ආර්ථිකඋණුසුම් පුවත්දේශපාලනව්‍යාපාරික

ග්‍රීක බැඳුම්කරෙන් නිදොස් කොට නිදහස ලද කබ්රාල්

අල්ලස් කොමිසම චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගනී - අනෙක් විත්තිකරුවන් ද කොන්දේසි විරහිතව නිදොස් කොට නිදහස් කෙරේ.

ග්‍රීසියේ බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීමෙන් රජයට අලාභයක් සිදු කළේ යැයි චෝදනා නඟමින්  හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කරන ලදි. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා විසිනි. මේ නඩුව කබ්රාල් මහතාට එරෙහිව නඟා තිබුණේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසිනි.

හිටපු මහ බැංකු අධිපතිවරයා මෙන් ම අල්ලස් කොමිසම විසින් චෝදනා නඟන ලද අනෙක් විත්තිකරුවන් තිදෙනා ද මහාධිකරණ විනිසුරුවරයාණන් විසින් නිදොස් කොට නිදහස් කරන ලදි.  මොවුන් තිදෙනා නිදොස් කොට නිදහස් කරන ලද්දේ කොන්දේසි විරහිතව යි.
ආර්ථික අර්බුදයකට මුහුණ පා ග්‍රීසිය  සිටින අවස්ථාවෙක රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් සිදුකරමින් 2011 වසරේ දී බැඳුම්කර බිල්පත් එම රාජ්‍යයෙන් ලබා ගැනීම මොවුන්ට විරුද්ධව නඟා තිබුණි. 

අල්ලස් කොමිසම විසින්ම  නඟා තිබූ චෝදනා පත්‍රය කොමිසම විසින් ම ඉල්ලා අස්කර ගැනීමෙන් පසු මහාධිකරණ විනිසුරුවරයා විසින් හිටපු මහ බැංකු අධිපතිවරයා හා සෙසු විත්තිකරුවන් ද නිදහස් කරනු ලැබිණි.

උක්ත මුදල වන රුපියල් කෝටි 184 ක මුදල මාස තුනක් ඇතුළත කබ්රාල් මහතා විසින් මහ බැංකුව ගිණුමට වන්දියක් සේ තැන්පත් කරන්නැයි  පැමිණිල්ලෙන් කොන්දේසියක් පනවන සේ  අධිකරණයෙන් ඉල්ලීමක් කරන ලදි.

මේ පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් නිවේදනයක් නිකුත් කර ඇති අතර එම නිවේදනය හෙළදිව විසින් වෙනම ම පළ කර ඇත.