උණුසුම් පුවත්සාහිත්‍යය හා කලාව

කෙටිකතාව

ලොකු එකා

දෙපැයක ට වැඩි කාලයක් උදැල්ලත් එක්ක පොර බදමින් හුන් මා ගෙට ගොඩ වැදුණේ කෙටි විවේකයක් ගෙන ආපහු වංගියක් කොරටුවට යෑමේ අපේක්ෂාවෙනි. බිරියගෙන් වතුර ජෝගුවක් ඉල්ලා ගත් මා එය එක හුස්මට බීගෙන බීගෙන යන හැටි ඈ බලා හුන්නේ අයාගත්තු මුවෙනි. කිසිවක් නොබිණි බිරිය තේ කහට උගුරක් මට දිගු කළේ තවමත් නොපහව පැවති ඇගේ විශ්මිත දෑස මවෙත එල්ල කර ගෙන ය.

ඔය අතරේ ඉස්තෝප්පු කාමරයෙන් විළවුන් සුවඳක් වහනය වූයෙන් මා සැක සහිත සිතින් බිරිය වෙත නෙත් රඳවා ගත් විලාසය දැක උපහාසාත්මක හීන් හිනාවක් මුවෙහි රඳවා ගෙන සිටින්නී, මා කෙරෙහි පවත්නා ඇගේ මනස්තාපය වචනයෙන් කියන්නට නොහැකි නිසා වෙන්නට ඇත.

“ආහ්.... හරි හරි... මං ලෑස්තිවෙලා ඉන්නෙ... දැන් කොයි හරියෙ ද? එහෙම ද? හා හා රයිට් රායිට්... ඕකේ... ඕකේ... මං එහෙනං අපේ ළඟ හන්දියේ බලා ඉන්නවා...... රායිට්.. රායිට්...... චෙරියෝ.....”

ලොකු එකා කවුරුන් එක්ක දෝ ජංගමයා ඔස්සේ කතා කරපු ඒ වචන කීපය මහිතට ඇතුළු කළේ ලොකු කුකුසකි. මා බිරිය දිහා බැලුවත් ඈ හුන් ඉරියව්වෙහි ම හුන්නා මිස වෙනත් කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. ඔහු ජංගමයා හෙවත් මොබයිලා ඔස්සේ හුවමාරු කරගත්තු වචන ගිලිහුණේ කිසියම් ප්‍රසන්න බවෙකින් යයි මට හැඟුණි. මා දෙවැනි වරටත් කොල්ලාගේ අම්මා දිහා ඇස් රැඳ වුව ද ඇ කිසිදු හැඟීමක් දැනීමක් නැත්තියක සේ, මිදුලේ වැලි තලාවේ වැතිර ඒ පැත්තට මේ පැත්තට හැරෙන පෙරළෙන බැළලිය වෙත පෑ බැල්මෙන් සිටින්නී ය.

“ෂුහ්ග් හොර බැළලි”  මගේ මුවෙන් ඒ වචන ගිලිහුණේ මටත් නො දැනිම ය. ඒත් ඈ නෙවේ මා කී වචන දෙක තුනට කනක් ගැහුවේ. ඈ ඇගේ ක්‍රිියාවේ දිගට ම නියැළී සිටියි. මහිතට බැළලිය කෙරෙහි පැන නැංගේ අන් කවරදාකවත් ඇති නොවූ තරමේ කේන්තියකි. කිසිම සතකුට කිසිම විදියකින් හිංසාවක් පීඩාවක් නොකරමින්, මේ දක්වා මා රැක්ක වෘතය හිතෙන් පළා යන සෙයක් මට දැනේ. ඒත්  බෝ ආයාසයකින් බැළලිය කෙරෙහි, හටගත්තු කේන්තිය පහකර ගන්නට දත කෑවෙමි.

ඈ අපේ ගෙදර හුරතලයට ඇති කරන හුරතලියක නොවේ. අයාලේ කඩා පාත්වී අපේ ගෙදරත්, යාබද ගෙවල් දෙක තුනකත් කරක් ගහන, මේ බැළලිය සමහර දවසට අපේ මිදුලේ ද මිදුලේ නැත්තං ගේ ඉස්සරහ ගුරු පාරේ ද, උඩුබැලි අතට දිගෑදී ඒ පැත්තට මේ පැත්තට දඟල දඟලා පෙරළෙන හැටි කි දවසක් නං මා දැක ඇද්ද? ඒත් අන් දිනවල කොයියම් ම වෙලාවකවත්, මට බීළාලියගේ මේ හැසිරීම කෙරෙහි කෝප හිතක් පහළ වී නැත. බොහෝ දවස්වල මිදුල අමදින විට ඇගේ වසුරු මිදුලේ කිසියම් තැනක දෙතැනක වසා දමා තිබෙනු දැක්ක වහා උදැල්ල ගෙන ඒවා ඉවත් කොට මිදුල අමදින්නට මට සිදු වෙතත් “මේ වල් බැළලි අදත් මිදුල ජරා කරලා නෙවැ” මුවින් පිට කරනවා මිස අඩු තරමින් පුංචි ගල් කැටයකින් වත් ඒ තිරිසනාට පහර දෙන්නට මගේ හිත නො කියයි. ඒ නිසා ම දෝ දවස් දෙක තුනකට වංගියක් බැළලිය අපේ මිදුල කෙළසයි.

තවත් මොහොතකින් මට දැකගන්නට හැකි වුණේ ලොකු වැදගත් ගමනක් යන්නට වගේ සැරසුණු ලොකු එකා ජැණ්ඩියට හැඳ පැලඳ ගෙන අප දෙන්නා පියමං කොට මිදුලට බහින හැටිය. වෙනදා ඒකා මටත්, බිරියටත් වැඳ ආශි්ර්වාද ලබා ගන්නට උත්සුක වුණත්, මේ දැන් ඒ සිරිත පිළිපැද්දේ නැත. කළු පාට ටීෂර්ට් එකකින් ද නිල් පාට දිගු ඩෙනිම් කලිසමකින් ද සැරහී, ලොකු පුතා මහ ලොක්කකු වගේ ඉක්මන් ඉක්මන් ගමනක යෙදෙන අයුරු, මා බලා ඉන්නේ හිතේ වගා දිගා වන නො රිස්සුම් බව බිරියටවත් නො පෙන්වමිනි.

බිරිය දිගු හුස්මක් ඉහළට ඇද පපුවේ රඳවා ගත්තු වග ඈ අසල ම පිලේ උක්කුටියෙන් හිඳින මට දැනුණි. ඈ උඩට ගත්තු හුස්ම එකවර පහ කළේ නැත. හීන් හඬින් හෙමි හෙමින් එය බැහැර කළා ය.

මා ඇගේ මුහුණ බැලුවා හැර එක කෙළ බිඳක් මුවෙන් බැහැර නො කළේ ඇගේ ප්‍රතිචාරය දැන කියා ගන්නට පහළ වුණු සිතැතිව යි. බිරිය ත් කිසිදු වචනයක් බැහැර නො කර බලා ගත්තු ඉරියව්වෙන් ම, මා අසල ම රැඳි ඉන්නේ මා හිස් කළ තේ පීරිසිය අතක රඳවා ගත්තු ගමන් ම ය.

ඒ මුහුණේ කිසියම් තැවුල් බවක් එල්ලී ඇතැ යි මට සිතේ. ඒත් මා නොවේ ඒ ගැන අහන්නට, අසා දැනගන්නට, නිකමටවත් හිතුවේ. පුතා අපේ ඇස්වලින් ඈත් වී දුරස් වී නො පෙනී යන තෙක් අප දෙදෙනාගේ ම නෙත් රැඳී පැවතියේ අපට පිටුපා යන ඔහුගේ රුව දිහාවට ය.

හැඩකාර ගජ ඉළන්දාරියකු සේ හොඳට උස් මහත් වී ඇති, ලොකු එකා කෙරෙහි මසිත ඇත්තේ පුදුමාකාර ආඩම්බරයකි. මගේ කල්පනාවේ හැටියට නම්, මබිරිය මව වඩා බෝ සෙයින් ඒ ගැන, ආඩම්බරයකින් ෂතුටකින් නිබඳව ම පසුවන වග මා හොඳින් දනී. ඒත් ඒ බවක් මා නොවේ නිකමටවත් කොයියම් ම වෙලාවකවත්, කටක් හැර ලොකු එකා කෙරෙහි හිතේ තැන්පත් ව පවතින සතුට, ආඩම්බරය ගැන කිව්වේ.

මා පිළේ වාඩිවි හිටිද්දී ගෙදර උන්දැ මා අසල ඉන්නේ ඉස්තෝප්පුවේ පිහිටි මැද කනුවට හේත්තුවක් දාගෙන ය.

අප දෙන්නා’තර විනාඩි කිපයක පැවති දැඩි නිහඬතාවය බිඳ හෙළන්නට මට සිතුණේ ඈ  කෙරෙහි ත් ලොකු එකා කෙරෙහිත් ඇති වෙමින් මෝරා වැඩෙන කේන්තිය ඉවසල ඉවසල බැරිම තැන ය.

“කොහෙද අරය අර ජැණ්ඩියට ඇඳගෙන යන්නේ?” බැරිම තැන මම බිරිය ගෙන් විමසීම්. ඒ වන විටත් මහිතේ ලියලා වැඩෙමින් පැවති අනිසි කෝපය තව තවත් වැඩිවෙමින් පැවතිණි.

දිගු හුස්මකින් ආපහු වංගියක් ළය පුරවා ගත්තු ඇගේ කටහඬ මගේ දෙසවන්පත් අතරට රිංගෙව්වා ය.

“කොළඹ”

“කොළඹ” ඈ දුන් උත්තරය ප්‍රශ්නයක් කරගනිමින් පෙරළා විමසුවෙමි මම.

“ඔව්.... කොළඹ” මබිරිය දෙවන වරටත් කොළඹ යැයි තෙපලුවේ ඔව් යන්නද එක් කරමිනි.

“අර මක්කටෙයි?”

විශ්මය දනවමින් මා මුවින් පිට වුණේ මට ද නො දැනුවත් ව ය.

“හ්ම්.... හනේ මං දන්නෑ... ඔහෙට අහන්න තිබුණා නෙවැ මගෙන් අහන්නේ පුත්තරයගෙන්” ඈ පිළිවදන් බැන්දේ මොකක්දෝ නුරුස්නා බවකින් වග මට ටග්ගාලා තේරුණි.

මම කිසිවක් නො බිණියෙමි.

“ඔය මොකක් ද උපවාසයක් තියෙනව ලු කොළඹ. ආන්න ඒකට”

”උපවාසයක්... ??”

“හ්ම්... උපවාසයක් ය කියා තමා ලොකු පුතා කිව්වෙ”

“උපවාසයක්.... උපවාසයක්.... හනේ එක වේලක් බඩගින්නෙ ඉන්න බැරි එකා, කොහොම ද ඕයි උපවාස කොරන්නෙ?”

“ඒක හැබෑව... ඒක හැබෑව තමා... ඉතින් හනේ මං දන්නෑ”

“කාටද අර කිව්වෙ එයා ගේ ළඟ හන්දියෙ ඉන්නං කියා....”

“තව කට්ටියක් එක්ක නෙවැ යනව යැ කීවෙ.”

“මට ඇහුණෙ කවුරු හරි ගෑනු ළමයකුගෙ හඬක් !”

“වෙන්නැති.. යාළුවො කට්ටියක් එනවලු... ඔය ෆේස්බුක් යාළුවො ය කියනවා නෙවැ.”

“ෆේස්බුක් යාළුවො....” එය ම ප්‍රතිරාවය කළ මා බිරිය වෙත පෑවේ සැකයක් බියක් හා විශ්මයක් එකට කැටිකොට ගත්තු දෑසකි. ඒ සැකය බිය හා විශ්මය ඇගේ වත කමලේ ද එල්ලී තිබෙන අයුරු මට පෙනුණි.

“පෙනුණා නේ ඒකාගෙ තිබුණු රැස්පොට් එක. මේ අම්ම ය මේ තාත්ත ය කියා කිසිම ගරුසරුවක් නැතිව නෙවැ ඒකා ගෙයින් එළියට බැහැලා ගියේ.

බිරිය ගේ මුවෙන් බැහැර වූයේ දිගු හීල්ලීමකි. මා ඈ සේ හීල්ලුවේ නැත. ඒත් මහිත අස්සෙ මොකක්දෝ විස්තර කළ නො හැකි අන්දමේ කිසියම් ආකාරයක දැඩි වේදනාවක් එල්බ ඇති වග ඈ තේරුම් ගන්නට ඇත.

“ඌ දැන් මහ ලොක්කෙක් වෙලා වගේ. වෙනදා තිබුණු යහපත් ගතිගුණ දැන් දැන් ලොකු එකාගෙන් ගිලිහෙනවා වගෙයි මට නං තේරෙන්නෙ‘”

බිරිය ආපහු වංගියක් හූල්ලන්නට පටන් ගත්තා ය. ලොකු පුතාගේ හදිසි වෙනස්විම ඈටත් හොඳින් ම දැනී තේරී ඇති වග ඇගේ ඒ හීල්ලීමෙන් මට ගම්‍ය විය.

“ඇයි ඉතින් ඔහේ නෙවැ ඒකා දොං කොරන්නෙ.... ඌ ඉල්ලන ඉල්ලන දේ අරන් දෙන්නෙ ඔහේ නෙවැ. මං කොච්චරක් නං කියල තියෙනව ද දරුවන් ඉල්ලන ඉල්ලන දේවල් දෙන්න එපා ය කියා. කොහෙද ඔහේ මං කියන කිසිම දෙයක් කනකට ගන්නව යැ.”

මගේ කීමට ඈට කේන්තියක් හට ගත්තේ ය. ඒ වග මට පෙන්නන්නට ඈ නොරිස්සුම් සහගත බැල්මකින්  වත සරහා ගත්තී ය.

“ඔය ෆේස්බුක් යාළුවො ගැන කොච්චරවත් පත්තරවල තියෙනවාය කියන එක මං කි දවසක් ඔහෙට කිව්ව ද? ඔහේ කිව්වෙ නැද්ද මං එහෙම කියපු කතාව ලොකු පුතාට” හඬ වෙනස් කරමින් මම කීවෙමි.

“මොකද නැත්තෙ මං කීව... කීවා.... ලොකු පුතා කියන්නෙ දැන් කාලෙ තාත්තලගෙ කාලෙ වගේ නෙවෙයි කියා... මේවට වැරදිකාරයො අපි නෙවේ ය අම්මලා තාත්තලා ය කියලා”

පුතා කිව්ව ය කියන කතාව ඈ එහෙම කිව්වහම මට ඇති වුණේ මා ගැන වූ දුකක් ද එහෙමත් නැත්තං පුතා කෙරෙහි හට ගත්තු දුකක් දැ යි කියන්නට මට නො තේරේ. කොහොම වුණත් මම අන්දමන්ද වීමි. තුෂ්ණිම්භූත විමි.

“හ්ම්.... ඒකත් එහෙම යි එහෙනං.... කියන දේ නාහන ගුරු ඉහළ ගියත් අපට මොකෝ.. පහළ ගියත් අපට මොකෝ... කියල කියන්නට තරං නෝබිනා අප්පච්චි කෙනෙක් නෙවෙයි මං.... හැබැයි ඉතින් දැන් දැන් ලොකු එකාට ලොකුවෙලා තියෙන්නෙ ඒකා වදපු අම්මා වෙච්ච ඔහේවත් ජාතක කරපු මේ තාත්තවත් නෙවෙයි.... මතකයි නෙවැ 71 කාලේ... මතක යි නෙවැ ඔහෙට අසූ අටේ අසූ නමේ කාලේ... එතකොට මේකා ඉපදුණේ ඊට හවුරුදු හතරකට විතර කලින් නෙවැ. ඉතින් ඒ කාලෙ දේවල් මං කට කැඩෙනකං කියල දුන්නත් ලොකු එකා ඒ මොකක්කත් ම ඔළුවට අරන් නෑ. මට දැන් බය අනෙක් දෙන්න යි පොඩි කෙල්ල යි ගැන. එවුනුත් මූ වගේ ම අම්මා තාත්තා කියන දෙයක් ගණනකට ගන්නෙ නැතිව ලොකු එකා ම අනුකරණය කළොත් කියන එක....”

තවත් ටික වෙලාවකින් බස් එකක් පාරෙ නවත්තන සද්දෙත් ඒකට ලොකු එකා ගොඩවෙන අයුරුත් මගෙත් බිරියගෙත් ඇස්වලට යාංතමින් අසුවුණි. ඒ හෙවණැල්ලක් බඳුව ය. ඈ දෑස ලොකු කරන් බස් එකේ කටිටිය දිහා බලා හිටිද්දි මං දැක්කේ කළු පාට බැනියම් ඇඳගත්තු කොල්ලන් කෙල්ලන් රොත්තක් සටන් පාඨ කිය කියා කළු කොඩි වන වනා ඉන්න හැටි. ලොකු එකා බස් එකට ගොඩ වෙන්නත් කලින් ඒක ඉස්සරහට ඇදුණේ අර කොල්ලන්ගෙයි කෙල්ලන්ගෙයි වියරු ඝෝෂාකාරී හඬ පළාත දෙදරව දෙදරවා නැඟුණු දෝංකාරයෙනි. ඔවුන් බොහොම දෙනකු සම වයසේ ය. කීප දෙනකු අපේ එකාට වඩා හවුරුදු හත අටකින් විතර වැඩිමාල් විය හැකි ය.

මොවුන් ගේ එකායන පරමාර්ථය ඔවුන්ගේ ම ආණ්ඩුවක් ඇරඹීමට සටන් වැදීම යැ යි එක හඬින් කෑ ගා කියන සටන් පාඨය මදෙසවන් පත් අතර නින්නාද වෙද්දී හටගත්තු හැඟීම් මොන වගේ දැ යි කියන්නට මම බියවෙමි. ඒ බිය මබිරියගේ හිතෙහි ද වැඩී ඇති සෙයකි. ඈ නිකටේ අත්ලක් රඳවා ගනිද්දි මා හිතෙන් විඳින පිඩාව කොච්චරක් ද කියන්න දන්නේ මා පමණි.

“කොල්ලො කියන එකෙත් ඇත්තක් තියෙනවා.... අපේ එකා නං කියන්නෙ ඔක්කොම එකෙයි කියා. උන් ඔක්කොම තොලොංචි කරන කං උපවාසෙ කොරන්න රට පුරයින් ම කට්ටිය එකා වගේ පෙළ ගැහිල ලු ඉන්නෙ. රටට යහපතක් වෙනව නං මැරණත් කමක් නෑ කිය කියා දැන් සති ගණනාවක් ම අපේ එකා එක එක්කෙනාට ටැලිපෝන් කර කර කියනව මට ඇහිලා තියෙනවා.  එහෙම ඇහිලා මං කීප වංගියක් ම ලොකු පුතාට දොස් කිව්වා....”

“ඉතින්?”

“ඉතින් ලොකු පුතා මටත් අනන්මනන් කිව්වා.... මං කොල්ලට මුකුත් කියන්න ගියේ නෑ. මොකද දැන් ඉතින් එහෙම කියන්න පුළුවන් කාලයක් යැ. මොකක් හරි කොරගත්තොත් කියන බය මගේ හිතට ඔට්ටු වෙනවා දැන් දැන් නිතර ම පාහේ. පුළුවන් තරං හොඳින් කියල හදාගන්න බලනවා මිසක්කා”

රාත්තිරියේ රූපවාහිනී ප්‍රවෘත්ති බලද්දී මා දැක්කේ අපේ ලොකු එකා ද සටන් පාඨ කියමින් ගිරිය පුප්පන් අතොරක් නැතිව කෑගාන හැටි ය. කොටුවෙ රේල් ඉස්ටේසම ළඟින් පටන් ගත්තු විරෝධතා පා ගමන ඉස්සරහට ඇදෙන්නේ කොටුව දිහාවට බව සජීවී විස්තර විචාරයක් ඉදිරිපත් කරන රූපවාහිනී ශිල්පියාගේ හඬ අහවරයක් නැතිව කියන්නේ රටවැසියන් සියලු දෙනා ඒ පැත්තට ගෙන්නා ගන්නට කරන ඇරයුමක් නොකියා කියමින් සේ ය.. පොලිසියේ කැරලි මර්දන නිලධාරීන් ගල් තොප්පිවලින් සැරහී බැටන් පොලු පස්සට කරන් හිටින හැටියට මට හැඟුණේ ඔන්න මේ දැන් දැන් පොලිස් බැටන් පොලු කොල්ලන්ගේ කෙල්ලනගේ ඔළුගෙඩි මතට පාත්වේ ය කියා යි. එයින් මහද සසල වෙයි. සසල වෙයි.... හිතට දැනෙන්නේ මහත් බියකි. ඒ බය අපේ මායියටත් ඇති වෙච්ච නිසා ම ඈ පසුවන්නේ මහත් විස්සෝප හිතකිනි. ඇගේ මුවින් කිසිවක් කියැවුණ ද රූපවාහිනියෙන් පෙනෙන අපේ එකාලගෙන් නැඟෙන ඝෝෂාවෙන් මායියා කියුවේ මොකක්දැ යි මට වැටහුණේ නැත. තේරුණේ නැත. මගේ ඇස් දෙක රූපවාහිනී තිරය විසින් අල්ලා ගෙන ඇත්තේ හිත පුරා නැඟෙන ලොකු බයක් විසින් මගේ හාදයේ ස්පන්දනය මොහොතින් මොහොත වඩාත් වැඩි කරවමිනි.

අපේ එකා ළඟින් ම තව සිය ගණනක්, දාස් ගණනක් නඟන හඬ කොළඹ රටේ  විතරක් නෙවේ මේ දැන් අපේ ගංගොඩේ ආකාහේ පවා දෝංකාරයෙන් පිරී ඇති සෙයකි.  මට හිතෙන්නේ ම එහෙම ය.

“ඇයි මනුස්සයෝ තමුසෙට මතක නැද්ද තමුසෙලා ස්ට්‍රයික් කරල මාසෙයක් යන්නත් කලින් තමුසෙත් ජනාධිපති මාළිගාව ඉස්සරහ පාරේ විරෝදෙ යෙදිලා පොලිසියෙන් සබ්බුව කාලා අතපය මූණකට තුවාල කරන් ගෙදර ආපු හැටි..... ” අපේ මායියා එහෙම කියල මෙහෙත් කීවා ය.

“අප්ප කළ දේ,  පුතා නොකළොත් ඌ නොට්ටියෙ පුතා කියනවා නෙවැ.....”

එතකොට ඔය අපේ එකත් එක්ක හරි හරියට ආණ්ඩුවට බැණ බැණ පෙළපාලියෙන් උපවාසෙට යන ඔක්කොගෙම මං වගේ අප්පොච්චිලාගේ පුත්තුයි, දූලයි තමා එහෙනං. කොච්චර දෙයක් දැ? අපට හරි අවංක එඩිතර, ඍජු නායකත්වයක් තිබුණ නං එදා.....  දැන් බලනවා අද කාලේ. ඉස්පිරිතාලවල දොස්තර ලා නැත්තං නර්ස් ලා, අතුරු වෛi සේවේ නැත්තං කම්කරුවන්  කවුරුන් හරි කට්ටියක් ස්ට්‍රයික්... ස්ට්‍රියික්.... එදා අපේ වර්ජනයට සෞඛ්‍ය සේවේ ඒකට කැඳවූයේ නෑ. මොකද එහෙම කළා නං ඉතින් ඉස්පිරිතාලවලට එන අහිංසක දුප්පත් ලෙඩ්ඩු කී සීයක් මැරිල ද? අපි එහෙනං එදා අපේ හටන දිනුම්... ඒත් අද කොහොමදැ... හැමෝටම කලින් වර්ජන පටන් ගන්නෙ දොස්තරලා නර්ස්ලා... අහිංසක දුප්පත් මිනිස්සු ඒ ගොල්ලන්ගෙ ප්‍රාණ ඇපේට අරන්... වර්ජන කරන සෞඛ්‍යසේවෙ... සෞඛ්‍යසේවේ.... සෞඛ්‍ය වෘත්තිය සමිති වර්ජනේට හවුල් කර ගත්තා නං රස්සාව නැතිවෙලා තමන්ගෙ දරුපවුල් ආරක්ෂා කර ගන්න බැරිව සියදිවි නහගත්තු වර්ජකයන් එක්කෙනකුවත් එහෙම මැරෙන්නෙ නෑ. එහෙම යි මං විශ්වාස කරන්නේ” මං එහෙම කියල විදුලි කම්බි කනුව දිහා බැලුවෙ ඉබේට ම.

ම හිත මහත් වූ වේදනාවකින් පිරෙන්න මහ වෙලාවක් ගත නොවිණි. ඒ ලොකු එකා එක්ක හරි හරියට ආණ්ඩු විරෝධීව උද්ගෝෂණයේ නියැළෙන, දාස් ගණනක් කොල්ලන් කෙල්ලන් කෙරෙහි ද, නො එසේ නම් ආණ්ඩුව කෙරෙහි ද, එහෙමත් නැතිනං මා කෙරෙහි ද යන්න හිතාගන්නට බැරිව රූපවාහිනියේ රැඳවූ දෑස, ඉවත් කර නොගෙන ම හුන් මට, පුටුවේ ම නින්ද ගියාදෝ කියන්නට පවා මං නොදනී.

                       - සුගතපාල මැන්දිස් -

  1. 04. 11.