයන් අත පත් කරන්නට හැකිවේවා යනු හෙළදිව ඊ පුවත් සංග්‍රහයෙන් මේ නිර්මාණකාරියට ආශිර්වාද!!!