ඉතිහාසයඋණුසුම් පුවත්කාලීනදේශපාලනසංස්කෘතික

කොහෙද මේ අප යන්නේ. අද ආගමික නායකයින්ට මැති ඇමතිලා බැණ වදිනවා

78 වැනි නිදහස් දින දේව මෙහෙයක දී අගරදගුරු හිමිපාණෝ පවසති

නිදහස ලැබ වසර 78 ක් ගතවී ඇතත්  එදා අප දුටු සැබෑ නිදහස පිළිබඳ සිහිනය සම්පූර්ණ කර ගැනීමට  ශ්‍රී ලංකාවේ, අප අසමත්ව සිටින්නේ යැ යි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ ප්‍රකාශ කළහ.

ඒ නිදහස් දින සැමරුම් දේවමෙහෙයකට එක්වෙමිනි.

මෑත කාලීනව රටේ පාලකයින් සහ මැති ඇමතිවරුන් ආගමික නායකත්වය සම්බන්ධයෙන් දක්වන ආකල්පය උන්වහන්සේ ගේ දැඩි විවේචනයට විය.

"ඇතැම් රජයේ ඇමතිවරුන් පවා ආගමික නායකත්වය පරිභවයට ලක් කරමින් කරන ප්‍රකාශ අප විසින් හෙළා දැකිය යුතුයි" යනුවෙන්  උන්වහන්සේ පැවසූහ,

රටේ පොදු ප්‍රශ්න හමුවේ ආගමික නායකයින්ට යමක් කීමට හෝ කිරීමට අයිතියක් නැති පිරිසක් ලෙස සැලකීමේ තියුණු ප්‍රවණතාවයක් පවතින බවද එතුමාණන් වහන්සේ සඳහන් කළහ.

නිදහස ලැබූ අවධියේ විදේශීය නායකත්වය ඉවත් කර මෙරට පාලනය දේශීය නායකත්වයට පැවරුණද, විදේශීය නීති රීති, සම්ප්‍රදායන් සහ ආර්ථික ගමන් මග එලෙසම ක්‍රියාත්මක වූ බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

"එදා අපි සෑම දේකින්ම පාහේ ස්වයංපෝෂිතව සිටියත්, අද අපි ඇල්පෙනෙත්තක සිට නැවක් දක්වා සියල්ල පිටරටින් ගෙන්වීමේ පිළිවෙතකට පත්ව තිබෙනවා" පැවසූ මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු හිමිපාණෝ, නිදහස් වෙළඳ ආර්ථිකය හා ගෝලීයකරණය සැහැසී අයුරින් ඇතුළු කිරීම නිසා දේශීය නිෂ්පාදන ආර්ථිකය සහමුලින්ම බිඳවැටී ඇති බව සඳහන් කළහ.

ලංකාවේ සභ්‍යත්වය සහ විනය ගොඩනැගී ඇත්තේ මිහිඳු මහරහතන් වහන්සේ විසින් හඳුන්වා දුන් බුදුදහම සහ අනෙකුත් ආගමික වටිනාකම් මත බව ජනතාවට මතක් කළ අගරද ගුරු හිමිපාණන්, එම ආගමික උරුමයන්ට ගරු කිරීම පාලකයන්ගේ වගකීමක් බව ද පැවසූහ.

යුරෝපීය රටවල් ආගම ධර්මය පහත් කරමින්, ආගමක් නැති ශිෂ්ඨාචාරයක් ගොඩනැගීමට උත්සාහ කිරීම නිසා අද එම සමාජයන් දැඩි ලෙස පිරිහී ඇතැයි ද, එවැනි විනාශකාරී මාවතක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කිරීමට උත්සාහ කිරීම අනුවණකමක් යැයි ද උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්හ.

අපේ සංස්කෘතියට හා සභ්‍යත්වයට නොගැලපෙන චින්තනයක් වෙනුවට, ආගමික වටිනාකම් රටේ ප්‍රගතියේ මිනුම්දණ්ඩ කර ගන්නේ නම් මීට වඩා හොඳ රටක් නිර්මාණය කළ හැකි බව කාදිනල් හිමිපාණෝ අවධාරණය කළහ.