උණුසුම් පුවත්කාලීනදේශපාලන

“ක්ලීන් ශ්‍රී ලංකා” අරමුණු සාක්ෂාත් කර ගැනීමට

අමාත්‍යාංශවල කාර්යභාරය සමාලෝචනය

රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක ක්ලීන් ශ්‍රී ලංකාවැඩසටහන වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් බිලියන 05 ක ප්‍රතිපාදන වෙන් කෙරුණි.  එම ප්‍රතිපාදන ඵලදායීව භාවිතයට ගැනීම පිළිබඳ  අදාළ අමාත්‍යාංශවලින් ලබා දී ඇති ව්‍යාපෘති වාර්තා සහ ඒ අනුව වෙන් කළ හැකි මූල්‍ය ප්‍රතිපාදන පිළිබඳ මෙහිදී විමසා බැලීම අද සිදු විය.

ක්ලීන් ශ්‍රී ලංකාජාතික වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට අදාළව ඒ ඒ අමාත්‍යාංශවල කාර්යභාරය පිළිබඳ සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් අදාළ ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් ජනාධිපති මන්දිරය ඉදිරිපිට චාර්ටඩ් ගොඩනැගිල්ලේ දෙවන මහලේදී අද (20) පැවැත්විණි.

එසේම පාසල්වල යටිතල පහසුකම්  (සනීපාරක්ෂක) වැඩි දියුණු කිරීම, මාර්ග අනතුරු වළක්වා ගැනීම සහ මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ඉටු කළ හැකි කාර්යභාරය, සංචාරක කර්මාන්තයට අදාළ මාර්ගෝපදේශ සකස් කිරීම, කුලී රථ රියදුරන්ගේ ආකල්ප සහ සදාචාරත්මක හැසිරීම් වැඩිදියුණු කිරීම, මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයට අදාළ තිරසර සැලැස්මක් සකස් කිරීම, ඉහළ මහවැලි පෝෂක ප්‍රදේශවල පාංශු සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මහවැලි කලාපවල තෝරාගත් ප්‍රදේශ කිහිපයක පරිසර පද්ධති සංරක්ෂණයට අවශ්‍ය පියවර ගැනීම ඇතුළු රට තුළ සාමාජීය, පාරිසරික මෙන්ම ආචාරධාර්මික පිබිදීමක් ඇති කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු නව වැඩසටහන් පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

රාජ්‍ය පාරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය, කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය අමාත්‍යාංශය, විදේශ කටයුතු, විදේශ  රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, කෘෂි කර්ම පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල සහ මුදල් කොමිෂන් සභාව, සංචාරක සංවර්ධන අධිකාරිය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, මහවැලි සංවර්ධන අධිකාරිය, වනජීවි දෙපාර්තමේන්තුව යන ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.