නලිනී ද සිල්වා ගේ විචාරය
ගමන සහ ගිමන්
කාව්‍ය සංග්‍රහකි.
පිටු 80
මිල රු. 550. 00
කතුවරයා - ප්‍රසාද් පිටිගලආරච්චි
සරසවි ප්‍රකාශනයක්
“ගමන් සහ ගිමන්“ ප්‍රසාද් පිටිගලආරච්චි මහතාගේ තෙවෙනි කාව්‍ය සංග්‍රහය වන අතර එය සරසවි ප්‍රකාශනයක් ලෙස 2024 වසරේ නිකුත් වී ඇත. වෘත්තියෙන් වෛද්‍යවරයෙක් ලෙස සේවයේ නියුතු ඔහුගේ “බෝසතුන් හා බෝසතුන්“ 2021 වර්ෂයේ දී අගහස් ප්‍රකාශනයක් ලෙසත් “ධම්මපදය සිව්පදයෙන්“ 2023 වර්ෂයේ දී කර්තෘ ප්‍රකාශනයක් ලෙසත් නිකුත්වී ඇත.
“ගමන් සහ ගිමන්“ කාව්‍ය සංග්‍රහයේ ඇති අපූරු පිදුම මා සිත්ගත් අතර මා මඳක් නැවතී නැවත නැවතත් කියෙව්වෙමි. ආදරනීය අම්මා වෙත පුදා ඇති අපූරු පිදුම වෙනත් පිදුම් වලින් යම් ප්‍රමාණයකට වෙනස් වචන මාලාවකින් නිර්මිතය. “සුදු පුතේ නුඹ බුදු වෙයන් යයි“ අම්මාගෙ වදන්ම උපයෝගී කර තිබීම ම, මා නතරව මා දෙස ද බැලීමි. මවකගෙන් එලෙස විවරණ ලැබීමට අපහසුය. ඒ ලෙංගතු හද පතුලෙන්ම පිබිදෙන චදන්ය. අසා ඇත්තෝ තමන් මියෙනතුරාවටම සවන්පත් පුරවන සෙනෙහසය එයයි.
එසේනම්, ඔහුගේ ජීයන වෘත්තියට වෙනස් මගක්ගත් හැකියාවක් වන මේ ඔහුගේ මනරම් කවි ගඟුල දෙසට හැරෙමු. මෙම කාව්‍ය සංග්‍රහයේ ඇති කාව්‍ය 48 ම සිවුපද සහ නිසදැස් කවි ආරට ගැබ්ව ලියා ඇතිමුත් සිවුපද කාව්‍යයන් හි එළිසමය ද දක්නට ඇති අතර ඔහු බොහෝවිට කවි කතාවක් ලෙස ප්‍රකාශකර ඇත. නිසදැස් කවි වුවද දිගු කාව්‍ය වන අතර ඒ තුළ ගැබ්වන වදන් හා කියවන්නා ගිලී යන වාර සුලබය. හෘදයාංගම වස්තු බීජයන් ඉතා පුළුල් ලෙස විවරණය කරමින් ලියැවෙන මේ කවි කතා කියවන්නාගේ සියුම් නුවණට අනුව ප්‍රබල ස්ථාන කරා ළඟා විය හැකි බවත් එළිසමය නොසැලකූ සිවුපද පවා ඇති සමහර කාව්‍ය වලින් පෙනෙනුයේ එළිසමයටත් වඩා ඔහු මූලිකත්වය දී ඇත්තේ ප්‍රකාශනයට බවය.
සමහර අවස්ථා වලදී මෙම කවි කතාවලින් උපදෙස් පවා දී ඇත. එවන් කවියකි “සුවඳක්ව ඉහිරෙන්න“ කවි පංතිය. (පිටුව 14) මෙය නිසදැස් ආරේ කවි වලින් පෝෂණය වී ඇති අතර මමත්වය ගැන කතිකා කර ඇති බව පෙනේ. මෙහි දැනෙන දේ ඒ ලෙසම ලියා ඇත.
“ළඟට එන දරුවෙකුට
පුතේ යයි අමතන්න“
“හිමිකමක් නොලැබෙනා
සිනාවක් අගයන්න“
“නියඟලා මල නමුත්
පියකරුයි පිළිගන්න“
මෙවන් වදන් භාවිතයෙන් සරලව, අවංකව ජීවත් වෙන්න සහ මමත්වය දුරලන්න යැයි කවියා තම කවියෙන් උපදෙස් ප්‍රකාශ කර ඇත. තත්කාලීන සමාජයේ බොහෝ අය නොදකින සියුම් තැන් විමසා ඇති කවියකි.
“නොසොයන් හිමියනි“ ජීවිතේ ගැන ලියැවුනු තවත් අපූරු කවියකි. (පිටුව 16) කාලයේ ගලායාමත් සමඟම තරුණියකගේ ජීවිතේ වෙනස් වන ආකාරය, ප්‍රේමය වෙනස් වන ආකාරය, එකිනෙකා ඈත්වන ආකාරය ප්‍රකාශ කිරීමට කවියා ජනවහර ද යොදාගෙන ඇති බව පෙනේ.
“අල බසිනා විට වැල දිරනා බව,
ලෝ දහමයි එය වෙනසක් වේවිද“
එමෙන්ම එම කවිය තුළම කාලය ගෙවී ගියද බැඳීම් තීවෘ බවත් පවසයි.
“කාලය නවතන යතුරක් දුටුවෙද
මංගල මාලයෙ දිස්නය අඩු නැත“
සොබාදහමත් ජීවිතයත් ගලපන අයුරු රසවත්ය.
“කඳ මෝරන විට අරටුව බිහි වෙත
කඳ මුතුපිට ලප කැළල් පිරෙනු ඇත
දිවි මඟ අරටුව දකින්න හිමි සඳ
නොහඬා නො තැවී මතුපිට ඔපයට“
මෙම කාව්‍ය තුළ දී කවියා බොහෝවිට සොබාදහම හා බැඳී කාව්‍යකරණය කර ඇති බව පෙනේ.
“තනිවීම“ත් එවැනිම කවියකි. (පිටුව 20) ඇල්බමයක් මූලික කර ලියා ඇති නිසදැස් කවි පංතිය, ජීවිතයේ පිටු එකින් එක කියවමින් ලියා ඇති බවකි. පිරිස් රැඳෙන තාරුණ්‍යය මංගල සමය හා තමන් ලද දරු සම්පත සමඟ දෙදෙනා පමණක් තනිවන ආකාරය සහ මෙම කවියේ “බලන්න සොඳුරිය“ යන වදන් පුනරුත් වීමෙන් බිරිඳට ඉතාමත් අවධාරනයෙන් මෙම පණිවුඩය පවසන ආකාරයක් දැනේ.
“අද සිට අප හට අප දෙදෙනා මයි
අසීරු මඟ තනි වී රැදිලා“
විවාහ ජීවිතයේ බරපැන දෙදෙනා විසින්ම උසුලාගත යුතු බව හොඳින්ම පැහැදිලි වෙන කවි පද දෙකකි.
“ගල මත පිපි මලක පැතුම“ (පිටුව 28) සිවුපද ආරේ කවියක් වූව ද මෙහි එළිසමය ඇතිව ලියා ඇත. (පිටුව 28) කාව්‍ය 5කින් යුතු කවි පංතියකි. වෙනත් ආකාරයට පැවසුවහොත් කවි කතාවකි. කඳු මුදුනක ඇති ගලක ඇති පැල්මක පිපෙන මලක් පිළිබඳව මෙහිදී සාකාච්ඡා කරන මෙම කවි පංතියේ දී සොබාදහම සහ කඳුකර පරිසරය ජීවිතයට ගලපාගෙන ඇත. ගල මතුපිට මලේ එකම පැතුම මියෙනා තෙක්ම පෙරමග බලන ඒකායන පැතුමය. අපූරුය, කවුරුන්හෝ ඇත්තියක් කෙනෙක් වෙනුවෙන් පෙරුම්පුරමින් බලාසිටින අයුරක් මෙයින් ගම්‍ය වේ. අවසානයේ දී එය ආදරයක් බවත් මෙම කවි පංතිය ආදර ආයාචනාවක් බවත් පසක් වෙයි.
“කෙතරම් පෙඳ පාසි තිබුනත් සෙල් තලයේ
නැහැ කිසි රුවක් පැහැ සුවඳින් ඉතිර ගියේ
පහතින් වැවෙන ලිය තුරු වැල් එමට තියේ
වෙර වීරියෙන් හෙල නැග මෙහි එන්න ප්‍රියේ“
ඒ ආදරවන්තියගේ අවසන් පැතුම ඔහු දැකගැනීම මය.
“වෙසක් කූඩුව“ (පිටුව 29) කාව්‍ය පංතිය සිවුපද ආරේ නමුත් එළසමය තබා ලියා ඇති බව පෙනේ. සිදාදිය හා වෙසක් උත්සවය එක්කර ලියා ඇති මුත් එහි වෙසක් කූඩුවට වෙනත් අරුතක් ද සැපයේ. ඒ මවත් සමඟ පැමිණි රූමත් තරුණියකි. මව සහ දරුවන් අතර සිටින මේ අපූරු තරුණිය පිළිබඳව ඇතිවූ හිතක් හේතුවෙන් ළඟාකර ගන්න සිතුවද විසන්ධි වූ විදුලිය අතරේ හමන ලද සුළඟකින් රැලි කැඩී ගොස් මව් කූඩුව ගිනි ගැනීමත් රැලි සියල්ල හිස මත පතිත වීමත් මේ ආදරවන්තයා ගැට කපන්නෙකු විය හැකි බව කියැවේ.
“හිටි හැටියේම මව් කූඩුව ගිනි ගැනුණී
රැහැන් කැඩී මගෙ හිස මතටම වැටුණී
ඉස්පීකර හඩට කන් අඩි දෙක පැලුණී
විදුලිය වැදී මා සිහි නැති වී වැටුණී“
එමෙන්ම, කෙසේ වූවද ආදරයට කුමන බාධා ද ? එයට ජාතියක්, ජන්මයක්, උස් පහත් භේදයක් නැත. එය හොඳින් ගැබ්වෙන අවසන් කවියේ කවි පද දෙක මෙසේය.
“අත රැඳි රැල්ල ගෙන බැලු විට සුසුම් හෙළා
රැල්ලේ තිබුණ කූඩුවෙ ගම රට ලියලා“
“රොබරෝසියා පෙත“කාව්‍ය පංතිය ද සිවුපද ආරේ එළි වැට ඇති කවි පංතියකි. (පිටුව 30) මෙම ප්‍රසාද් කවියා ජීවත්වෙන නුවර පළාතට රොබරෝසියා මල් ඉතා සුළබ දසුනක් වන අතර රොබරෝසියා වලින් විනිර්මුක්ත වී ඒ පාලාතේ අයට දිවි ගෙවීමට අපහසුය. මල් පිපෙන කාලයට මග දෙපස සහ පේරාදනිය විදුපියස ලොකු කුඩා කවුරුත් ප්‍රියකරන ස්ථාන බවට පත්ව ඇත. එමෙන්ම රොබරෝසියා හා බැඳුනු ආදර අන්දර එමටය. රොබරෝසියා මල් වලට ආදරය කරන්නෝ ද එමටය. මේ කවි පංතිය ප්‍රේමයෙන් මුසපත් වී ඇති බවෙකි. පද කිහිපයක් උපුටා දැක්වීමෙන් ඒ ප්‍රේමයට අවැඩක් වනු ඇති.
“කැන්ද කොළේ“ කාව්‍ය කොටස් හතරකින් යුති නිසඳැස් කවි පංතියකි. (පිටුව 31) මෙහිදී කැන්ද කොළය සහ බෝ කොළයේ හැඩ පිළිබඳව සාකාච්ඡා කෙරෙන අතර කැන්ද කොළය මිනිසාගේ ලෞකික ජීවිතයට මහත්සේ රුකුල් දෙන බවත් බෝ කොළය බොහොම ඉහළින් සැදෙන බවත් පවසන කවියා මෙලෙස විමසයි.
“මහතුන් ඇවිදින් නුඹබ ඉරාලා
හැලපය රස විඳලා යන්නේ
කුණු කූඩයෙ මරණය දකිනා සඳ
කඳුළක් හෙළුවද කියපන්නේ“
කවියා මෙහිදී ජිවිතයේ උරුමය සහ කරුමය විශ්වාස කරන බවක් පෙන්වන අතර පත්‍රිකා වර්ග දෙකෙහිම හැඩය එකම බැවින් කැන්ද කොළයක් වී කුණු කූඩයට නොගොසින් බෝ කොළයක් වි සැමගේම ගෞරව ආදරයට පත්වන්න යන අදහස ඉස්මතු වන සේ ,
“මතු අත් භවයේ වත් බෝගස මත
බෝ කොළයක් වී උපදින්නේ“ යැයි පැතුමක් එක්කරමින් එම කවි පංතිය අවසන් කර ඇත.
“දෙහි ගහ සහ කැළල“ ඉතා ගැඹුරක් ඇති සිවුපද ආරේ එළිසමය තබා ලියා ඇති කවි 5කින් යුතු කවිපංතියකි. (පිටුව 32) මෙහි කියවෙන්නේ කොස් ගසක් හා දෙහි ගසක් පිළිබඳ අන්දරයකි. මේ කවිය කැණිමඬල හා බැඳුනු අයුරු මේ කවි පද වලින් පෙනේ. කොස්ගසෙහි පබවත් බව සහ ශක්තියත් දෙහි ගසේ කටු ඇතත් පැඟිරි සුවඳ ජීවිතේ මත් කරන බවත් කියැවෙන අතර දෙහි ගස හීන කුලයේ ද? එසේත් නොමැතිනම් තුන්වන පංතියේ ආර්ථික මට්ටම පිළිඹිබු කරනට යොදා ගත්තා දැයි මේ කවිය කියවන මට සිතේ. එසේ නොමැතිනම් කොස්ගසට ඥාතිීත්වයක් ඇති වෙනත් අනියම් බැඳීමක් ද විය හැකිය.
“රෑ මැදියමේ එනවිට දෙහි ගහ අසලේ
දෙහි කටුවක් ඇනුණි දවසක යටි පතුලේ
කෑ ගහනා හඩ ඇසුනා මහ දෙවොලේ
ගේ මැද ගැලූවා ගංගාවක රතු ලේ“
මොන දෙමව්පියෙක් වූව ද, තමන්ගේ වෙනත් සබඳකම් තිබුණ ද, තම දරුවෝ ඒ අය සමඟ බැඳෙනවාටත් ඔවුන් දැන හඳුනාගන්නවාටත් අකමැතිය. මෙයින් ගම්‍ය වන්නේ එයයි. එවන් බැඳීම් තම දරුවන් ඇතිකරගත් විට දෙමාල්ලන් අතර දැවෙන ගැටුම්ය, ඒවා සමහරවිට අවසන් වන්නේ ජීවිත වලින් වන්දි ගෙවීමෙනි. එමෙන්ම, දෙහි ගසෙන් පල ප්‍රයෝජණ සියල්ලම ලබා ගත්ත ද , අවසානයේ මෙම බැඳීම් හෙළිවීමෙන් සිදුවන්නේ වෛරයක් ඇතිවීම හා සම්පූර්ණයෙන් දෑස මානයෙක් ඉවත් කිරීමකි. කෙසේ වූවද ජීවිත වල අවසානය මෙසේය.
“කොස්ගහ පලුදු කර කිරි වණයට තැබුවා
දෙහි ගහ මරා සැදු ඔසු වණ සුව කෙරුවා
පතුලේ කැළල සැමදා රිදුමක් පෑවා
බත හා සෙවන දුන් මහ කොස් ගහ දිරුවා“
මෙතැන දී දෙහි ගස මුලිනුදුරා දැමීම හේතුවෙන් කොස්ගසට දැනුන සාංකාවත්, කාලයත් කොස් ගසේ දිරුමට හේතුවන්න ඇති. (පියා - කොස්ගස, දෙහි ගස - ඔහුගේ අනියම් බැඳීම , ආදරය දක්නට නොමැතිවීම නිසා ඇතිවන විස්සෝපය සහ ඔහුගේ මුනිවත, බිරිඳෙගේ වේදනාව නිසා ඇතිවන කන්කරච්චලය, ජීවිතය දිරායෑමට හේතුවූවා විය හැකිය.)
“ගොරහැඩි මහත් තුරු“(පිටුව 36) තවත් එළිසමය සහිත කාව්‍ය 6කින් යුතු සිවුපද කවියකි. පැළ, සුවිසල් තුරු වන ආකාරය සහ තුරු වූ පසු තුරක හැසිරීමත් කියැවෙන අතර තුරු මත නැගෙන පිළිල, බිල, ගැට, කරුමුල් ඇතිවුනත් ලැව්ගිනි ඇති වීමේ දී මහ වනයේ ඇති සිසිල දවමින් දැවෙන ආකාරය සිහිපත් කරයි. මෙමගින්, ජීවිතයේ නොයෙක් අවස්ථා පිළිබිඹු වේ. දෙමව්පියන්ට දරුවෝ අහිමි වන හැටි සහ දරුවන් වියපත් වන විට නොයෙකුත් සමාජ විෂමතා වලට ඇබ්බැහි වීමත් නිසා ඇතිවන හද ගින්දර ලැව්ගිනි යන වදන් වලින් ගම්‍ය වන බවත් පැහැදිලිය.
“අංකුර තුරු වන විට කල් බලමින්
උරා ගනී විස මුල් හා සිරසින්
පැළ නෙැවැටෙන මුත් මහ සුළි සුළගින්
බලන් පෙරළෙනා හැටි ගස් විගසින්“
“සිර කුටිය“ (පිටුව 48) කවි පංතිය ද කවි 5කින් යුතු සිවුපද ආරේ එළිසමය සහිත කවි පංතියකි. ජීවිත සිර කුටිය පිළිබඳව මනාව ලියවී ඇති මෙම කවි පංතියේ :
“හද පුරා නැගි සුවඳ මල් කැකුළු
මැරුණි දැල්ලෙන් කරුම ගිනි ඇවිළුෑ
තෙලෙස සැනසෙමි බොමින් දුක් කඳුළූ
බලා වැළපෙමි අරිනු බැරි අඟුළූ“
ගිහි ජීවිතයෙන් සමාධිගත ජීවිතයකට පා නැගීමට නොහැකි බැඳීම් ඇති බවෙකි. ජීවිතේ අගුළු අරින්න නොහැකි දාරුමය බැඳීම්, දරුවන් සහ බිරිඳ මෙන්ම දෙමාපියන් ය. පසක් කරගන්නා දහමක් අනුව නික්මෙන්න නොහැකි ගිහි ගෙදරක සිරවීම එබඳුය.
එය භාව්‍යමය භවගාමී බැඳීමකි.
“කිඳුරෙක්මි පෙර සිඳු තරඟ සිඳලූ
අසරුවෙකි වේරම්බ වා බිඳ ලූ
ගුරුලෙක්මි ඝන වලා කලඹාලූ
සිර ගතව අද දෑත් පා බැඳලූ“
කොපමණ ශක්ති සම්පන්න වූවද, ජව සම්පන්න වූවද, හද බැඳීම එයිට වඩා ශක්තිමත් බැවින් සිරගත වී ඇති බවත් කවියා ප්‍රකාශ කර ඇති අතර මෙය සැමගේම ජීවිත කාතාවේ නොලියන නොකියවෙන එක් කලාපයකි.
“ද්විත්ව ඝාතනය“ (පිටුව 74) නිසැඳැස් කවි ආරෙන් ලියුවුන කවි කොටස් 4කින් යුතු කවි පංතියකි. මෙහි සමහර වදන් කවිය තුළම පුනරුත් වී ඇති බැවින් එය තීවෘව ප්‍රකාශ කිරීමට ඔහුගත් තැතක් ලෙස පැහැදිලිය. “මිනී මැරුම“ යන වචන යුගලය විවිධ අවස්ථාවලදී යොදාගෙන ඇත. නීතිය අභියස යුක්තිගරුක සද්ධන්ත දුප්පත් මිනිසා ඝාතනය කරන ආකාරයක් මෙම කවියෙන් ලියා ඇති බව දැනේ.
“මීනී මැරුමක් තවත් මැරුමක්
යුක්තියේ සද්දන්ත මිනිසා
විනිසුරන්ගේ දෑස් අබියස
දස අතින් දුන් පිහිය පහරින්
බිම හෙළාලූ මිනී මැරුමක්
මහ දවාලේ මිනී මැරුමක්“
මෙය ඕනෑම අවස්ථාවකට ගලපා ගත හැකිය. විවිධ දෘශ්ඨිකෝණ වලින් මෙම කවිය කියවිය හැකිය. දේශපාලනය, සමාජීය සහ සමහර අවස්ථාවලදී කාර්යාලීය හෝ වැඩ බිමේ දී ඇතිවන පසුබිමක් අනුව වුවද රසවිඳිය හැකි කවියකි.
මෙහි ඇති කාව්‍ය බොහෝවිට සමස්ථ සමාජයම නියෝජනය වන ආකාරයක් දැකිය හැකිය. තවත් මා කියවීමෙන් රසවිඳි කවි කිහිපයක් ඔබ වෙත සඳහන් කරනු කැමැත්තෙමි. “හදක කුකුස“, “ප්‍රේමයේ හිණිපෙත්ත?“, “කඳ මුදුන් ඇත තවම“, “ආපසු ගමන“, “නුඹම නොවෙද මේ“, “දිනු පැරදුම“, “බිඳුනු බඳුන“,“වෙළන්දෝ සහ බිළින්දෝ“,“වකුගඩු ජාවාරම“, “මසුරු සයුර“ , “නොරත රත“ හා “බලු පොරය“ වැනි තවත් බොහෝ රසවත් කවි එකතුවකින් සැදුම්ලත් කවිපොතකි. මෙම කවි සියල්ල, අරුතම මුල් කර නොගෙන භාවය සහ රසය ගැබ්වූ කවි බව කිව යුතුය. මෙම කවියා වෘත්තියෙන් වෛද්‍යවරයෙක් බැවින් ඔහුට මුණ ගැසෙන විවිධාකාර දුක් වේදනා සහිත රෝගීන්ගේ කතා පුවත් වල බීජයන් මෙසේ හසුරුවා ඇතිවාට සැකයක් නැත. ශල්‍ය වෛද්‍යවරයෙක් කරා බොහෝ විට පැමිණෙන්නේ යම් රෝග ලක්ෂණ වලින් යුතු රෝගීන්ටත් වඩා හදිසි අනතුරු සිදුවූ සහ ආරවුල් වලට මැදිවූ අය යි. ඔවුන්ගේ ජීවිත කතා විවිධය. ඒ විවිධ කතා වල බීජයක් සොයා කවියා ඒවායේ උදක්ම ගැඹුරට ගිලී සැරිසරා ඇති බව මෙම කවි කියවීමෙන් දැනේ. ඒ මා සිතන පරිදිය. ඔහුගේ මෙම ලියැවීම එසේ විය යුතුයි. තව තවත් සමාජ කතිකාවන් වලට භාජනය වන වස්තුබීජයන් යොදා ගනිමින් කාව්‍යකරණය් යෙදීමට ඔහුට ශක්තිය ධෛර්යය ලැබේවායි ඉත සිතින් පතමි.
- නලිනී ද සිලවා - කළුතර