උණුසුම් පුවත්දේශපාලන

ගල් පර්වතයක් වුවත් අස්වැද්දීමේ අධිෂ්ඨානය අපට දුන්නේ 71 අප්‍රේල් විරුවන්

අප්‍රේල් විරුවන්ගේ 53වැනි සමරුවේ දී ටීල්වින් කළ සම්පූර්ණ කතාව

එදත් අපි රට ගමන්කරමින් තිබුණු බංකොලොත් තත්වය පිළිබඳව දැක්කා. දැන් අවුරුදු දෙකක් පුරා ගොඩ එන්න බැරිතරමට බංකොලොත් වී තිබෙනවා. ජනතාව පීඩා විඳිමින් සිටින දරාගත නොහැකි මේ ආර්ථිකයෙන් මිදිලා විකල්ප ක්‍රමයකට ගමන් කිරීම අවශ්‍ය වෙනවා. දේශපාලනික වශයෙනුත් රට වට්ටා තිබෙනවා. රටේ ආර්ථික ප්‍රතිපත්ති තීරණය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ වගේම රට ගොඩනැගීමට අවශ්‍ය සම්පත් වේගයෙන් විකුණමින් පරාධීන රාජ්‍යයක් බවටත් පත්කර තිබෙනවා. 1971 සටන් කළ අපේ සගයින් කල්පනා කළේ දණින් වැටී ජීවත් වීම වෙනුවට නිදහස ලබාගත යුතුයි කියලා. අදත් අපට තිබෙන්නේ නාමමාත්‍රික නිදහසක්. ඒ නිසා නව නිදහස් අරගලයක් අවශ්‍ය වී තිබෙනවා. මහින්ද රාජපක්ෂලාගේ දේශපාලන කඳවුර ඇතුළු මේ පාලකයන් ජනතාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉස්සර මහ මැතිවරණයක් පවත්වන්න සාකච්ඡා කළේ රාජපක්ෂලාට ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කරන්න අපේක්ෂකයෙක් නැති නිසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මේ වෙනකොට පක්ෂයේ බලය ලබාගන්න සටන් කරනවා. අපි රටේ බලය ලබාගන්න අරගල කරනවා. ඩලස් අලහප්පෙරුම එක්ක අයින් වුණු කණ්ඩායම බෙදී කොටසක් ස.ජ.බ. එක්ක ගියා. මේ නිසා අවුල් වුණු ස.ජ.බෙ. තව කොටසක් කැඩිලා එක්සත් ජාතික පක්ෂයට යන්න සූදානම් වෙනවා. රට ආර්ථික වශයෙන් කඩා වැටීම විතරක් නොවෙයි, මේ දක්වා පාලනය කළ පිරිස්වලට බරපතළ දේශපාලන අර්බුදයකුත් නිර්මාණය වී තිබෙනවා. ඒ අතර අපිත් බලය ගන්න ජනතාව සංවිධානය කරමින් යනවා. එළඹෙන ජනාධිපතිවරණයෙන් ස්ථිර ලෙසම මාලිමාව ජයග්‍රහණය කිරීමට කටයුතු කරනවා.

අපි උත්සාහ කරන්නේ වෙනස් පාලනයක් පිහිටුවන්නයි. ඒ පාලනයකින් දැන් වට්ටා තිබෙන රට ගොඩගෙන ශක්තිමත් ස්ථාවර ආර්ථියක් හදන්න ඕනෑ. එය හදන්න දැවැන්ත ජනතා සහභාගිත්වයක් ඕනෑ. රටේ සමස්ත ජනයාම සහභාගි කර ගන්න ජාතික පිබිදීමක් ඕනෑ. රට නව පුනරුදයකට ගෙනයන්න මුළු මහත් ජනයා පෙළගස්වමින් ගල් පර්වතයක් වුවත් අස්වැද්දීමේ අධිෂ්ඨානයෙන් අපි කටයුතු කරමින් යනවා. 1971 සටන් කළ අපේ සහෝදරවරුන්ගේ අපේක්ෂාව වූයේ යුක්තිගරුක දේශයක්, සාධාරණ සමාජයක් සහ නිවහල් මිනිසෙක් බිහිකිරීමයි. අපි ගොඩනගන ආර්ථිකයේ ප්‍රතිලාභ කාටත් සාධාරණ ලෙස බෙදා හරින්න ඕනෑ. විවෘත ආර්ථිකයේ බොහෝ මිනිසුන් ආත්මාර්ථකාමිත්වය නමැති අයිස් වතුරේ ගිල්වා පාසල් අධ්‍යාපනයේ සිටම සාමූහිකත්වය අත්හැර දමා මනුෂ්‍යත්වය අහිමි කර තිබෙනවා. අපි ගොඩනගන්න ඕනෑ අනෙකාගේ දුක දැනෙන සහකම්පනය සහිත සාමූහික සමාජයක්. අපේ සමාජයේ කාන්තාවන්ට ආරක්ෂාවත් ගෞරවයත් නැහැ. නරුම අදහස් තිබෙන මිනිස්සුත් එක්ක රටක් ඉස්සරහට ගෙනියන්න බැහැ. 1971 සහෝදරවරුන් තුළ මනුෂ්‍යත්වය, ගෞරවය, සටන්කාමිත්වය, මිනිසුන්ට ආදරය කිරීම, හොඳින්ම තිබුණා. ඔවුන් අපට කියා දුන්නේ ජනතාවට ආදරය කරන්නයි. සමාජය ඇතුලේ තිබිය යුත්තේ වෛරය, කුහකකම, පීඩාව, එදිරිවාදීකම් නොවෙයි, ආදරයයි. අපි නිර්මාණය කරන්න ඕනෑ එකිනෙකාට ආදරය කරන්න පුළුවන් සමාජයක්. සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා රට ගොඩනැගීමේ සටන් පාඨය වෙනුවෙන් එකතු කළ හැකි එකම බලවේගය ජාතික ජන බලවේගයෙ පමණයි. අනුර සහෝදරයා උතුරට ගිහිල්ලා කියා සිටියේ වට්ටපු රට අපි ගොඩනගමු කියලයි. ජාතික සමගිය ගොඩනගලා ශ්‍රී ලාංකික ජාතිය ගොඩනගමු කියන සටන් පාඨය අපි ඉදිරියට ගෙනයනවා. ඒ වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් අපට තිබෙනවා.

අපි අලුත් විදිහට හිතන්නේ නැතිනම් අලුත් සමාජයක් ගොඩනගන්න බැහැ. අපි තුළ සාමූහිකත්වය නැත්නම් අපිට සාමූහික සමාජයක් ගොඩනගන්න බැහැ. අපි අනෙකාට ආදරය කරන්නේ නැතිනම් ආදයෙන් පිරුණු සමාජයක් අපට ගොඩනගන්න බැහැ. අපි කැපකිරීම් කරන්නේ නැත්නම් රටක් ගොඩනගන්න බැහැ. මානව වර්ගයාට ආදරය කරන්න, කැපකිරීම් කරන්න සාමූහික අරගල කරන්න ඉගෙන ගන්න තිබෙන හොඳම තැන 1971 සහෝදරවරුන්ගේ දිවි පිදීමේ ආදර්ශයයි. අපි එයින් පන්නරය ලැබූ පිරිසක්. දැවැන්ත සමාජ පරිවර්තනයක් සඳහා වගකීමක් සහ වගවීමක් අපට තිබෙනවා. අවුරුදු 76 ක් පුරා විශේෂයෙන් 1977 න් පස්සේ විනාශ කළ සමාජයක් අපට තිබෙන්නේ. හැමදේකම මිල දන්නා එහෙත් වටිනාකම නොදන්නා සමාජයක් පසුගිය අවුරුදු හතළිස් ගණන පුරා බිහිකර තිබෙනවා. අනෙක් හැමදෙයක වගේම මිනිසුන්ගේ මිලත් දන්නවා, ඒත් වටිනාකම දන්නේ නැති සමාජයක් තිබෙන්නේ. සරල ආණ්ඩු මාරුවක් නොවෙයි, සමාජය ගැඹුරින් වෙනස් කිරීමේ වගකීමක් අපට තිබෙනවා. මේ වෙනුවෙන් අපි පෙළගැසෙමින් එන අතර, සතුරන් විශාල වශයෙන් කලබල වී සිටිනවා. මේ නිසා එක පැත්තකින් සමගි ජන බලවේගයේ පිරිසක් ආර්ථික ප්‍රතිපත්ති ගැන විවාද කරන්න අපිට අභියෝග කරනවා. රනිල් වික්‍රමසිංහ අගමැති යටතේ අවුරුදු 05 ක් ආණ්ඩුවේ හිටපු, ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කරවලින් ලංකාවට වැඩිම විදේශ ණය ගෙන ඒ උගුලේ අපිව හිරකරපු අයම අපට විවාදයකට කතා කරනවා. ඒ අයට අපි උත්තර දුන්නේ එහෙට මෙහෙට පනින ප්‍රතිපත්තියක් නැති අය වෙනුවට ජනාධිපතිවණයකදී වැදගත් වෙන්නේ අපේක්ෂකයන් හැටියට ඉදිරිපත් වෙන පක්ෂ නායකයන් නිසා අපේ පක්ෂයේ නායක අනුර දිසානායක සහෝදරයා සමග ඒ ගොල්ලන්ගේ නායක සජිත් ප්‍රේමදාස මහත්තයට විවාදයකට එන්න කියලා අපි කියලා තිබෙන්නේ. දැන් ඒ අය ඊට කලින් අනෙක් අය කරන එක හොඳ නැද්ද කියා අහනවා. රූපවාහිනී නාලිකාත් ඒකට ලැහැස්ති වෙනවා. සජිත් ප්‍රේමදාස තනියෙන් මොනවා හරි කීවොත් ඇරෙන්න රූපවාහිනී සංවාදවලට ඇවිත් නැහැ. සජිත් ප්‍රේමදාස විවාදයකට එනවා නම් අපි සතුටුයි.

අනෙක් පැත්තෙන් මැදපෙරදිග තෙල් විකුණනවා වගේ අපේ රටේ සම්පත් විකුණන්න අනුමැතිය දෙන අය තර්ක ඉදිරිපත් කරමින් විවාදයක් ගැන කියනවා. මැදපෙරදිග තෙල් විකුණනවා මිසක තෙල් ළිං විකුණනවාද? ඔවුන් තෙල් නිධිය නොවෙයි නිෂ්පාදිතය විකුණන්නේ. අපි කිරි විකුණනවා වෙනුවට ගොවිපොළ විකුණන්න ලැහැස්ති වෙන්නේ. මේ හාදයන්ට ඕක තේරෙන්නේ නැහැ. ඔන්න ඔය සරල දේවත් තේරෙන්නේ නැති අයට අපි කියන්නේ විකුණන් කෑමේ ප්‍රතිපත්තිය වෙනුවට රට හදන ප්‍රතිපත්තියකට යන්න ඕනෑ. අනෙක් පැත්තෙන් කියනවා නම්, වෙනත් විවාදයක් කරන්න අපි ඒක ඒ වෙලාවට බලාගනිමු. දැන් ඔවුන් විශේෂයෙන්ම රූපවාහිනී සංවාදවලදී කරුණුමය වශයෙන් උත්තර දෙන්න බැරිවෙනකොට 88-89 ගැන කියනවා. 1971 ටත් අදාළව විකෘති කර තිබෙන ඉතිහාසය ගැන අපි ටිකක් කතා කළ යුතු වෙනවා. ඉතිහාසය ලියන්නේ ජයග්‍රාහකයා. 1971 ගැන ඒගොල්ලන්ට අනුව අපට කියන්නේ කැරලිකාරයෝ කියලා. ඒ කාලයේ ප්‍රචාරය කළ අවලාදයක් වුණේ අවුරුදු 55 ට වැඩි අය මරාදමනවා කියලා. 1980 දශකය අවසානයේ එහෙම තමයි. ඔවුන් දැවැන්ත මර්දනයක් දියත් කර, ඉතිහාසය ඔවුන් ලිව්වා. ඒ ගොල්ලෝ වැරදියට ලියූ ඒ ඉතිහාසය අපි ඉතා ඉක්මනින් නැවත ලියන බව අවධාරණය කරනවා. ඒ ඉතිහාසය නැවත ලියන පරපුර අපි. ඇත්තටම 88 ට පටන් ගත්තේ ඊට බොහොම කලින්, 1978 ඉඳලා. ඒ නොදන්නා අයගේ දැනගැනීමට අපි කියන්නේ 78-90 දක්වා විශාල කාල පරිච්ඡේදයක ජයවර්ධන - ප්‍රේමදාස භීෂණයක් තිබුණු බවයි. ඒ ඉතිහාසය අපි හරියට තේරුම් ගත යුතු වෙනවා.

1977 මැතිවරණයෙන් 5/6 ක බලයක් අරගෙන ආව ජේ.ආර්. ජයවර්ධන ව්‍යවස්ථාව වෙනස් කොට අලුත් ව්‍යවස්ථාවක් එක්ක විධායක ජනාධිපති ධුරය හඳුන්වා දුන්නා. එදා ඔහු කීවේ විධායක ජනාධිපති ධුරයෙන් ගැහැනියෙක් මිනිහෙක් කරන්නත්, මිනිහෙක් ගැහැනියෙක් කරන්නත් හැර අනෙක් හැම දෙයක්ම කළ හැකි බවයි. ඔහු තමන්ගේම පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා අස්වීමේ ලිපි අරගෙන සාක්කුවේ දාගත්තා. ජේ.ආර්. තමන්ගේ පක්ෂයටවත් ප්‍රජාතන්ත්‍රවාදය දුන්නේ නැහැ. දැන් ඔය කටමැත දොඩවන මහත්තුරුන්ට කියන්නේ. ඊට පස්සේ 1980 ජූලි වර්ජනයට විරුද්ධව අත්‍යවශ්‍ය නියෝග පනවනවා. හදිසි නීතිය දාලා ලක්ෂයකට වැඩි රජයේ සේවකයන් එළියට දැම්මා. එතනින් නතර නොවී වර්ජකයන් කනත්තට යවන බව කීවා. වැඩවර්ජන සහ සාමකාමී උද්ඝෝණවලට ගහන්න වෙනම මැර කණ්ඩායම් ගොඩනැගුවා. උපාලි විජේවර්ධනගේ දිවයන පත්තරේ ඒ මැර කණ්ඩායම්වලට “තග් සංස්ථාව” කියලා නමක් දැම්මා. 1980 ජූලි වර්ජනයට කලින් ඒ මැරයන් යොදවා පහරදී සෝමපාල නම් කම්කරුවෙක් ඝාතනය කළා. ඒ වගේම රට පුරා මැර ඇමතිවරු කණ්ඩායමක් සිටියා. 1978 න් පස්සේ, අපි ප්‍රසිද්ධ දේශපාලනය කරගෙන යනකොට අපට පහර දුන්නා. කැකිරාවේ මහින්දසෝම, කඩුවෙල පෝල් පෙරේරා, මහියංගනයේ කැප්ටන් සෙනෙවිරත්න වගේ මැර ඇමතිවරු භීෂණ පාලනයක් ගෙන ගියා.

ඊට පස්සේ 1981 දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්දය පැවැත්වූවා. ඇමතිලා මැරයෝ අරගෙන යාපනයට ගිහින් දකුණු ආසියාවේ වටිනාම පුස්තකාලයට ගිනි තබා මැතිවරණ භීෂණයක් ඇති කළා. ඒ වෙනුවෙන් ගාමිණීලා තුන්දෙනෙක් මූලික වී ක්‍රියාකර තිබුණා. ගාමිණී දිසානායක, ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ ගාමිණී ලොකුගේ. උතුරේ යුද්ධයක් නිර්මාණය වෙන්නත් මේ තත්වය බලපෑවා. 1982 අධ්‍යාපනය විනාශ කරන්න රනිල් මැදිහත් වී ගෙන ආ ධවල පත්‍රිකාවට විරුද්ධව උද්ඝෝෂණය කළ සිසුන්ට පොලිස් අශ්වයන් යොදවා පහර දුන්නා. ඒ කාලයේ අපේ නායකත්වයේ තිබුණ ශිෂ්‍ය ව්‍යාපාරයට ඒ ප්‍රහාරවලට ලක්වෙමින් ධවල පත්‍රිකාව පරාජය කරන්න හැකි වුණා. එයින් නතර නොවී කාන්තා දිනයකදී පෙළපාළි ගිය සමසමාජ පක්ෂයේ විවියන් ගුණවර්ධනට පහර දුන්නා. ඒ වගේම ජාත්‍යන්තර දෘෂ්‍යාබාධිත දිනයේදී දෘෂ්‍යාබාධිතයන් විසින් පැවැත් වූ සාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කළ උද්ඝෝෂණයකට පහර දුන්නා. ‘ධර්මිෂ්ට සමාජය’ පොත ලියූ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මහතාට කාණුවක දමා පහර දුන්නා. ඒ වගේම සමහර නඩු තීන්දු දුන් විනිසුරුවෙන්ගේ නිවාස ඉදිරියට ගොස් “හූ” කියා ගල්ගැහුවා. ගෝනාවල සුනිල් කියන එක්සත් ජාතික පක්ෂයේ මැර ස්ත්‍රී දූෂකයාට ජනාධිපති සමාව දී නිදහස් කරගෙන මුළු දිවයිනටම බලපාන සාමදාන විනිශ්චයකාර ධුරයක් දුන්නා. ජේ.ආර්.ගේ මැරයන් ගැටඹේ පන්සල කොටුකර කටු කම්බි ගැහුවා. එතනිනුත් නතර නොවී 1983 මහ මැතිවරණය නොතියා බලය රැකගන්න 1982 දෙසැම්බර් මාසයේ ජනමත විචාරණයක් පවත්වා අන්ත දූෂිත මැතිවරණයක් ඉතිහාසයට එක් කළා. 1983 කළු ජූලිය නිර්මාණය කළේ ඉන්පසුවයි. අපි මේ කියන්නේ ගම්වල ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයන් ගැන නොවෙයි. ජයවර්ධනය පාලනයෙන් කළු ජූලිය නිර්මාණය කර අහිංසක දෙමළ ජනතාවට පහර දී මරා දමමින් ගෙන ගිය විනාශය පිළිබඳවයි. ‘සිරි පතුල’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ කේ. වෙන්කට් නිර්මාණකරුවා පණපිටින් පුච්චා මරා දැමුවා. දෙමළ ජනතාවට අයත් රටේ දේපොළ  කොයිතරම් ප්‍රමාණයක් විනාශ කළාද? ඒ කළු ජූලිය යොදාගනිමින් ජනතා විමුක්ති පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය සහ නව සම සමාජය පක්ෂය තහනම් කළා. අනෙක් පක්ෂ දෙකේ තහනම පස්සේ අයින් කර, ජනතා විමුක්ති පෙරමුණේ තහනම දිගටම පවත්වාගෙන ආවා. අපි කිසි වරදක් කර තිබුණේ නැහැ. අපිට කිසිදු නඩුවක් තිබුණේ නැහැ. ඔවුන් ඇති කළ, ජූලි කලබල උපයෝගී කරගෙන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ සිටි ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීම ගැන මොකද කියන්නේ කියලා 1988-1989ට ඇඟිල්ල දික් කරන අයගෙන් අපි අහනවා. එය අපට එරෙහිව ක්‍රියාත්මක කළ දේශපාලන කුමන්ත්‍රණයක්.

එයින් නතර නොවී අපේ පක්ෂයේ නායකයින්ගේ ඔළුවලට රුපියල් පනස්දහ ගානේ ලන්සු තිබ්බා. රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක, සෝමවංශ අමරසිංහ වගේ පස්දෙනෙකු අල්ලා ගත් අයෙකුට පනස් දහස බැගින් දෙන බවට ප්‍රචාරය කළා. අපේ රටේ කවුරුත් ඒ පනස් දාහ ගන්න ගියේ නැහැ. අපේ පක්ෂය තහනම් කළාම අපි කරගෙන ගියේ ඒ තහනම ඉවත් කර ගැනීමේ දේශපාලනයයි. තහනම් කර වසරක් වන විට රට පුරාම “ජනතා විමුක්ති පෙරමුණ තහනම් කර වසරයි. තහනම වහා ඉවත් කරනු” කියලා පෝස්ටර් ගැහුවා. මෙහෙම ගිහින් ආණ්ඩුව 1987 ඉන්දියාවට යටවෙලා ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කළා. ඊට එරෙහිව රට පුරාම විරෝධයක් ආවා. ගිවිසුම අත්සන් කර ආව ඉන්දීය අගමැති රජිව් ගාන්ධි වෙනුවෙන් පැවැත්වූ පෙළපාළියේදී නාවික භටයෙක් රයිපල් බඳෙන් ඔහුට පහර දුන්නා. එයා අපේ පක්ෂයේ සහෝදරයෙක් නොවෙයි. මේ ගිවිසුමට විරුද්ධව රට පුරාම ජනතාව ලක්ෂ ගණනින් පෙළපාලි ගියා. කොටුව බෝ ගහ ළඟට ආව පෙළපාලියට වෙඩි තබලා සාමකාමී ජනතාව 147 ක් ජේ.ආර්.ගේ ආණ්ඩුවෙන් ඝාතනය කළා. අන්න එහෙම ආව මර්දනයට ප්‍රතිචාර දක්වන එක තමයි සිදුවුණේ. අපව තහනම් කර තිබූ ව්‍යාපාරයක් හැටියට ප්‍රතිචාර දක්වන්න අපට සිදු වුණා. 1988 කියන්නේ ක්‍රියාවක් නොවෙයි, ප්‍රතික්‍රියාවක්. ප්‍රජාතන්ත්‍ර විරෝධී මහා භීෂණ පාලනයට අපි දැක්වූ ප්‍රතික්‍රියාවක්. අපේ රටේ ජනතාව ඝාතනය කරන්න ඔවුන් නිල නොවන හමුදා හැදුවා. ‘කොළ කොටි’, ‘කළු බළල්ලු’, ‘කහ බළල්ලු’, ‘ඝ්‍රා’, ‘ප්‍රා’ වගේ සංවිධාන හදාගෙන අපේ රටේ තරුණ තරුණියන් දහස් ගණනින් ඝාතනය කළා. බොහෝ ඝාතන සිදු කර, ඒවා තහනම් කර තිබූ අපේ මත පැටෙව්වා. විජය කුමාරතුංග ඝාතනය එක්සත් ජාතික පක්ෂයෙන් කළ බව ඒ සම්බන්ධ ජනාධිපති පරීක්ෂණ කොමමිසමේ දි හෙළි වුණු බව චන්ද්‍රිකා බණ්ඩාරනායක ප්‍රසිද්ධියේ කීවා. එයා පස්සෙදි එක එක කතා කීවාට ජනාධිපති කොමිමේදී කරුණු හෙළි වී තිබුණා. ප්‍රසිද්ධ ගීත රචකයෙක් වූ ප්‍රේමකීර්ති ඝාතනය කර අපේ පිට දැම්මා. ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ බිරිඳ, දරුවෝ, මහින්ද රාජපක්ෂගේ මුහුණටම කියා තිබෙන්නේ ප්‍රේම් මරපු ඝාතකයා මහින්ද රාජපක්ෂ සමග සිටින බවයි. එවැනි භීෂණ ව්‍යාපාරයක් ගෙනියලා 60,000 කට කිට්ටු අපේ රටේ ජනතාවක් මරා දැම්මා. ඒවාට ප්‍රතිචාර දක්වීමේදී සිදු නොවිය යුතු දේවල් සිදුවී ඇති බව අපි පිළිගෙන තිබෙනවා. ඒ කාලයේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ඇමතිවරු රට පුරාම විශාල වධකාගාර ප්‍රමාණයක් පවත්වාගෙන ගියා. එකක් තමයි රනිල්ගේ බටලන්ද. රිචඩ් ද සොයිසා, නීතිඥ විජේදාස ලියනාආරච්චි වැනි අය ඝාතනය කිරීම දක්වා මහා අපරාධ ප්‍රමාණයක් සිදු කළා. ඉතිහාසය විකෘති කර ප්‍රශ්න කරනවා වෙනුවට ජේ.ආර්. සහ ප්‍රේමදාස පාලනයෙන් ප්‍රශ්න කරන ලෙස අපිව ප්‍රශ්න කරන අයට අපි කියනවා.

ඉතා දුෂ්කර කොන්දේසි මැද්දෙත් ප්‍රචණ්ඩ නොවී දේශපාලනය කළ හැකි බව 1990 න් පස්සේ අපි ඔප්පු කොට තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ චම්මික සුදන්ත, උද්ඝෝෂණයකදී මාතලේ සිරිදාස සහෝදරයා, අම්බලන්ගොඩ නයිදුවාවඩු සහෝදරයා ඇතුළු සහෝදරවරු ඝාතනය කළා. කටුවනදි ජූලම්පිටියේ අමරේ වෙඩි තියලා රැස්වීමක් සිටි දෙන්නෙක් ඝාතනය කළා. අපි ප්‍රචණ්ඩකාරී වුණේ නැහැ. 88-89 ගැන අපි වෙනම කතා කරමු. අද සතුරන් කලබල වෙලා ඉන්නේ. පරාජයෙන් වියරු වැටිලා. ඒ නිසා ජාතික ජන බලවේගයේ ගමන් මඟ නතර කරන්න උත්සාහ කරමින් ඉන්නේ. අපිට වගකීමක් තිබෙනවා. ඉතිහාසය නිරවුල් කරන්න ඕනෑ. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න ඕනෑ. හොඳ දේවල් ඉතිරි කර ගන්නත්, අයින් කළ යුතු දේවල් අයින් කරන්නත් පුළුවන් එකම දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ පමණයි.

1971 අරගලයේ සහෝදරවරුන්ට හදවතේ විශ්වාසයක් තිබුණා. මේ ජරාජීර්ණ සමාජය වෙනුවට යහපත්, සාධාරණ සමාජයක් ගොඩනඟන්න. සහෝදරත්වය, සාමූහිකත්වය තිබෙන මනුෂ්‍යත්වයෙන් පිරි සමාජයක් ගොඩනඟන්න ඕනකමක් තිබුණා. සටන් කළේ ඒ වෙනුවෙන්. දැන් අවුරුදු 53 කට පස්සේ අපේ රට වෙනස් වෙලා. ඒ සමාජය නිර්මාණය කිරීමේ අවස්ථාව උදාවෙලා තිබෙනවා. ඒ වෙනස් කිරීම කළ හැක්කේ මුළු මහත් ජනතාවත් සමගයි. රටක් වෙනස් කරන්න නායකයෝ කිහිප දෙනෙකුට බැහැ. නායකයෙකුට පක්ෂයකට පුළුවන් නායකත්වය දෙන්න. අද අපි මහා ජනතාවක් සංවිධානය කර, මහා දැවැන්ත දේශපාලන ව්‍යාපාරයක් බවට පත්කරන්න සමත් වෙලා තිබෙනවා. වාමාංශික, ප්‍රගතිශීලී, ප්‍රජාතන්ත්‍රවාදී, දේශප්‍රේමී සියලු බලවේග එකතු කර තිබෙනවා. අපේ සමාජයට අවසාන වශයෙන් විශ්වාස කළ හැකි එකම දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ සහිත ජාතික ජන බලවේගය කියලා සමාජය පිළිඅරගෙන තිබෙනවා. එතනට මේ ව්‍යාපාරය ගේන්න හැකි වුණේ 1971 සහෝදරවරු කළ කැපකිරීම් සහ ඔවුන්ගේ දෘෂ්ටිය මතයි. ඔවුන් විශ්වාස කළා යහපත් සමාජයක් ගොඩනැගිය යුතුයි හා හැකියි යන්න. ඒ සමාජය අප ඉදිරියේ පෙළගැසී තිබෙනවා. වියරු වැටුණු විරුද්ධවාදීන් ඉදිරියටත් තව නොයෙකුත් දේවල් කරන්න පුළුවන්. මේ පැත්තෙන් අවලාද ගහනවා. අනෙක් පැත්තෙන් ජනතාව මිලදී ගැනීමට උත්සාහ ගනිමින් ඉන්නවා.

පාලක කණ්ඩායම්වලට ජනතාව ඉදිරියේ හැමදාම තිබුණේ උත්තර දෙකයි. එක්කෝ මර්දනය නැතිනම් වරදාන දෙන එක. මේ කාලයේ එයාලට බලයක් නැති නිසා මර්දනය අපහසු වෙලා තිබෙනවා. ඒ වගේම අපිව මිලදී ගන්නත් බැහැ. දැන් බඩු බෙදන්න පටන් අරගෙන තිබෙනවා. දරුවන්ට කෑම බෙදන්න පටන්ගෙන තිබෙනවා. මීට මාස කිහිපයකට පෙර කන්න නැති දරුවන් පාසලේ රැස්වීමෙදි කලන්තෙ දාලා වැටුණා. එතනදි පිහිට වුණේ ගුරුවරු. එදා ඒක රනිල්ට පෙණුනේ නැහැ. අපේ රටේ ලොකුම අර්බුදය මේ නිකම් දීපු එක කිව්ව රනිල් අද උත්සව සමයේ හාල් කිලෝ 20 ක් බෙදන්න පටන්ගෙන තියෙනවා. අපට දවස් පහකට කන්න දීලා අවුරුදු පහකට රට කන්න ඉල්ලනවා. අපට ප්‍රතිපත්තිමය දේශපාලනයක් අවශ්‍යයි. දැක්මක් මත, ප්‍රතිපත්ති මත රට වෙනස් කරන්න දේශපාලනයක් අවශ්‍යයි කියලා මුලින්ම උගන්වපු කණ්ඩායම තමයි  1971 සහෝදරවරු. හාල් කිලෝ පහකට අපේ ඡන්දය වෙනස් නොකරන බව අපි සමාජයට කියන්න ඕනෑ. අපි ඉදිරියේ මොනතරම් දුෂ්කරතාවයක්, අභියෝග ආවත් ඉස්සරහා දණ ගහන්නේ නැති පිරිසක් කියන එක සහතික කොට කියනවා. අපි අවලාදවලින් සැලෙන්නේ නැහැ. එංගලන්තේ වින්සටන්ට් චර්චිල් කියා තිබෙනවා “ඔබ ගමනක් යන විට අතරමගදී ඔබට බුරන හැම බල්ලාටම ගලකින් ගහන්න නතර වුණොත් ගමන යන්න වෙන්නෙ නැහැ” කියා. ලෙනින් සහෝදරයා වරෙක “වස්කා නමැති බළලා ඇහුම්කන් දෙයි, එහෙත් දිගටම කාගෙන කාගෙන යයි” කිවුවා. ඒ ගොල්ලෝ මොනතරම් අවලාද නැගුවත්, බාධා මොනතරම් ඇති කළත් මේ සටන අපි ජයග්‍රහණයෙන් තොරව ආපසු හැරෙන්න දෙන්නේ නැති බවට අපි 53 වැනි අප්‍රේල් සමරුවේදී සහතික වෙනවා.

ඔබ, අපි විශාල කාලයක් හීනයක් හිතේ තද කරගෙන ආවා. අපේ දූ දරුවන්ට, මුළු මහත් ජනතාවට සතුටින් ජීවත් වෙන්න සමාජයක් හදන්න. එකිනෙකාගේ දුක දකින, සහකම්පනය තිබෙන, හදවතේ තෙතමනය තිබෙන මිනිස්සු ඉන්න සමාජයක් හදන්න. ශක්තිමත් ආර්ථිකයක් හදලා එහි ප්‍රතිලාභ හැමෝටම බෙදිලා යන සමාජයක් හදන්න. අපේ රට ලෝකයේ ප්‍රබලයෙක් ලෙස සිටින රටක් හදන්න. ඉතා දුෂ්කර, දීර්ඝ ගමනක්  ආවා. රත්න ශ්‍රී කවියා කිවුවා වගේ “ආ ගමන දුෂ්කරයි - විටෙක අපි ඇද වැටුණා සැබැයි - එහෙත් නතරව එතැන - වැලපිය යුතු නොවෙයි - අප යා යුතුයි”  අපි ඒක විශ්වාස කළා. අපි ජයග්‍රහණය පේන මානයට ඇවිත් තිබෙනවා. අපේ රට ලෝකයේ තිබෙන සුන්දරම රට බවට පත්කළ යුතුව තිබෙනවා. ඒ සඳහා 1971 අරගලයේ දිවි පිදූ සහෝදර සහෝදරියන්ගෙන් අත්දැකීම් එකතු කර ගනිමු. ධෛර්යය, ශක්තිය, විශ්වාසය එකතු කර ගනිමු. අරමුණ කෙරෙහි නොසෙල්වී ගමන් කිරීමේ ගුණය අපි එකතු කර ගනිමු. අපි ඔක්කොම එකට වෙළිලා, එක කණ්ඩායමක් හැටියට මේ සටන ජයග්‍රහණය කරමු.