හෙළදිව කෙටිකතාව
අපි වගේ අයගේ නමක් පත්තරේක හරි රූපවාහිණී නාලිකාවක හරි වැටෙන්න නම් මහා අපරාධයක් කරන්න ඕන. නැත්නම් මහා ඛේදවාචකයකට මුහුණ දෙන්න ඕන. ඔය දෙකම නොවී ප්‍රසිද්ධ වෙන්න ලැබීම පුදුමයක්.
අමුතුවෙන් ඛේදවාචකයක් සිද්ධ වෙන්න බැරි මුළු ජීවිතයම ඛේදවාචකයක් වුණු මං වගේ ගෑනියෙක්ට මෙතෙන්ට එන්න අවස්ථාව උදාවුණේ මහා හාස්කමකින් නම් නෙවෙයි. ඒක මොකක්ද කියලා මටවත් තේරෙන්නේ නැහැ. මම කළේ එන එන අභියෝග වලට ඒ ඒ ආකාරයට මුහුණ දෙන එක විතරයි. මගේ පාර කපා ගත්තේ මමමයි. වල් උදුරලා මල් හිටෙව්වේ මමමයි. ඒ නිසා මං ගැන ආඩම්බර වෙන්න සාධාරණ අයිතියක් මට තියනවා.
" මගේ නම සාවිත්‍රි,
වයස අවුරුදු හතලිස් පහයි,
උපතින් දෙමළ,
උපන්නේ හැටන් වල වත්තක,
මගේ ළමයි බාගෙට සිංහල.
"ඒක වුණේ මෙහෙමයි"
ආච්චිලා අම්මලා පුංචි අම්මලා වගේ තේ ගස් අස්සෙම කහට බැඳිලා දිරලා යන්න කලින් මම තීරණය කළා කොළඹ යන්න. පැහැදිලි අරමුණක් තීරණයක් හෝ නිනව්වක් නැති වුණත් කොළඹ තියෙන්නේ හැටන් වලට වඩා පැහැදිලි අහසක් කියලා මම අහලා තිබුණා. නමට ඉස්කෝලෙ යෑම ඉවර කරලා සාමාන්‍ය පෙළ ලිව්වට පස්සේ මට ගාමන්ට් එකක රස්සාවක් හොයලා දුන්නේ අපේ ලැයිමට අල්ලපු ලැයිමේ හිටපු රංජනී අක්කා.
ඒ වෙනකොට අප්පා අපිව අතහැරලා වෙන පවුලක් වෙලා. මට බාල කෙල්ලෝ තුන්දෙනයි කොල්ලෝ දෙන්නයි. අම්මත් තේරුම් අරගෙන හිටියේ මගේ ඉස්කෝලේ ගමන ඔච්චරයි කියන එක. නැත්නම් අපේ අම්මටත් තිබුණා හීන. ඒ හීන නංගිලා මල්ලිලා පිට පටවලා මගේ හීනය හැබෑ කරගන්න මම ආවා කොළඹ.
මම රංජනී අක්කත් එක්ක එක බෝඩිං කාමරයේ නැවතුණා. එයා වැඩ කරන තැනම මටත් රස්සාව ලැබුණා. මුලින්ම ලැබුණේ ක්ලීනින් වැඩ. ඊට පස්සේ නූල් කපන්න. මදින්න. මැසිමක් පාගන්න කලින් මට ඉන්දිකව හම්බවුණා.
ගාමන්ට් දෙක තුනක වැඩ කරලා පඩි ප්‍රශ්න, සේවක ප්‍රශ්න නිසා මාරු වෙවී ගිහිල්ලා අන්තිමට මම වැඩ කළේ බොරැල්ල පැත්තේ ගාමන්ට් එකක. රංජනී අක්කා ගෙනුත් වෙන්වෙලා ගිහිං වෙන කෙල්ලෝ කට්ටියක් එක්ක නතරවෙලා හිටියේ මට්ටක්කුලිය පැත්තේ බෝඩිමක. ඒ බෝඩිම කිට්ටුව කාමරයකයි ඉන්දික නැවතිල හිටියේ. අපි බඩු ගත්තේ හංදියේ කඩයකින්. එතනදි දැකල හිනාවෙලා තමයි දැන ඇඳුනුම් කම ඇතිවුණේ.
ඉන්දික හිටියේ තනියම. එයා ඩ්‍රයිවර් කෙනෙක්. ඕන කෙනෙක් එක්ක කතාබහ කරලා විහිළුවෙන් තහළුවෙන් ඉන්නයි ඉංදික කැමති වුණේ. සමහර දවස්වල වැඩ ඇරිලා අපි දෙන්නම ආවේ එකම බස් එකේ. එකම සීට් එකේ එක ළඟ වාඩිවෙලා එන්නත් අපට අවස්ථාව ලැබුණා. ඉන්දික කුරුණෑගල පැත්තේ ගොවි පවුලක පිළිවෙලක් ඇතිව හැදුණු කෙනෙක්. එයා වයසින් මට වඩා අවුරුද්දක් දෙකක් බාලයි. මම තරම් දුක් විඳලා තැලිලා පොඩිවෙලා තිබුණේ නැහැ.
ඔය අතරේ දවස් කීපයක් ඉන්දිකව මුණගැහුණෙ නැහැ. මම දැනගෙන හිටියා ඉන්දිකගේ බෝඩිම තියෙන තැන. එදා වැඩ ඇරිලා එන ගමන්ම මම ගියා ඉන්දිකව බලන්න. යනකොට කාමරේ දොර ජනෙල් වහගෙන ඉන්දික නිදි. කතාකරලා බලනකොට පැපොල් හැදිලා හොඳටම අමාරුයි. වතුර ටිකක් දෙන්නවත් කෙනෙක් නැහැ.
මම තීරණය කළා එදා රෑ ඉන්දිකත් එක්ක ඒ කාමරේ නවතින්න. ඔය ලෙඩ කොයිකත් අපට හොඳට හුරුයි. ලයින් වල හිටපු අපි ලෙඩ වලට බය නැහැ.
නංගිලා මල්ලිලා ළඟ නිදිමරලා පුරුදු මම රෑ පුරාම එයා ළඟ ඉඳලා උදේට වැඩට ගියා. දවස් තුන හතරක් යනකොට ඉන්දික හොඳ අතට හැරුණත් මම මගේ බඩුත් අරගෙන ඇවිත් එයාගේ කාමරේ ම නැවතුණා ආදරෙයි කියලා නොකීවත් ආදරේද කියලා නෑසුවත් අපිට දැනුණා අපි අපිට ආදරෙයි කියලා.
අපි දෙන්නා ගැන හොයන්න බලන්න කවුරුවත් ගමෙන් නාවත් මම වෙනදා වගේම පඩියෙන් කොටසක් අම්මට යැව්වා. ඒ වෙනකොට අම්මටත් වැඩක් පලක් කරගන්න බැහැ. පපුවේ හතිය. නංගිලා දෙන්නෙක් රත්නපුරේ ගාමන්ට් වල වැඩකලා. මල්ලී කෙනෙක් පිටකොටුවේ තේ කඩයක වැඩකලා. ඒත් පොඩි මල්ලි හොඳට ඉගෙනගත්තා. අපි හැමෝම එයාට උදව් කළා. ඉන්දික ගේ කාමරයේ නවතින්න ආවට පස්සේ මගේ බෝඩිං ගාස්තු ඉතිරි වුණා. කෑමට වියදම් කළෙත් ඉන්දික. එයා ගේ ගෙදරින් කවදාවත් සල්ලි ඉල්ලුවේ නැහැ. ඒ නිසා මම පුංචිම පුංචි ගණනක් හරි පොතක ඉතුරු කරන්න පුරුදු වුණා.
අවුරුද්දක් විතර යනකොට මට දරුවෙක් ලැබෙන්න ආවා. ඒ වෙනකොට ඉන්දික ගේ ගෙදරට අපි ගැන ආරංචි වෙලා තිබුණා. තාත්තා දවසක් වැඩ පොළ හොයාගෙන ඇවිත් එයාට බැණලා දොස් කියලා ගිහින් තිබුණා. ඒත් දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තහම ගමට එන්න කියලා පණිවිඩයක් එවලා නීතියෙන් අපි දෙන්නව කසාද බැන්දුවා. අපේ අම්මා මේ දේවල් දැනගෙන හිටියේ නැහැ. ඒත් අපි බැන්දයින් පස්සේ දවසක් හැටන් වලට ගිහින් ආවා. එදා අම්මා ඇඬුවේ දුකට නෙවෙයි සතුටට.
අදක් හෙටක් අනාගතයක් ගැන ලොකු බලාපොරොත්තු නොතිබුණත් මගේ ජීවිතයේ සතුටින්ම ගත කළ කාලය ඒක. සතුටේ දැවටිලාම තමයි කරදරත් අපි ළඟට එන්නේ. හදිස්සියෙම ඉන්දික වැඩ කරපු කොම්පැණිය වැහුවා. එයාට රස්සාව නැති වුණා. එතකොට දුවට මාසයයි. මම ටික ටික ඉතුරු කරගෙන හිටපු සල්ලි ඉවර වෙනකම් කොළඹ ඉඳගෙන රස්සාවල් හෙව්වා. ඉන්දිකට දුවව බලාගන්න දීලා පැය ගාණනේ පඩියට මම ගෙවල් වල වැඩට ගියා. ඒත් දරුවා නිතරම ලෙඩ වුණා. මටත් දිනපතා වැඩ හම්බ වුණේ නැහැ. බැරිම තැන අපි දරුවත් අරගෙන ඉන්දිකල ගේ මහ ගෙදරට ගියා.
සීතලේ තේ ගස් අස්සේ වැඩ කරලා තිබුණු පුරුද්ද මිසක් ගිනිගහන අව්වේ කුඹුරු වල හේන් වල වැඩකරලා පුරුද්දක් නැති වුණත් මමත් ඉන්දික එක්ක හරි හරියට වැඩකළා. කන්න බොන්න අපිට වියදම් කරන්න වුණේ නැහැ. ඉංදික ගේ ගෙදර අය දුවට ගොඩක් ආදරේ වූණා. ඒ නිසාම දුවගේ වියදමුත් හුඟක් බැලුවේ ඒගොල්ලෝ. කොහොම හරි අවුරුදු දෙකක් විතර යනකොට මම නැවතත් පොතේ මුදලක් ඉතුරු කරගත්තා.
ගොවිතැන් වැඩ කළාට ඉන්දික ගේ හිත තිබුණෙම ඩ්‍රයිවින් රස්සාව ගැන. යාළුවෙක් මාර්ගයෙන් කළුතර පැත්තේ පස් වැලි අදින තැනක ටිපර් එකක රස්සාව ලැබෙනකොට දෙවනියා හම්බවෙන්න ඇවිත්.
ඉන්දික ගේ ගෙදර අයගේ අකමැත්තෙන් වුණත් මමත් කැමති වුණා එයා එක්කම යන්න. වැඩ කරන තැනින් අපිට පොඩි ගේකුත් ලැබුණා. අපිට ජීවත් වෙන්න තරම් හොඳ පඩියකුත් ලැබුණා. ඉන්දික වැඩට ගියාට පස්සේ මට කරන්න දෙයක් තිබුණේ නැහැ. කවදාවත් නිකන් ඉඳලා පුරුද්දකුත් මට නැහැ.
අපි හිටපු තැන අල්පු වත්තේ එක යායට පලා වැව්වා. එතන ගමේ ගෑණු මිනිස්සු කීපදෙනෙක්ම වැඩකළා. අයිති මුදලාලිගෙන් නිකමට අහලා බැලුවම මටත් වැඩට එන්න කිව්වා. පොඩි දරුවයි ලැබෙන්න ඉන්න දරුවයි එක්ක, මට ලැබුණේ පලා මිටි බඳින්න. දරුවත් ළඟ තියාගෙන ම පලා මිටි බැඳිල්ලෙන් මගේ අතටත් කීයක් හරි ආවා. ආයෙත් මම ඉතුරු කරන්න පටන්ගත්තා.
දෙවනියත් දුවෙක්. දරුවා ලැබිලා මාසයයි මම ගෙදර නැවතුනේ. ඊට පස්සේ දරුවෝ දෙන්නම ළඟ තියාගෙන පලා මිටි බැන්දා. මුදලාලී හාමිනෙයි දෙන්නම මං ගැන හුඟක් පැහැදීමෙන් හිටිය නිසා ගණන් ලියාගන්න කොටුවට එන වෙළෙන්දන්ට ගැනලා මිටි දීලා සල්ලි ගන්න වගේ වැඩත් පැවරුවා. කාලයක් යනකොට එතන ප්‍රධානම සේවකයා වුණේ මම.
අපි ඉන්න කිට්ටුවම රබර් ඉඩමක් ගස් ගලවලා කට්ටි කරලා විකිණුවා. ඒ ඉඩමේ පිටිපස්සෙම කෑල්ලක් අඩු ගණනට විකූණනවා කියන ආරංචියට මම ඉන්දිකට කරදර කළා ඒක ගමු කියලා. ඒත් එයා ළඟ ඉතිරි කළ මුදලක් තිබුණේ නැහැ. ඉන්දික වැඩකරන තැන මහත්තයා ටික ටික ගෙවන්න මුදලින් කොටසක් දුන්නා. මං ළඟ තිබුණු මුදලත් දමලා අපි පර්චස් පහක් ගත්තා. එදා තරම් සතුටක් මම ජීවිතයේ කවදාවත් විඳලා නැහැ. උපන් රටේ එක බිම් අඟලක් අයිති නැති මට පර්චස් පහක් කියන්නේ මහමෙරක්.
ලෑලි ගහගෙන ගේ පොඩ්ඩක් හදාගෙන අපි ඒ ගෙයි පදිංචියට ගියා. තවත් අවුරුද්දක් විතර යනකොට ගේක කොටසකට අත්තිවාරම දාගන්නත් අපිට පුළුවන් වුණා. තුන්වෙනියා හම්බ වෙනකොට බිත්ති උස් වෙලා වහලෙ ගහගන්න විතරයි තිබුණේ. තුන්වෙනියා පුතෙක් වුණු එක ගැනත් ඉන්දික හිටියේ හරිම සතුටෙන්.
කාලයක් යද්දී අපි ගමේම මිනිස්සු වුණා. ඉන්දිකටත් යාළුවෝ එක්කෙනා දෙන්නා ඇතිවුණා. පුරුද්දට බොන කෙනෙක් නොවුණත් සමහර හවසකට යාළුවො එක්ක එකතුවෙලා පොඩ්ඩක් බීලා එන පුරුද්දක් ඇතිවුණා.
එදා පෝය දවසක්. තැටියක් වගේ ලොකු හඳක් අහසේ පායලා තිබුණා මට හොඳට මතකයි. මළගෙදරක යනවයි කියලා හවස ගෙදරින් ගිය ඉන්දික රෑ මැදියමක් වෙනකම් ආවේ නැහැ. මට දැනුණේ මහ නුහුරු බයක්. මට නින්ද ගියේ කොයි වෙලාවෙද කියලා මම දන්නේ නැහැ. ඇහැරුණේ දොරට ගහමින් කවුදෝ කෑ ගහන හඬට.
උදේ කුඹුරට ගිය එක්කෙනෙක් තමයි දැකලා තියෙන්නේ උඩ පාවෙමින් තිබුණු මාළු රංචුවක් අතරේ තිබුණු මිනිය .මොනවා වුණාද කියලා හොයන සිහියක් මට තිබුණේ නැහැ. මගේ මුළු ලෝකයම නාය ගියා වගෙයි මට දැනුණේ.
පස්සේ පොලිසිය කියපු විදියට තව දෙන්නෙක් එක්ක කනුවකට කොක්කක් ගහලා කරන්ට් එක අරගෙන මාළු වලට දාලා මාළු මරන්නයි හදලා තියෙන්නේ. ඒ වලටම වැටිලා කරන්ට් එක වැදිලයි ඉන්දික මැරිලා තියෙන්නේ. යාළුවෝ දෙන්නා පැනලා ගිහින්. පස්සේ පොලිසිය හොයාගෙන තමයි විස්තර දැනගෙන තියෙන්නේ. මරණයක්ද මිනී මැරුමක්ද කියන එකෙන් මට වැඩක් වුණේ නැහැ. මට මගේ ඉන්දික, මේ ලෝකයේ මට තිබුණු එකම සරණ අහිමි වුණා කියන එක විතරයි මට දැනුණේ. අදටත් මට හිතාගන්න බැරි එකම දෙය එයා වගේ හොඳ මනුස්සයෙක් ඔය වගේ දෙයකට සම්බන්ධ වුණේ ඇයි කියන එකයි.
එයාගේ වැඩපළෙන් මරණෙ කටයුතු කළා. ඉන්දික ගේ ගමෙන් ආපු අයත් හත් දවසේ දානෙන් පස්සේ ගමට ගියා. මගේ අම්මා ඒ වෙනකොට ජීවතුන් අතර නැහැ. මගේ සහෝදර සහෝදරියේ ඔක්කොම හිටියේ මට වඩා අසරණ තත්වෙක. මම මටම කියාගත්තා ඉන්දික මත්තේ මැරෙන්න මට බැහැ. මගේ දරුවෝ වෙනුවෙන් මම නැගිටිනවා කියන එක. මම දිගටම රැකියාව කළා. උදේට කඩේකට ඉඳි ආප්පත් තැම්බුවා.
ඒක හරිම අමාරු කාලයක්. දවල්ට නංගියේ කියල කතා කරපු සමහර පිරිමි රෑට මගේ දොරට ගැහුවා. වෙරිකාරයෝ මිදුල උඩින් ගියේ කට කැඩිච්ච කතා කිය කිය සරමත් උස්සගෙන. ඒත් දරු තුන්දෙනාට මැදි වෙළා කැත්තත් ඇඳ පාමුල තියාගෙන මම නිදා ගත්තා. කාලයක් යනකොට මගේ හිත යකඩ වගේ හයිය වුණා. අඬන් ඕන තැන්වලදී නොහඬා ඉන්න මගේ දරුවෝ මට ශක්තියක් වුණා.
මම වැඩකරන තැන ජෝඩුව ඒ වෙනකොට වයසයි. දරුවෝ හිටියේ නැහැ. එක පාරටම මුදලාලි අංශභාගය හැදිලා එක්තැන් වුණා. හාමිනේට ලෙඩා ගේ වැඩ මිසක් ව්‍යාපාරය ගැන බලන්න වෙලාවක් තිබුණේ නැහැ. මම මගේ දෙයක් වගේ බලාගෙන ඔක්කොම වැඩ මුදලාලි ඉන්නවටත් වැඩිය හොඳින් කළා.
මුදලාලි හාමිනේ දවසක් මට කිව්වා මාසෙකට ගණනක් ඒගොල්ලන්ට දීලා පලා ව්‍යාපාරය මටම කරගෙන යන්න කියලා. මට අදහගන්නත් බැරිවුණා. ඒත් ඒ අභියෝගය මම භාරගත්තා. බාධක ආවේ නැත්තේ නැහැ. එක පාරක් දිලීරයක් බෝවෙලා පාත්ති ටික ඔක්කොම විනාශ වුණා. අයෙත් අමුතුවෙන්ම පටන්ගන්න වුණා. තව පාරක් වැහි වතුරට යට වෙලා කුණු වුණා. ඉපදීම ම අභියෝගයක් වුණු මම ඒ හැම දෙයටම මුහුණ දෙමින් ඉස්සරහට ගියා.
කාබනික වගාව ගැන වැඩසටහනකට මට සම්බන්ධ වෙන්න ලැබුණේ අහම්බෙන්. ඒ පිළිබඳව මට ලොකූ ආසාවක් ඇතිවුණා. ලොකු දුවගේ ආධාරයෙන් ෆෝන් එකෙන් තව තොරතුරු හොයාගන්න පුළුවන් වුණා. කාබනික වගාව පටන්ගන්න රජයේ බැංකුවකින් ආධාරයක් ලබාගන්නත් මට පුළුවන් වුණා. ඒ විදියට තමයි මම අළුත් මාවතකට පිවිසුණේ. අද මම කාබනික ක්‍රමයට පලා වගාකරන මහා පරිමාණ ගොවිපලක හිමිකාරියක්. මගේ ගොවිපලේ සැලකිය යුතු පිරිසකට රැකියා ලැබිලා තියෙනවා. තවත් අලුත් බිම් කොටසක වගාව ආරම්භ කරලා තියනවා. සුපිරි හෝටල් සුපිරි වෙළඳ සැල් බොහෝමයක අලෙවි වන්නේ මගේ කාබනික පලා වර්ග.
මට මං ගැනම හිතලා බලන්න ලැබුණේ මං ගැන පත්තරේ පලවෙලා තිබුණු ලිපිය කියවලයි. බස්නාහිර පළාතේ හොඳම කුඩා ව්‍යවසායිකාව. ශ්‍රමාභිමාණී සම්මානයටත් නිර්දේශ වෙලා.
මං ගැන ලියවෙන්න තිබුණේ මෙහෙම නෙවෙයි. තැලිලා පොඩිවෙලා විනාශවෙලා යන්න තිබුණු දරුවන්ගේත් මගේත් ජීවිත මේ තැනට ගෙනාවේ දෛවය කියලා මම කියන්නේ නැහැ. මේක තමයි ධෛර්යය, කැපවීම, අවංක කම. මුදල් ඉපයීමේ පහසු ක්‍රම මගහැරලා මං තෝරගත්තේ අසීරුම මාර්ගයක්. ඒ අසීරු මාර්ගය හරිහමන් අධ්‍යාපනයක්වත් නොලබපු මාව මේ තැනට ඔසවලා. අද මගේ දරුවෝ තුන්දෙනාම හොඳින් අධ්‍යයනය හදාරලා හමාරයි.
" අම්මේ
මෙන්න අම්මව ටීවී එකේ පෙන්නනවා "
ඒ පොඩි දුවගේ කටහඬ