හෙළදිව කෙටිකතාව
ෂර්මිලා බංදුනී දංවත්ත ගුරුවරියකි. කිවිඳියකි. කෙටිකතා කාරියකි. ඈ වඩාත් ප්‍රියකරන්නේ හයිකු කවියටය කිවහොත් නිවැරදි ය. ගත්කතුවරියක වන ෂර්මිලා සම්මානලාභී කිවිවරියක බව ද සඳහන් කරනු කැමැත්තෙමු. හෙළදිව ඊ පුවත් සංග්‍රහයේ කව් මිණි වැල් පිටුව අගේ නිර්මාණවලින් සරහන්නට උත්සුක වන ඈ තුළ පවතින හැඟීම් කෙබඳුදැ යි නිශ්චය කරන්නට අපි ෂර්මිලා ගේ 'කොස්ගස' කියවන්නට ඇරයුම් කරමු.
" අදත් මිදුල වවුල් පොල වගේ. වැල කුණු කාල බිමදාලා.හැම තැනම කෝඳුරුවෝ. අතුගාලා ඉවරයක් නැහැ"
"උදේට මහ කූඩයක් පුරවලා කොල අදින්න ඕන. ඒ මදිවට කොස් ඇටයි වැල කටුයි අප්පිරියාවේ බෑ. මොන කරදරයක්ද මන්දා. කිව්වට මේ පැත්තට තියෙන අතු ටිකවත් කප්පන්නේ නැහැනේ. වැටිලා යන ගෙඩියක් වත් කඩාගන්න කියනවා නම් තව මොකද "
ශ්‍රියානි අදත් උදේම පරල වෙලා. හැමදාම උදේට ඔහොමයි. ඉදල අරගෙන එළියට බහින්නෙම කොස් ගහ දිහා බලාගෙන. අතුගාන්න තව ඕනෑ තරම් තැන් තිබුණත් මුලින්ම යන්නේ කොස් ගහ යට ට.
කොස් ගහ ශ්‍රියානලා ගේ නෙවෙයි. යමුනලා ගේ. ශ්‍රියානියි, යමුනයි විවාහ වෙලා ඉන්න නිමලුයි, කමලුයි සහෝදරයෝ. ගහේ මුල තියෙන්නේ යමුනලා ගේ වත්තේ වුණාට අතු බරවෙලා තියෙන්නේ ශ්‍රියානිලා ගේ වත්තට. වතු දෙක වෙන්කරලා තියෙන කටු කම්බි තුන් පොට ගැන කොස් ගහට වගේ වගක් නැහැ. එබෙන්නෙම අල්ලපු වත්තට.
" මහ මිනිස්සු උනත් දැනගන්න ඕන වැටමායිම් වල ගස් හිටෙව්වහම පස්සට කරදර සිද්ධ වෙන විත්තිය "
ශ්‍රියානි තනියම කියවනවා.
මේ වතු දෙකම ඉස්සර තනි ඉඩමක් කියලා ශ්‍රියානි දන්නේ නැහැ. පුතාලා දෙන්නා විවාහ වෙන්න කපුවෝ එන යන කාලේ තමයි නිමල්ගේ අප්පච්චි ඉඩම හරියට දෙකට බෙදලා මැදින් කටු කම්බිය ගැහුවේ. කොස් ගහ අයිති වුණේ ලොකු පුතා වුණු නිමල්ට. ඒ කියන්නේ යමුනා ගේ සැමියට. මහ ගේ එක්කම ඉඩම් කොටස අයිති වුණේ පොඩි පුතා කමල්ට. ඒ කියන්නේ ශ්‍රියානි ගේ සැමියට.
යමුනා කැන්දන් එන්න කලින් තට්ටු දෙකට අත්තිවාරම දමලා තිබුණත් ගෙයි වැඩ ඉවර කරගන්න තවම බැරි වුණා. උඩ තට්ටුව ස්ලැබ් එකට විතරක් සීමා වෙලා. දැන් ස්ලැබ් එක ප්‍රයෝජනයට ගන්නේ රෙදි වේලන්න විතරයි. පරණ පන්නයේ විශාල නිවසක් වුණු මහ ගෙය ශ්‍රියානිලා ට අයිති වීම පිළිබඳව යමුනා ඉන්නේ හිත නොහොඳින්. එළිපිට නොපෙන්නුවට දෙගොල්ලෝ අතරේ වැඩි ඇයි හොඳයියක් කොහොමටත් නැහැ.
අල්ලපු වැටේ හිටියත් සිංහල අවුරුද්ද ට චාරිත්‍රයට එහා මෙහා ගියාට, වෙන යාම් ඊම් නැහැ. ගෙවල් දෙකේ දරුවන් නම් ඒ දවස්වල එකට කෙළි සෙල්ලම් කළා. ඒ කාලේ කම්බි පොටවල් අතරින් එහා මෙහා යන්න කඩුල්ලක් තිබුණා. දරවෝ සෙල්ලම් ගෙවල් හැදුවේ කොස් ගහ යට. අතු විහිදිලා සෙවණ සදමින් තිබුණට ඒ කාලේ මේ තරම් උස නැහැ. ශ්‍රියානිලා ගේ නිවසට අතු බරවෙලත් නැහැ. දරුවන් ලොකු මහත් වෙළා ඉගනීමේ කටයුතු වලට වැඩි අවධානයක් යොමු වුණාට පස්සේ කොස් ගහ යට සෙල්ලම් ගෙවලුත් ඉබේම වැහිලා ගියා.
නිමල්, කමල් දෙදෙනා ම නිව්ණු මිනිස්සූ. වැඩි කතා බහක් නොතිබුණත් දෙදෙනා අතර කිසිදාක ගැටුමක් ඇති වුණේ නැහැ. සෙවණැල්ලේ ඇදයටත් එහාට මෙහාට වචන වීසි කර ගන්නේ ගැහැණු දෙන්නා තමයි. ඒත් ඒ එකම ගැටුමක් වත් කෙස්වලු පටලවා ගන්නා තරම් දුර දිග ගියෙත් නැහැ.
ගෙවල් දෙක අතර කඩුල්ල වහලා කම්බි ගහමු කියන යෝජනාව ආවේ යමුනාගෙන්. ඒ කොස් ගහ කප්පවන්න කියලා ශ්‍රියානි ගේ කීමට කමල් ගිහින් ග්‍රාම නිලධාරී නෝනා ළඟ පැමිණිල්ලක් දමපු දවසෙයි. මුලින් මුලින් අදි මදි කර කර හිටපු නිමල් දවසක් නිවාඩු දාලා කඩුල්ල වැහුවේ, කමල් ගේ පැමිණිල්ලකට අනුව කොස් ගහෙන් වන හිරිහැර බලන්න පොලිසියෙන් පැමිණි දවසට පසු දිනයි.
නිමල්ලා ගේ අම්මා ජීවත්ව හිටි දවස්වල නම් කොස් වාරෙට ගස් නගින පියදාස ලවා කොස් කඩවලා ගෙවල් දෙකටම සම සමව දීලා ඉතිරි ටික අහල පහල ගෙවල් වලට බෙදනවා. අම්ම ගේ අවුරුදු දෙකේ දානය වෙනකම්ම යමුනත් තමන්ට කොස් ගෙඩියක් කඩවගත්ත දවසට ගෙඩියෙන් බාගයක් ශ්‍රියානිටත් යැව්වා. ඒත් අම්ම ගේ අවුරුදු දෙකේ දානේ දවසේ සිද්ධ වුණු හිත් අමාරුවකින් පස්සේ යමුනත් ශ්‍රියානිත් දෙන්නා මූණට මූණ නොබලන තත්වයට පත් වූවායින් පස්සේ කොස් හුවමාරුවත් නැවතුණා.
කොස් ගහ වැල ගහක්. ශ්‍රියානි කන්නේ වරකා විතරයි. යමුනා නම් වැලයි වරකයි දෙකම කනවා. ඉස්සර වැල ගෙඩියක් ඉදෙව්වහම මල්ලිට කියලා නිමල් අතේ පලුවක් යවන්නෙත් යමූනාමයි. ශ්‍රියානි තරහා වුණේ යමුනා එක්ක. ඒත් වෛර බැඳගත්තේ කොස් ගහත් එක්ක. මේ පාර නම් කොස් ගහ කප්පවලාමයි පස්ස බලන්නේ කියලා ශ්‍රියානි කියපු කතාව යමුනා එක්ක ඉස්සරහ ගෙදර සුමනා කිව්වේ තවත් විස්තර අතිනුත් එකතු කරලා.
" බලමුකෝ කප්පවන හැටි "
කියාගෙන ගෙට ආවා මිසක් වැඩිපුර මොකුත් කියන්න නොගියේ ඒ කේලමත් ශ්‍රියානි ගේ කනේ තියන්නෙත් මේ විදියටමයි නේද කියලා හිතුණු නිසයි. හෙට අනිද්දිටම හන්දියේ කොස් විකුණන ජෝඩුව ගෙන්වා පැහුණු කොස් ගෙඩි ටික කඩාගෙන යාමට කිව යුතු බවද ඈ එවෙලේම හිතට ගත්තා.
ශ්‍රියානි ගේ අතුගෑම වගේම යමුනා ගේ රෙදි සේදීමේ ද ඉවරයක් නැහැ. වැඩුණු පුතුන් දෙදෙනාගෙත් සැමියාගේත් කලිසම් කමිස සේදීමත් පහසු කටයුත්තක් නෙවෙයි. යමුනාටත් එකම ඇඳුම නොසෝදා දවසකට වැඩිය අඳින්න බැහැ. වැස්සත් පෑව්වත් රෙදි සේදීම ඇගේ සිරිතයි.
සෝදනවාටත් වඩා අමාරු රෙදි වේලාගැනීමයි. කොස් ගහ නිසා අඳුරු ස්වභාවයක් ගන්නා වත්තේ රෙදි වේලීමට තැනක් නැහැ. ඒ නිසාම ස්තීරවම රෙදි වනන්න තැනක් නිමල් සකස්කරලා දීලා තිබුණා. ඒ ස්ලැබ් එක උඩ.
කිසිම කම්මැලි කමක් නැතිව දිනපතා රෙදි සෝදන යමුනා උදේම ඒ රෙදි වැල් වල වනනවා. වැස්සොත් අකුලන්නත් නැවත අව්ව ආ විට වනන්නත් ඇය පඩි පෙළ දිගේ ඉහළ පහල දුවන්නේ කඩියෙක් වගේ. එදත් උදේ ඇය රෙදි වැනුවේ ශ්‍රියානි ගේ ආඩපාලි අසමින්මයි. නමුත් එදින ඒවාට හරස් පද කියන්න යමුනාට හිත් දුන්නේ නැහැ.
උයා පිහා අවසන් වන විට අහසද අව්ව අකුලාගෙන තිබුණා. බටහිර අහස කළු කරගෙන ආවේ මහා වැස්සක පෙර නිමිති පල කරමිනුයි. යමුනා පය ඉක්මන් කර උඩට නැග්ගේ රෙදි අකුලාගෙන එන්න හිතාගෙන. ඒ වන විටත් වැහි බිංදු එක දෙක වැටෙන්න පටන් අරගෙන. අවසානයට නිමල්ගේ දිග කලිසමක් වැලෙන් ඇදගෙන උර මතින් දමාගත් යමුනා යන්ට හැරෙනවාත් සමගම ඇය පය තබා තිබුණේ ස්ලැබ් එකෙන් පිටතට.
" ඔන්න තව එකක් වැටුණා "
කියමින් ශ්‍රියානි මිදුලට බැස්සේ
"ඩොග්"
යන හඬින් බරට වැටුණු වැල කුණ මහ වැස්සට පෙර කුණු වලට ඇද දමන්නයි. නැතිනම් වැස්සට චොහොරු වන වැල කුණ අයින් කරන්න ලේසි නැහැ. ඒත් කොස් ගහ යට වැල ගෙඩියක් වැටී තිබුණේ නැහැ. වැට අයිනටම ගිය ශ්‍රියානිට යමුනා ගේ නිවස දෙස බැලුනේ නම් ඉබේටම.
ගේ අයිනේ බිම වැටී තිබූ රෙදි ගොඩ ශ්‍රියානි ගේ නෙත ගැටුණේ අහම්බෙන්. තවත් හොඳින් බලන විටයි ඒ රෙදි ගොඩට යටවී මුනින් තලාවී වැටී වුන් යමුනාව දුටුවේ.
" යමුනක්කේ "
යන හඬ ශ්‍රියානි ගේ මුවින් පිටවුණේ ඇයටත් නොදැනීමයි. යමුනා වැටී සිටි දෙසට දුවන්නට තැත් කළත් එය වලකමින් නැගී සිටියේ නිවෙස් දෙක අතර ඇති කම්බි පොටවල් තුනයි.
සිහි එළවාගත් ශ්‍රියානි පාර දිගේ දුවගොස් ගේට්ටුව ඇරගෙන යමුනා ගේ වත්තට ඇතුළු වුණේ අහල පහලට ද ඇසෙන සේ විලාප දීගෙන. සිහි සුන්ව සිටි යමුනා ගේ හිසින් ගලා යන ලේ දහරාවන් දුටු ශ්‍රියානි ට දැනුණේ කලන්ත වී වැටෙන්නට යන බවක්. නමුත් තමන් ගේ වගකීම අවබෝධ කරගත් ශ්‍රියානි ගිලන් රථය ඇමතුවේ ගැහෙන හිතින්.
යමුනාව ගිලන් රථයේ නංවාගෙන එයටම ගොඩවූ ශ්‍රියානි රෝහල කරා පැමිණෙන විට වර්ෂාව ධාරානිපාත වර්ෂාවක් බවට පත්වී තිබුණා.
ශල්‍යාගාරයටත් එතනින් දැඩි සත්කාර ඒකකයටත් මාරුකළ යමුනා සිටියේ දෙලොවක් අතර. සිරුර පුරා වයර් බට සවිකර මලාක් මෙන් වැතිර සිටින යමුනාව ශ්‍රියානිට දකින්නට හැකි වුණේ දැඩි සත්කාර ඒකකයේ දොරේ සවිකර ඇති වීදුරු හිඩැසින්.
"අනේ අක්කේ ඉක්මනට නැගිටපන් "
ඉකියක් අතරින් ශ්‍රියානි ට කියවුනේ ඉබේටම.
තවත් බලාසිටීමේ තේරුමක් නැතැයි මිසීලා පැවසූවෙන් ශ්‍රියානි කමල් සමග නිවසට පැමිණෙන විට මැදියමද පසුවී තිබුණා. ඒ වන විටත් යමුනා ගේ නිවස අඳුරේ ගිලී පැවතුණේ යමුනා පිළිබඳ තොරතුරක් බලාපොරොත්තුවෙන් නිමලුත් පුතුන් දෙදෙනාත් ඒ වන විටත් රෝහල් මිදුලේම ගැවසෙමින් සිටි නිසයි.
පසුවදා උදෑසනම නැගිට පුරුද්දට මෙන් ඉදල අතට අරගෙන මිදුලට බැස කොස් ගස දෙස බැලූ ශ්‍රියානිට දක්නට ලබුණේ වැල කුණු දෙකක්ම ගස මුල වැටී ඇති බවයි. ඒත් ශ්‍රියානිට වෙනදා දැනුණු කේන්තිය නම් එදා දැනුණේ නැහැ.
" යමුනක්කට කොහොමද දන්නේ නැහැ"
සිතමින්ම ඇය මිදුලේ අනෙක් පසට ගියේ කොස් ගස නොපෙනෙන්නටයි.
------------------------------