ඉතිහාසයඋණුසුම් පුවත්කාලීනපරිසරය

ගංවතුර ගලද්දී චක්‍රලේඛවලට බයවෙන්න එපා!!

සුනිල් කන්නන්ගර -දිසා තුනක ම හිටපු මහ දිසාපති

සුළි සුළං, ගංවතුර යනුවෙන් කී විට අපේ මතකයට එන්නේ අම්පාර හා රත්නපුරය. ඒ, හැමදාමත් මේ කාලෙට බෙංගාල බොක්ක කැලඹී කුණාටු රට ඇතුළට එන්නේ නැගෙනහිරෙන් නිසාය. එසේ එන කුණාටු නිසා මහ වැසි ඇදහැලී වැඩිම හානිය වන දිස්ත්‍රික්ක අතරේ මුලින් සිටින්නේ රත්නපුරය. ඉතිහාසයේ මුල් වරට මුළු රටම එකම මොහොතේ ආපදාවකට ලක්ව ඇති අවස්ථාවක අපට මතක් වූයේ එවැනි සිද්ධීන් හොඳ හැටි කළමනාකරණය කළ රත්නපුර හා අම්පාර මෙන්ම කොළඹ දිස්ත්‍රික් ලේකම් ලෙස රාජකාරි කර ඇති සුනිල් කන්නන්ගරය. මේ ඔහු සමග කළ සාකච්ඡාවක් ඇසුරින් ලියූ ලිපියකි.

ආපදා අවස්ථාවකදී සෘජු මැදිහත්වීම් කරන්නේ රාජ්‍ය නිලධාරීන්ය. පළමුවෙන්ම කරන්නේ ආපදාවට පත්වූවන් මුදා ගැනීම් ක්‍රියාවලියයි. ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේ සහාය ලැබෙන අතර ඔවුන් යොමු කරන්නේ ප්‍රාදේශීය ලේකම්වරයාත්, දිස්ත්‍රික් ලේකම්වරයාත් මගිනි. ආපදාවක් වූ අවස්ථාවකදී ක්ෂණිව මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක වේ. හමුදාව කැඳවීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් අදාළ ස්ථාන දැනුම් දුන් විට වහාම ඔවුන් පැමිණේ. ආපදාවකදී පළමු ප්‍රමුඛතාව දෙන්නේ විපතට පත්වූවන් බේරා ගැනීමට නිසාය.
තුවාලවූවන් සිටීනම් ඔවුන් රෝහල් ගත කරන අතර අනෙක් අවතැන්වූවන් වෙනුවෙන් නවාතැන් පහසුකම් දීම මීළඟ කාර්යභාරය වේ. ඔවුන් රැඳවීම සඳහා රැඳවුම් මධ්‍යස්ථාන ඇති කරයි. තාවකාලිකව පන්සලක් හෝ පාසලක් මේ සඳහා තෝරා ගනී. එය කරන්නේ ග්‍රාම නිලධාරීන් හා ප්‍රජා නායකයන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරු එක්වය. දින දෙක තුනක් ඇතිවන ගංවතුරක් ගලා නොබසින විටදී රාත්‍රි කාලයේදී උෂ්ණත්වය පහළ බසී. ඒ නිසා වයසක පුද්ගලයන් හා දරුවන් විවෘත ශාලාවල නවාතැන් නොදී වසා ඇති පන්ති කාමරවල නවාතැන් පහසුකම් දිය යුතුය. දරුවන්ට කිරිපිටි සහ ආහාර දීම් කළ යුතුය.
මෙහිදී මුලින්ම කරන්නේ පිසූ ආහාර දීමය. රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව දින තුනක් පිසූ ආහාර දිය හැකිය. ඒ සඳහා වෙන් කරන මුදල් ප්‍රමාණය ඇතුළත එම ආහාර දිය යුතුය. ඉන් පසුව වියළි ආහාර දීම සඳහා පහසුකම් සැපයිය යුතුය. පොලිසිය යොදවා ආපදාවට ලක්වූ අයගේ නිවාස හොරුන්ගෙන් ආරක්ෂා කිරීමට ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය. වෛද්‍යවරු පැමිණ රැඳවුම් මධ්‍යස්ථානවල සෞඛ්‍යය පවත්වාගෙන යාමට මැදිහත් වේ.
ආපදා අවස්ථාවලදී ස්ථානයීය තීරණ ගැනීමට සිදුවේ. ඇතැම් විට ග්‍රාම නිලධාරීවරයාටත් අදාළ තීරණ ගැනීමට සිදුවේ. ප්‍රාදේශීය ලේකම්වරයාට, දිස්ත්‍රික් ලේකම්වරයාට ප්‍රධාන වශයෙන් තීරණ ගැනීමට සිදුවේ. ප්‍රායෝගික තත්ත්වයන් අනුව තීරණ ගත යුතු වේ. ඇතැම් විට චක්‍රලේඛවලට අනුව තීරණ ගත නොහැකිවේ. ඒ සඳහා ඉහළින් ආවරණය ලැබෙන බවට සහතික විය යුතු වේ. ආපදා අවස්ථාවකදී කටයුතු කරන විටදී අවශ්‍ය තීරණ ගන්නා ලෙසත්, ඒ සඳහා අවශ්‍ය අනුමැතියන් දෙන බවත් මා දිස්ත්‍රික් ලේකම් ලෙස රාජකාරි කළ කාලයේ සෑම විටම ප්‍රකාශ කළ දෙයකි. ආපදාවලට ලක්වන අයට අවශ්‍ය ආහාර දීම සඳහා ගත යුතු ඕනෑම දෙයක් කිරීමට අවශ්‍ය නිදහස මම දුන්නෙමි. බිම් මට්ටමෙන් අවශ්‍ය ප්‍රායෝගික තීරණ ගන්නා විට ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය ඇතුළු කොළඹ සිටින පිරිස් ප්‍රතිපත්තිමය තීරණ ගත යුතුය. පැරණි මිල ගණන්වලට ආහාර දිය නොහැකි නම් වහාම එම සීමාවන් ඉහළ දැමිය යුතුය. මෙවැනි අවස්ථාවලදී කටයුතු කිරීමට ඇතැම් චක්‍රලේඛ බාධා වන්නේ නම් එම බාධාවන් ඉවත් කිරීමට කැබිනට් තීරණ ගත යුතුය. ඒ සහතිකය දිය යුතුය.
2011 අම්පාරේ දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස මා කටයුතු කරන කාලයේදී එම ප්‍රදේශයට විශාල ගංවතුරක් ගැලුවේය. කොළඹ සිට අම්පාර දක්වා ගමන් කරමින් සිටියදී උඩවලවේ ජලාශයේ බැම්ම අසලට ළඟා වන විට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගගෙන් මට දුරකථන ඇමතුමක් ලැබුණේය. විශාල ගංවතුරක් එන නිසා කළ යුතු දේ ගැන ඇසුවේය. අවශ්‍ය සියලුම දේ කරන ලෙසට ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදාවට නියෝග කර ඇති බව ඔහු දැනුම් දුන්නේය. ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්ධීකරණය කළ මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු ඉන් පසුව කතා කරමින් අවශ්‍ය සම්බන්ධීකරණය කළේය. ප්‍රාදේශීය ලේකම්වරුන් බිම් මට්ටමේ තීරණ ගත්තේය. බිම් මට්ටමේ මෙහෙයුම් තීරණ ගැනීම, ප්‍රතිපත්තිමය තීරණ ගැනීම,දේශපාලන තීරණ ගැනීම එක හා බැඳුණ ජාලයකි.
එක් ආපදාවකදී කටයුතු කළ ආකාරයට තවත් ආපදාවකදී කටයුතු කිරීමට නොහැකි වනු ඇත. කලින් ආපදාවකදී කටයුතු කිරීම සඳහා ප්‍රකාශයට පත් කළ චක්‍රලේඛය මීළඟ ආපදාව සඳහා නොගැළපෙනවා විය හැකිය. ආපදාවකදී කටයුතු කිරීම සඳහා චක්‍රලේඛයක් එන තුරු බලා සිටිය යුතු නැත. ඒ සඳහා වන සහතිකය ඉහළින් ලබාදිය යුතුවේ. අවශ්‍ය චක්‍රලේඛ අවශ්‍ය පරිදි සංශෝධනය කර දෙන බවත්, එතෙක් ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට අවස්ථාව දිය යුතුය.
මෙවර ගංවතුර සමග ඇතිවූ ආපදා තත්ත්වයේදී රාජ්‍ය නිලධාරීන් කටයුතු කරන ආකාරය දෙස බලන විට රාජ්‍ය සේවයේ පුනරුදය ආපදා කළමනාකාරණයට බල පානු ඇතිදැයි යනුවෙන් දැඩි බියක් මතුවෙමින් ඇත. පොලිස්පතිගේ හා ආණ්ඩුවේ හොරු අල්ලන යන්ත්‍රණය රාජ්‍ය සේවය බියෙන් සලිත කර ඇති ප්‍රමාණය මේ ආපදා කළමනාකරණයේ තීන්දු තීරණවලට දැඩි බලපෑම් එල්ල කරනු ඇතැයි බියක් පවතී. කෙසේ වෙතත් මේ අවස්ථාවේදී අත්දැකීම් නැති නිලධාරීන් චක්‍රලේඛයේ නැති දේවල් කර අමාරුවේ වැටෙන්නේ ඇයිදැයි බියට පත්විය හැකිය. එහෙත් ඒ කිසිවක් නොසිතා මහජනතාවට රාජ්‍ය උදව් අවශ්‍ය වේලාවේදී ඒ උදව්ව දිය යුතුය. මෙය සෙල්ලමක් නොවේ. මෙය ජීවිතයත්, මරණත් අතර අවස්ථාවකි. දැන් කළ යුතුව ඇත්තේ චක්‍රලේඛ ආරක්ෂා කිරීම නොව මිනිසුන් ආරක්ෂා කිරීමය. මිනිස්සු ආරක්ෂා කිරීමට අවශ්‍ය සුදුසු තීරණ ගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන චක්‍රලේඛ සංශෝධනය කරන ලෙස රජයට දැනුම් දිය හැකිය. පැරණි රාජ්‍ය නිලධාරින් කටයුතු කළ ආකාරය දැන් නිලධාරීන් සිහිපත් කරගත යුතුය.
ඊට හොඳම උදාහරණය වන්නේ සුනාමිය ආ අවස්ථාවේදී මාතර දිසාපති ගාමිණී ජයසේකර රාජකාරි කළ හැටිය. ඔහු පොළට ගිය අවස්ථාවේදී සුනාමියට හසු වුණේය. මුහුදු වතුරට හසුවී ඔහු හැඳ සිටි ෂර්ට් එකත් ගැලවී ගියේය. ගෙදර ගැන නොසිතා ඔහු මාතර බෝධිය ළඟ පුටුවක් තබාගෙන සහන සැලසීමේ ක්‍රියාවලිය ආරම්භ කළේය. ගෙදර ගැන බැලුවේ හවසය. ඔහු පණ බේරුණ වහාම ක්‍රියාමාර්ග ගත්තේය. හේරත් අබේධීරගේ පියා මියගියේ සුනාමි සහන ක්‍රියාවලිය අතරවාරයේදීය. මල් ශාලාවට කතාකර අවසන් කටයුතු සූදානම් කරන ලෙස දැනුම් දී සුනාමි සහන ක්‍රියාවලියේ නැවත යෙදුණේය. ඔහු පියාගේ අවසන් කටයුතු සඳහා සහභාගි වුණේ අවසන් පැයේදී කනත්තට ගොස්ය. රාජ්‍ය නිලධාරීන් රාජකාරි කළේ එවැනි කැපවීමකිනි. මේ ආකාරයට කටයුතු කළ ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන් ඕනෑ තරම් සිටී. චක්‍රලේවල ඇත්තේ මොනවාදැයි බලන්නේ නැතිව ඔවුහු කටයුතු කළහ. එහෙත් අද ඇතිවී තිබෙන තත්ත්වයට මුල බිය ය. එහෙත් මාගේ පුද්ගලික මතය වන්නේ බිය නොවී රාජ්‍ය නිලධාරීන් වැඩ කළ යුතු බවය. රාජ්‍ය නිලධාරීන් හරි දේ කළ යුතුය. මේ ඇතිවී තිබෙන මහා ආපදා තත්ත්වයෙන් ජනතාව බේරා ගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගත යුතුය.
නිලධාරීන් හරි දේ කරනවා නම් කිසි විටෙක බිය විය යුතු නැත. කොළොන්නාවට ගංවතුර ගැලුවේ මා කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කළ කාලයේදීය. ඒ අවස්ථාවේදී ගංවතුරට යටවූ අසූහයක් බේරා ගැනීමට සිදුවිය. නාවික හමුදාවේ සහාය ලැබුණත් අමතර බෝට්ටුවල සහාය ගැනීමට ඒ අවස්ථාවේදී සිදුවිය. මොරටුවේ ධීවරයන්ගෙන් මුලින්ම බෝට්ටු ගත්තේ රුපියල් හය දහසකටය. එහෙත් බෝට්ටු අවශ්‍යතාවය වැඩි වන විට බෝට්ටුවල මිල ගණන් ඉහළ ගියේය. අවසානයේදී ගත් බෝට්ටුවලට රුපියල් එකොළොස් දහසක් ගෙවීමට සිදුවිය. මම රුපියල් හය දහසත් එකොළොස් දහසත් අතර මුදලට බෝට්ටු ගත්තෙමි. එකම දවසේ මිල ගණන් දෙකකට බෝට්ටු ගැනීමට වඩා සිතුවේ ජනතාව බේරා ගැනීම කෙරෙහිය. ගංවතුරින් යටවූ ගෙවල් හමුදාවේ මැදිහත්වීම මත පිරිසිදු කළේය. ඒ සඳහා අවශ්‍ය බඩු මිලදී ගැනීමට රුපියල් ලක්ෂ හතක පමණ මුදලක් වැය කිරීමට සිදුවිය. ඒ අවස්ථාවේදී මිල ගණන් කැඳවා අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට වේලාවක් තිබුණේ නැත. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගණකාධිකාරීවරුන් කැඳවා බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි වෙළෙඳ සංකීර්ණයකින් අදාළ භාණ්ඩ මිලදී ගන්නා ලෙස මම උපදෙස් දුන්නෙමි. මිල ගණන් කැඳවීමකින් තොරව එම භාණ්ඩ මිලදී ගැනීම ගැන පසුව මම හේතු සහිතව විගණනන අංශයට කරුණු දැක්වූවෙමි. ඒ ආකාරයට වෙළෙඳ සංකීර්ණයකින් භාණ්ඩ මිලදී ගත්තේ එහි පරිගණක පද්ධතියේ අදාළ මිලදී ගැනීම් සටහන් වන නිසාය. සාමාන්‍ය ජනතාව මිලදී ගන්නා මිලට වඩා වැඩියෙන් මිලදී ගැනීමක් කළේ නම් ඒ බව පරිගණක පද්ධතිය හරහා තහවුරු කරගැනීමක් ලැබෙන බව මම නිරීක්ෂණය කළෙමි. කෙසේ වෙතත් අවසානයේදී වට්ටමක්ද සහිතව සාමාන්‍ය මිලට වඩා අඩු මිලට අදාළ භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව ලැබුණි.
ඇතිවී තිබෙන ආපදා තත්ත්වයත් සමගින් රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ. මෙවැනි අවස්ථාවකට මටත් අත්දැකීමක් තිබේ. සාලාව අවි ගබඩාව පුපුරන විට කොළඹ දිසාපතිවරයා ලෙස කටයුතු කළේ මමය. ඒ අවස්ථාවේදී ජනතාව බියෙන් පලා යන විට රත්නපුර ප්‍රාදේශීය ලේකම්වරයාට කතා කර ජනතාවට අවශ්‍ය පහසුකම් දෙන ලෙස දැනුම් දුන්නේය. එම කටයුතු යොදමින් සිටින අතරවාරයේදී අවිස්සාවේල්ල ප්‍රදේශයේ කාර්යාලවලට නිවාඩු දෙන බවට ප්‍රවෘත්තියක් පළ විය. මම වහාම දැනුම් දුන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, ග්‍රාම නිලධාරීන්ට නිවාඩු නොලැබෙන බවය. ඒ බව නිවේදනය කළේය. එසේ නොවු​ණේ නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අයත් නිවාඩු ගනු ඇත. ආපදා කළමනාකරණයට අදාළ නිලධාරීන් නිවාඩු ගතහොත් සියල්ල අඩපණ වනු ඇත.
රජයේ සේවකයන්ට නිවාඩු දෙන්නේ නම් ආපදා කළමනාකරණයට අදාළ නිලධාරීන්ට නිවාඩු අදාළ නොවන බව චක්‍රලේඛය නිකුත් කරන අවස්ථාවේදීම දැනුම් දිය යුතුය. ආපදාවලට ලක්වූ නිලධාරීන්ට පමණක් විශේෂ නිවාඩුවක් දීමේ හැකියාව තිබුණේය. එවැනි නිලධාරීන්ට දින තුනක විශේෂ නිවාඩුවක් දීමට හැකිව තිබුණි. එවිට රාජකාරියට වාර්තා නොකළ නිලධාරීන්ට, ගත් නිවාඩු ඔවුන්ගේ පුද්ගලික නිවාඩුවලින් අඩු නොවේ.
මේ උදාවී ඇත්තේ අපේ රාජ්‍ය සේවාව රටට අත්‍යාවශ්‍ය අවස්ථාවකි. ගමේ ග්‍රාම නිලධාරිවරයා හෝ වරියගේ සිට ප්‍රාදේශීය ලේකම් හා දිසාපතිවරයා දක්වා ඇති දිස්ත්‍රික් ප්‍රාදේශීය හා ග්‍රාම පරිපාලන යාන්ත්‍රණයට මේ අවස්ථාවේදී විපතට පත්වූවන්ට කඩිනම් සහන සැලසීමේ කාර්යය පැවරී ඇත. අම්පාරට පැමිණි හිටපු ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් රාජ්‍ය නිලධාරීන් ලෙස ඇගයීමට ලක්වූයේ අමාත්‍යංශවල දෙපාර්තමේන්තුවල පුටු අරාගෙන උපදෙස් නිකුත් කරන විමර්ශන කරවන නිලධාරින් ඇතුළත් රාජ්‍ය යන්ත්‍රය නොවේ. දිස්ත්‍රික්, ප්‍රාදේශීය හා ග්‍රාම මට්ටමේ ඇති අනාදිමත් කාලයක් තිස්සේ රාජ්‍ය පාලනය මෙහෙයවූ රාජ්‍ය තන්ත්‍රයයි. ඒ නිසා විමර්ශන පරීක්ෂණ විභාග, කට උත්තර ආදිය ගැන නොසිතා ඒ ගැන බිය නොවී ගාමිණී ජයසේකරලා, හේරත් අබේවීරලා උරුමකර දුන් මග යමින් සහන ක්‍රියාවලියට යොමුවන ලෙස ඉල්ලා සිටිමි.
   

 - සංජය නල්ලපෙරුම -