උණුසුම් පුවත්දේශපාලන

කෘෂිකර්ම කැබිනට් ඇමති අනුර එක වැවක් හැදුවේ නෑ – මම රාජ්‍ය ඇමැති වුණත් වැව් 1740 ක් හැදුවා – අනුරාධ ජයරත්න !

පාර්ලිමේන්තු මහ මැතිවරණය - 2024 නොවැම්ර් 14

දක්ෂ නායකයෙක් වෙන්න ඉංග්‍රීසි දැනුම අත්‍යවශ්‍ය නෑ : නමුත් නිවැරදි දැක්මක් සහ වැඩපිළිවෙලක් අවශ්‍යයි !

 අවුරුදු එකහාමාරෙන් රට යළිත් අර්බුදයේ : රට භාරගන්න ගෑස් සිලින්ඩර කණ්ඩායම සූදානම් !

-නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මහනුවර දිස්ත්‍රික්  මන්ත්‍රී ධූර අපේක්ෂක  හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා

වත්මන් ජනාධිපති අනුර දිසානායක මෙරට කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ වැව් දහසක් හදන බවට පොරොන්දු වූවත් එක වැවක් හැදීමට අසමත් වුවත් තමන් වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙටි කාලය තුළ වැව් 1740 ක් සෑදීමට සමත්වූ බව හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවසීය .

දක්ෂ නායකයෙකු වීමට ඉංග්‍රීසි භාෂා දැනුම අත්‍යවශ්‍ය නොවන නමුත්  රට ගැන නිවැරදි  දැක්මක් මෙන්ම නිවැරදි  වැඩපිළිවෙලක් අවශ්‍ය බව පෙන්වාදුන් ඒ මහතා වත්මන් ආණ්ඩුවේ හැසිරීම අනුව තවත් වසර එකහාමාරක් යන තැන රට යළිත් අර්බුදයට යාමේ අවධානමක් පෙන්නුම් කරන බවද සඳහන් කළේය .

හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා මේ බව සඳහන් කර සිටියේ එළැඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට , නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂය යටතේ  ගෑස් සිලින්ඩරය ලකුණින් මහනුවර දිස්ත්‍රික්කයෙන්  තරගවදින කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන්, පැවති මහනුවර දිස්ත්‍රික් තරුණ සමුළුව   අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය .

21 මැතිවරණයේදී අපි කණ්ඩායමක් ලෙස ගෑස් සිලින්ඩරය දිනවන්න කටයුතු කළා. අපි එහිදී විශ්වාස කළ මතවාදය තමයි , ඊට පෙර එක වේදිකාවක අපි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සනාග එකට දේශපාලනය කර නොතිබුණත් , ඒ වැඩපිළිවෙළ ඉදිරියට ගියොත් රටට යහපතක්  වෙයි කියලා . නමුත් ජනතාව අනුර දිසානායකව ජයග්‍රහණය කරවා තියෙනවා . එනිසා මම පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් තියෙනවා ඔහුව මෙරටේ මිනිස්සු රාජ්‍ය නායකයා ලෙස තෝරා පත්කර ගත්තා නම් මේ මැතිවරණයෙන් පසුවත් අපි එතුමාගේ කකුලෙන් ඇදීම අපේ කාර්යභාරය නොවිය යුතුයි . මම තරුණ ඔබට මේ කාරනාව සිහිපත් කරන්නේ , තරුණ ඔබේ ශක්තිය දන්නා නිසයි . බොහෝ දේශපාලන ව්‍යාපාර තරුණයන් එකතු කරගන්නේද තරුණයන් සතු ශක්තිය නිසයි .  ඇතැම්විට ඔවුන් සතු ශක්තිය තරුණ ප්‍රජාව දන්නෙත් නෑ . ඒ නිසා ඇතැම් දේශපාලන ව්‍යාපාර තරුණ ශක්තිය එකතු කර එක රටේ උන්නතිය වෙනුවෙන් යොදාගන්නවා වෙනුවට ඔවුන්ගේ පෞද්ගලික මතිමතාන්තර ජයග්‍රහණය කරවීමට යොදාගන්නවා . ඒ නිසා තරුණ ප්‍රජාව කිසියම් කණ්ඩායමකට සහාය දෙන විට එහි අවසන් ප්‍රතිඵලය මොකක්ද යන්න කෙරෙහි අවධානය යොමු කල යුතුයි .

ඒ නිසා මා තරුණ ඔබට කියන්නේ අපිට මේ රට නැවත වැටෙන්න දෙන්න බෑ .  මේ රට නැවත කඩා වැටෙනවා නම් මේ රට නැවත ඉදිරියට ගෙනයන්නට නොහැකි තත්ත්වයක්‌ උදාවෙනවා නම් ,ඒ මොහොතේ අභියෝගය බාරගන්න පුළුවන් හොඳ ශක්තිමත් කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි . ඒ ශක්තිමත් කණ්ඩායම හැදීමේ වගකීම අපි ඔබ සියලු දෙනාට තිබෙනවා .  අපි ඒ වගකීම ඉටුකළේ නැත්නම් මේ රට යළි වැටුණොත් ගොඩගන්න වසර 10ක් පමණ ගතවෙනවා . යළි රට ගොඩගන්න එතරම් කාලයක් යනවා නම්, ඒ ගෙවෙන්නේ ඔබේ හොඳම කාලය බව මේ වන විට අවුරුදු 25-30 ඉන්න ඔබ තේරුම ගතයුතුව තිබෙනවා. ඒ විදිහට වැටුණු රටවල් සැළකුවහොත් ග්‍රීසිය යලි ගොඩගන්න වසර 12ක් පමණ ගියා .  වෙනිසියුලාව දැන් වසර 8ක පමණ කාලයක සිට වැටිලා තියෙන්නේ. ඔවුන් තවම ගොඩ එන පෙනුමක්වත් නෑ . බංග්ලාදේශය ගත්තොත් ඔවුන් අපිට වඩා සංවර්ධන වේගයක් තිබුණු රටක් .  අපේ රට වැටුණු වෙලාවේ අපිට ඩොලර් මිලියන 200ක් ණයට දුන්න රටක් . නමුත් අද කර්මාන්තශාලා 286ක් වැහිලා .  ඔවුන් ඩොලර් බිලියන 6ක ආධාරයක් ඉල්ලගෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගිහිල්ලා . ඒ නිසා තමයි මම සෑම වේදිකාවේම කියන්නේ මේ රට වැටෙන්න දෙන්න බෑ කියලා .

ආණ්ඩුවක් පත්වූ දවසේ ඉඳලා කකුලෙන් අදින සම්ප්‍රදායික දේශපාලනයට අපි තිත තියන්න අවශ්‍යයි . ඒ දේශපාලනය එක්ක කවදාවත් රටක් හදන්න බෑ . ඒ වගේම තමයි වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙල මේ ආකාරයට නම් දිගටම යන්නේ අවුරුද්දක් එකහාමාරක් යන තැන යළිත් අර්බුදයට යනවා .  ඔබ දන්නවා ඇති පසුගිය දිනවල ජාත්‍යන්තර සමුළු 2ක් තිබුණා . එකක්  පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව .  අනෙක බ්‍රික්ස් සමුළුව .  බ්‍රික්ස් සමුළුවේ රටවල  ඒකාබද්ධ ජාතික ආදායම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 26ක්. ජනගහනය බිලියන 3.2ක් ඉන්නවා .  එතරම් වැදගත් සමුළු දෙකකට ආරාධනා ලැබුණත් අපේ රාජ්‍ය නායකයා යන්නේ නෑ . මේ විදේශ සබඳතා පළුදු කරගෙන අපි රටක් විදිහට ඉස්සරහට යන්නේ කොහොමද ? අනුර දිසානායක කියන්නේ මීට මාස දෙකකට පෙර නිකං විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් . නමුත් ඔහු අද මේ රටේ ජනාධිපති . මිලියන 22ක ජනතාවගේ නායකයා . නමුත්  ඔහු ජනතාව නියෝජනය කර ඒ සමුළු සඳහා නොගිහින් නිලධාරීන් පිරිසක් යවලා .රට පාලනය කරන්නේ මෙහෙමද ? ඉදිරියටත් කටයුතු කරන්නේ මේ ආකාරයටම නම්  වැඩි දුරක් යන්න ලැබෙන්නේ නෑ .

ඔවුන් බලය ගැනීම වෙනුවෙන් විවිධ බොරු මතවාද හැදුවා.  එකම බොරුව හත්පාරක් ඔලුවට වැටෙනකොට මිනිස්සු ඒක විශ්වාස කළා . තෙල් ලීටරයකින් කංචන ඇමතිතුමාගේ සාක්කුවට රුපියල් 120ක් යනවා කිව්වා .  කවුරු හරි තෙල් ලීටරය රුපියල් 180 ට ගන්න අනුර දිසානායකට ජන්දය දුන්නා නම් ඔහුට ඒ මිලට අද තෙල් ලැබෙනවද ? ඒ වගේම අපේ ඇමතිලා බිත්තරයෙන් පවා කොමිස් ගහනවා කියලයි කිව්වේ .  නමුත් අද මොකද වෙලා තියෙන්නේ . නිලන්ති කොට්ටච්චි කියන මාලිමාවේ ක්‍රියාකාරිනිය හරි ලස්සනට කිව්වා උගන්ඩාවේ අපේ  ඩොලර් හංගලා තියෙනවා .  ඒවා අපිට ගන්න ඕන නැද්ද කියලා .  ඒවා ගන්න ඕන කිව්වා .  නමුත් දැන් ටිල්වින් සිල්වා කියනවා එයාලා එහෙම කතාවක් කිව්වේ නෑ කියලා .  අපේ ඔළුගෙඩි වෙනස් කලේ ඔහොමයි .

එනිසා අපේ මහනුවර තරුණ ඔබ අමතන මේ මොහොතේ වැදගත් කාරණයක් කිව යුතුයි .  පාලනය නිල් ද කොළ ද රතු ද අදාළ නෑ . මේ විදිහට රට කරගෙන ගියොත් අවුරුද්දක් , උපරිම එකහාමාරක් යන තැන නැවත ගෑස් සිලින්ඩරය නියෝජනය කරන අපේ කණ්ඩායමට මේ රට භාරගන්න සිද්ධ වෙනවා .  අපි නොවැම්බර් 14 ට පස්සේ ආණ්ඩුව උස්සන පිරිස නෙවෙයි .  රට වැටෙනකොට භාරගන්න කණ්ඩායමයි . 

2022 දී රට වැටෙනකොට විපක්ෂ නායකතුමාට වගකීමක් තිබුණා මේ රට බාරගන්න .  නමුත් එතුමා භාරගත්තේ නෑ .  මොනවා වුණත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපේ කණ්ඩායමේ සහාය අරගෙන වැටුණු රට යළි ගොඩනගන වගකීම භාරගත්තා .  එදා ගෙවල් විතරක් හැත්තෑ ගණනක් ගිනි තියලා .  මිලියන ගාණක් මිනිස්සු පාරට බැහැලා .  තවත් එවැනිම ගණනක් තෙල් පෝලිම් වල ගෑස් පෝලිම් වල හිටියා .  කිරිපිටි , ඖෂධ පෝලිම් වල ජනතාව දුක් වින්දා .මන්ත්‍රීවරයෙකුට පාරට බහින්න් පුළුවන් කමක් තිබුණේ නෑ .   එහෙම තිබුණු රටක් තමයි අපි මේ තැනට ගෙනාවේ . ඒ නිසා වැටුණු රටක් ගොඩගත් කණ්ඩායම ඉන්නේ, පළපුරුද්ද සහිත කණ්ඩායම  ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ අපි සමඟයි . 

එසේ නම් ඒ කණ්ඩායමේ බහුතරයක් පාර්ලිමේන්තු යවලා ශක්තිමත් ගෞරවනීය විපක්ෂයක් හදන්න ඔබ තමුන්නාසේලාගේ සහයෝගය , ශක්තිය අවශ්‍යයි . ඔබට මතක ඇති අද ජනාධිපති අනුර දිසානායක කෘෂිකර්ම අමාත්‍යවරයා වෙලා හිටියා .  ඒ කාලේ කිව්වේ වැව් දසදහසක් හදනවා කියලා .  නමුත් ඔහුට එක වැවක් හදන්න බැරි වුණා .  නමුත් මම ඉතාම කෙටි කාලයකට වාරිමාර්ග අමාත්‍යංශයේ වගකීම දැරුවා .  ඒ කෙටිකාලය තුළ වැව් පමණක් 1740 ක් හදන්න මම කටයුතු කළා .

සාර්ථක නායකයෙක් වෙන්න ඉංග්‍රීසි දැනුම ඕන කියලා එකක් නෑ .  ලෝකයේ මේ වන විටත් සිටින සහ හිටපු ප්‍රබල නායකයන් සියල්ල ඉංග්‍රීසි දැනුම තිබුණ උදවිය නෙවෙයි .  නමුත් ඔවුන්ට රට ගැන දැක්මක් තිබුණා වැඩපිළිවෙලක් තිබුණා . එය ක්‍රියාත්මක කර ඔවුන් සාර්ථක වුණා .  ඒ නිසා තරුණ ඔබට මම යෝජනා කරන්නේ එන්න අපි හරි ත අහිටගමු , . රට හදන දැක්මක් ඇති වැඩපිළිවෙලක් තියෙන කණ්ඩායමක් සමඟ ශක්තිමත්වෙමු .  මේ රට ගොඩනගමු.