උණුසුම් පුවත්කාලීනදේශපාලනසතියේ සටහන

ගජ මිතුරන්ට සැලකීමට… අනුරත් දත කයි?

ජගත් ගේ සතියේ සටහන  -  70

පසුගිය මැයි 6 වැනිදා පැවති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිපල අනුව පළාත් පාලන ආයතන339 ක් සඳහා නගරාධිපති, උපනගරාධිපති, සභාපති හා උපසභාපතිවරුන් ජුනි 2 වනදා පත්කර ගතයුතුව තිබෙනවා. එසේ පත්කර ගතයුතු වන්නේ පළාත් පාලන ආයතනයේ පළමු රැස්වීමට පැමිණ සිටින මන්ත්‍රීවරුන් ගේ බහුතර ඡන්දයෙන්. එම රැස්වීම පවත්වනු ලබන්නේ පළාත් පාලන කොමසාරිස්වරයා විසිනුයි.

 

එහෙත් මැතිවරණ කොමසාරිස්වරයා පවසන්නේ පළාත් පාලන ආයතන පිහිටුවීමට තීරණය කොට ඇති ජුනි 2 වැනිදාට සියලු ම පළාත් පාලන ආයතන පිහිටුවීමට නොහැකි වනු ඇති බවයි. එයට හේතුව දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් රාශියක් විසින් ඔවුන්ගේ මන්ත්‍රීවරුන් ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත මෙතෙක් දන්වා යවා නොතිබීම නිසයි.

පළාත් පාලන ආයතන පිහිටුවීමට නම් ඒවාට පත්වී සිටින මන්ත්‍රීවරුන් ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් මඟින් ප්‍රකාශයට පත්කළ යුතු වෙනවා.

එහෙත් මෙතෙක් එම මන්ත්‍රී ලැයිස්තු ගැසට් මඟින් ප්‍රකාශයට පත්කොට නැහැ. මේ නිසා ජුනි 2 වැනි දා රටේ සියලුම පළාත් පාලන ආයතන පිහිටු විය නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. ඔහු පවසන අන්දමට මෙම මන්ත්‍රීවරුන් ගේ සම්පූර්ණ නම් ලැයිස්තු ජුනි 2 වැනිදා පිහිටුවීමට ලැබී තිබෙන හෙයින් හැකි වෙන්නේ පළාත් පාලන ආයතන 161 ක් පමණයි.

මේ තත්වය යටතේ පක්ෂ ලේකම්වරුන් සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් විසින් මේ වන විට එවා ඇති මන්ත්‍රී ලැයිස්තු ගැසට් පත්‍රයේ පළකිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යැවූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා ප්‍රකාශ කළා.

ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතන 267 ක් ජයගෙන ඇතත් එයින් ආයතන 172 ක බහුතර මන්ත්‍රීන් පිරිසක් සිටින්නේ විපක්ෂයට බැවින් ඒවායේ බලය පිහිටුවීම ඔවුන්ට ප්‍රශ්නයක් වී තිබෙනවා.

මේ නිසා සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ පක්ෂට බහුතරයක් ඇති පළාත් පාලන ආයතනවල බලය අල්ලා ගැනීම ගැන දැන් සාකච්ඡා පවත්වමින් සිටිනවා.

ජාතික ජන බලවේගය ද ස්වාධීනකණ්ඩායම් හා සුළු පක්ෂ ගණනාවක් සමඟ සාකච්ඡා පවත්වමින් සිටිනවා.

ජාතින ජන බලවේගයත් සමගි ජන බලවේගයත් දැඩි උනන්දුවක් දක්වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ම පළාත් පාලන ආයතනය වන කොළඹ මහ සභාවේ බලය හිමිකර ගැනීමට යි. ජාතික ජන බලවේගයට කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී ධූර 48 ක් ලැබී තිබෙන අතර සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු විපක්ෂ කණ්ඩායම් වලට මිහි වී තිබෙන්නේ මන්ත්‍රී ධූර 60 ක් පමණයි.

මේ නිසා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා කොළඹ මහ නගර ෂභාවට පත්වී සිටින සුළු පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වල මන්ත්‍රීවරුන් 9 කු පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු කාර්යාලයට ගෙන්වා ගෙන සාකච්ඡා කොට තිබුණා.

ඔවුන් ජාතික ජන බලවේගයට සහාය දීමට එකඟ වූ බවයි ජාතික ජන බලවේගය පවසන්නේ.

ආණ්ඩුව විපක්ෂයේ කුඩා පක්ෂවල මන්ත්‍රීන් හමුවී විවිධ වරප්‍රසාද ලබා දෙන බව බව පවසා ඔවුන් බිලී බා ගැනීමට උත්සාහ දරණ බවට සමගි ජන බලවේගය චෝදනා කරනවා. එහෙත් ආණ්ඩුවේ ඇමතිවරයකු වන වසන්ත සමරසිංහ මහතා පවසන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරු ආණ්ඩුවේ ඇමතිවරුන් ගේ අමාත්‍යාංශවලට පැමිණ තම ප්‍රදේශවල දියුණුව ඇති කිරීම සඳහා ආණ්ඩුවට සහාය දෙන බව ප්‍රකාශ කොට ඇති බව යි.

පළාත් පාලන ආයතන පිහිටුවීම සඳහා පැවැත්වෙන ප්‍රථම රැස්වීමේ දී එම එම පළාත් පාලන ආයතනයේ නගරාධිපති, උප නගරාධිපති, සභාපති හෝ සභාපති, උප සභාපති හෝ පත්නර ගැනීම පැමිණ සිටින මන්ත්‍රීවරුන් ගේ ඡන්දයෙන් සිදු කෙරෙන නමුත් සමහර විට රහස් ඡන්දයක් ඉල්ලා සිටීමට ඉඩ තිබෙනවා. ඒ සඳහා රහස් ඡන්දයක් පවත්වනවා ද නැද්ද  තීරණය කිරීමට ද ඡන්දයක් පවත්වා වැඩි ඡන්දයඅනුව තීරණය දෙන්නේ.

මෙසේ පළාත් පාලන ආයතන පිහිටුවීමේ දී රහස් ඡන්ද ඉල්ලා නොසිටින ලෙස සමගි ජන බලවේගය ඔවුන්ගේ මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබෙනවා. එසේ රහස් ඡන්ද ඉල්ලා සිටියොත් ඔවුන්ට විරුද්ධව විනය පියවර ගන්නා බව සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබුණා.

මේ අතර සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය, පළාත් පාලන ඡන්දයෙන් එම පක්ෂවලට ලැබී ඇති අතිරේක ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් පත්කිරීම පිළිබඳව මහත් අර්බුදයකට මුහුණ පා සිටින බව වාර්තා වෙනවා.

මෙම අර්බුදය වඩාත් ම උග්‍රව පවතින්නේ සමගි ජන බලවේගය තුළ බව ද දැනගන්නට තිබෙනවා. අතිරේක ලැයිස්තුවෙන් මන්ත්‍රීන් නම් කිරීමේ දී තමන් නම් කරනඅපේක්ෂකයින් නම් නොකිරීම පිළිබඳව විරෝධය පළ කරමින් බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පසුගිය  සිකුරාදා සමගි ජන බලවේගයේ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

 

DI-P10-10-02-(R)-pdc.qxd

මේ ප්‍රශ්නය මත ම මාතලේ දිස්ත්‍රික් ප්‍රධාන ආසන සංවිධායක වසන්ත අළුවිහාරේ, දශුල්ල ආසන සංවිධායක චම්පික විජේරත්න හා රත්තොට ආසන සංවිධායක රංජිත් අළුවිහාරේ යන මහත්වරුන් ද එම තනතුරුවලින් ඉල්ලා අස්වී ඇති බව ද සමගි ජන බලවේගය ආරංචි මාර්ග පවසනවා.

එසේම සමගි ජන බලවේගයේ ගාල්ල ආසන සංවිධායක බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා ද එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇත්තේ ඔහු විසින් නම් කරන ලද අය අතිරේක ලැයිස්තු මන්ත්‍රීන් ලෙස පත් නොකිරීම නිසා බව ද වාර්ත වෙනවා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ පැවති එම පක්ෂයේ කළමනාකරණ කමිටු රැස්වීමේ දී පවසා තිබෙන්නේ පළාත් පාලන මැතිවරණයේ දී ඒ ඒ අපේක්ෂකයින් ලබාගත් ඡන්ද ප්‍රතිශතය අනුව අතිරේක ලැයිස්තුවේ මන්ත්‍රීන් පත් කරන බවයි.

කොළඹ මහනගර සභාවේ බලය ඇල්ලීමට සමගි ජන බලවේගය ඉතා උනන්දුවෙන් කටයුතු කරන නමුත් විපක්ෂයේ වැඩි සහය ලබාගෙන එහි බලය අල්ලා ගත්ත ද එයට නගරාධිපතිවරයකු පත් කිරීම එම පක්ෂයට ප්‍රශ්නයක් වී තිබෙනවා. ඒ කලින් ඔවුන් තෝරාගෙන සිටි නගරාධිපති අපේක්ෂක වෛද්‍ය රුවයිස් හනිෆා මොහොමඩ් මහතා ඔහු තරග කළ කොට්ඨාසය පරාජය වීම නිසයි.

මේ අතර තවත් ආරංචි මාර්ගයකින් දැන ගන්නට තිබෙන්නේ ජුනි 2 වැනි දින පැවැත්වෙන කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීමට සහභාගි නොවී නොපැමිණසිටීමට සමහර මන්ත්‍රීවරුන් තීරණය කොට ඇති බවයි. සියයට 50 කට වැඩි මන්ත්‍රීන් පිරිසක් පැමිණ සිටිය හොත් නගරාධිපති හා උප නගරාධිපති වැඩි ඡන්දයෙන් පත්කළ හැකි වෙනවා. නව පළාත් පාලන ඡන්ද විමසීමේ පනත අනුව පත්වන නගරාධිපති හෝ සභාපති වසර දෙකක් යන තුරු ඉවත් කළ නොහැකියි.

ඒ නිසා කෙසේ හෝ මෙහි බලය අත්පත් කර ගැනීමට ජාතික ජන බලවේගය මෙන් ම සමගි ජන බලවේගය ද දැඩි උත්සාහයක නිරත ව සිටිනවා.

ශ්‍රී ලංකාවේ සියලුම පළාත් පාලන ආයතන පිහිටුවා අවසන් කිරීමට බොහෝ විට මාස කිහිපයක් ගතවනු ඇතැ යි දේශපාලන විචාරකයින් පවසනවා.

රජයේ විගණකාධිපතිවරයා පත්කිරීම පිළිබඳව ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථාදායක සභාව අතර අර්බුදයක් හටගෙන තිබුණා. දැනට එක් මාසයක් වැඩ බලන වීගණකාධිපති වශයෙන් පත්කොට සිටි ධර්මපාල ගම්මන්පිල මහතා හය මාසයක් සඳහා එම තනතුරේ කටයුතු කිරීමට ව්‍යවස්ථාදායක සභාව තීරණය කිරීම හේතුවෙන් එම අර්බුදය තාවකාලිකව විසඳී තිබෙනවා.

හිටපු විගණකාධිපති චුලන්ත වික්‍රමරත්න මහතා පසුගිය අප්‍රේල් 9 වනදා විශ්‍රාම යෑමෙන් පසු නියෝජ්‍ය විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල මහතා මාසයක කාලයක් සඳහා ජනාධිපතිවරයා විසින් පත්කොට තිබුණා.

මේ අතර විගණකාධිපති ධූරයට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂකරයකු වන පී. ටී. චන්දන මහතා ගේ නම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ව්‍යවස්ථාදායක සභාවට යවා තිබෙනවා. ඔහු කිසි දිනෙක රාජ්‍ය සේවයේ කටයුතු කොට නොමැති අතර විගණක කටයුතු පිළිබඳව ඔහුට ඇත්තේ වසර 5 ක පළපුරුද්දක් බවත් වැඩ බලන විගණකාධිපතිවරයාට වසර 30 ක පළපුරුද්දක් තිබෙන බවත් විගණන සේවාවේ වෘත්තීය සමිති පවසනවා. ජනාධිපතිවරයා විසින් නම් කොට ඇති පී. ටී. චන්දන මහතා කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියකු වන අතර ඔහු ජනාධිපතිවරයාගේ හිතවතකු බව ද එම වෘත්තීය සමිති පවසනවා.

පසුගිය අඟහරුවාදා විගණකාධිපති තනතුර පිළිබඳව සාකච්චා කිරීමට ව්‍යවස්ථාදායක සභාව රැස් වූ අවස්ථාවේ එම සභාව විසින් ජනාධිපතිවරයා විසින් එවා තිබූ නම ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කොට තිබෙනවා. දෙවැනි වරටත් ව්‍යවස්ථාදායක සභාව පසුගිය බදාදා රැස්වී තිබෙන්නේ මාසයක් සඳහා වැඩ බලන විගණකාධිපති ලෙස පත්කොට සිටි ගම්මන්පිල මහතා ගේ කාලය පසුගිය සිකුරාදා අවසන් විමට නියමිතව තිබුණු නිසයි.

දෙවැනි වරටත් ජනාධිපතිවරයා චන්දක මහතා ගේ නම එවා තිබූ නමුත් ව්‍යවස්ථාදායක සභාව යළිත් එය ප්‍රතික්ෂේප කොට තිබෙනවා.

පසුව මෙහි විසඳුමක් නොමැති වීම නිසා ව්‍යවස්ථාදායක සභාව වැඩ බලන විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල මහතා මාස හයක කාලයකට එම තනතුරට පත් කිරීමට තීරණය කොට තිබෙනවා.
පසුගිය ආණ්ඩු කාලයේ දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පති ධූරයට දේශබන්දු තෙන්නකෝන් මහතා නම්කළ අවස්ථාවේ දී ද ව්‍යවස්ථාදායක සභාව මේ අයුරින් ම එම නම ප්‍රතික්ෂේප කළා.
රජවේ විගණකාධිපති, විභාග කොමසාරිස් ජෙනරාල්, මැතිවරණ කොමිෂමේ අධ්‍යක්ෂ ජෙනරාල්, වැනි තනතුරුවලට පත්කළ යුත්තේ එම ආයතනවල දීර්ඝ කාලයක් සේවය කොට අත්දැකීම් ඇති පළපුරුදු අයයි. පිටතින් පැමිණෙන කෙනකුට අත්දැකීම් නොමැතිව එම සේවාවන් කරගෙන යා නොහැකි බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.

   - ජගත් -