උණුසුම් පුවත්විශේෂාංගසංස්කෘතික

ගාල්ලේ ශාන්ත ඇලවිෂියස් විදුහල් ආදි සිසුවකු ගේ අතීත මතක පෙළක්

පාසැලෙන් පිටව ගිය පසු අපි සියල්ලෝම ඇලෝෂියානුවන් වශයෙන් එක්ව බැඳී සිටියෙමු.

ලෝක උරුමයක් වූ ගාල්ල ,
අඩ සියවසකට පෙර ගාල්ලේ ශාන්ත ඇලෝසියස් විදුහල සහ සබැඳුණු අපේ කතාවේ 2 වැනි කොටස. 

                                                                                                                           වැවදෙණියේ අසෝක මෙන්ඩිස් 


අපේ කාලයේ සිසුන්ගේ දඟකාර, රහස් ළමා ලෝකය.
ගරු ජේසු නිකායික ගෞරවනීය පියතුමන්ලා දුක් මහන්සියෙන් ගොඩ නැගූ අප විදුහල 1971 දී රජයට පවරා දීමෙන් පසු අපට ලැබූ සෙනසුරු දසාව.
එම කාලයේදී බෙල්ල කපා දැමූ කුකුළෙකු මෙන් පාලනයක් නොමැතිව ආතක් පාතක් නොමැතිව දිවූ අප විදුහලේ රාහු කාලය.
ඒවාට මැදිවූ අප හා කඩාකප්පල් වූ අපගේ අධ්‍යාපනය.
ඒ අතරේ තිබූ රසවත් අත්දැකීම් සහ මිහිරි මතකයන්

ඒ කාලයේ කොල්ලෙකු වශයෙන් අප දැනගත යුතු කරුණු කිහිපයක් විය.
1. ගස් නැගීමට.
2. පිහිනීමට.
3. සටන් ක්‍රමයක්.
4. සුද්දෙක් සමග වත් ඉංග්‍රීසියෙන් කතා කිරීමට.(ව්‍යාකරණ අවශ්‍ය නැත.)
5. මෝටර් සයිකලයක් පැදවීමට.
පසු කලෙක දී පරිගණක තාක්ෂණය ඇතුළු කරුණු එයට එකතු විය.

මා පිහිනීමට ඉගෙන ගත්තේ පාසැලෙන් කට්ටි පැන ( school cut) කර මුහුදේ ' සී බාත් ' වලට ගොසිනි. ඒ දින වල ' කොටුවේ සී බාත් එකට' සහ ධර්මපාල උද්‍යානය පිටුපස සී බාත් එකට ගියෙමු. ඒ දිනවල එහි ඇති ගලෙන් වටවූ බොක්ක අවට කිසිදු ගොඩනැගිල්ලක් නොතිබුණි. පසුව එහි දකුණු පළාත් සභාව තිබූ ' හිල්ටොප් හෝටලය සහ දැන් අළුතින් තනා ඇති ' ලේ ග්‍රෑන්ඩ් ' හෝටලය ඇත.
එසේම ගාල්ලේ දරුවන්ට පිහිනීමට ඉගැන්වූ පැරණි කොටු දොරකඩ අයිනේ ඇති පැරණි ජැටිය.............

මාලදිවයිනේ සිට සුළුප්පු වලින් පැමිණෙන මාලේ වෙළඳුන් ගොඩ බසින එම පැරණි ජැටිය.
ඔවුන් කර වටා දමාගෙන පැමිණි වියලි කෙසෙල් පතුරු වලින් ඔතනු ලැබූ, කතුරෙන් කපා කොටස් වෙන් කර විකුණන ' බොන්ඩි අළුවා ' හෙවත් 'බොඬ අළුවා ' නමැති රසකැවිලි වර්ගය ( එක කොටසක් රුපියලකි. ඒ කාලයේ රුපියලක් යනු ලොකු මුදලකි.) එය අප ඉතා කැමති රසවත් කෑමක් විය.

ඒ අන්දමින් ළපැටි විය ඉක්මවා සමාජයට නිරාවරණය වූ අපගේ දඟකාර කම් වලද කිසිදු අඩුවක් නොවීය.

ඒ දවස්වල අපගේ මිතුරන් සිගරට් බීමට පුරුදු වූයේ ගෙවල් වලට හොරෙන් චිත්‍රපට බැලීමත් සමගය. එම විවේක කාලයේදී චිත්‍රපට ශාලාවෙන් පිටත සිගරට් දුමෙන් වැසී තිබුණි. එකල සිනමාවේ වීරයින් වූ ප්‍රසිද්ධ නළුවන් නොයෙක් හැඩයට, දුම් වළලු අහසට යවමින් දුම් පානය කළෝය. අපගේ අනාගත පරපුර විනාශ කිරීමට අප නොදැනුවත්වම ඒ කාලයේ මෙවැනි දෑ සිදු විය. එකල සිගරට් වල නම් මතකද?
ත්‍රී රෝසස්
ෆෝ ඒසස්
ගෝල්ඩ් ලීෆ්
බ්‍රිස්ටල්
මැටහෝර්න්
කැප්ස්ටන්
පීකොක්
මයිනා
ලකී සෙවන්

රාජා බීඩි
කමලා බීඩි
ජනතා බීඩි
පෙට්ටි සුරුට්ටු
කළු සුරුට්ටු
දුම් පයිප්ප ආදියත්
මත්පැන් වශයෙන්
' පොල් ගහ යට කොටියා ' නමින් හැඳින්වූ
' ගල් ඔය ස්පෙෂල් ' ද
තිබුණි.

අප විද්‍යාලයේ ද කිසිදා අමතක නොවන ආදරණීය නම් වලින් අමතනු ලැබූ ගුරුවරුන් රැසක් ද සිටියෝය.
ඩයිනා හෙවත් ඩයිනමයිට්.
මයිනා
කොබා
ජුන්ඩා
කේප්පයා
ගෝත්‍රපඩයා
ඩකම්ස්
රෙද්දා
කුඩ රෙද්දා
වල්බුවා (ජබාර් ජී)
මනයා
පප්පා
දඩිබිඩියා
රේන් කෝට්
ඌරු පුකා
බෙට්ටා
බස්සා
තලයා
බොරයා
කබරයා
හොෆ් හොෆ්
ආදී වශයෙනි.

අපගේ ගරු පියතුමන්ලා ට හෝ ගරු පැවිදි සොයුරියන්ටත් කිසිදු විටෙක අප නම් පට බැන්දේ නැත.

ගුරුවරියන්ට පට බැඳි නම් කියනු නොලැබේ.

ඒ කාලයේ අපට ඉගැන්වූ ගුරුවරුන් විසින් තම මට්ටමින් සිසුන් අගය කිරීම් සිදු කරනු ලැබීය.
විශේෂ හොඳ දෙයක් කරනු ලැබූ විට හෝ තමා උගන්වන විෂයට වැඩිම ලකුණු ලබාගත් සිසුවාට අගය කිරීමක් වශයෙන් තම පෞද්ගලික මුදලින් තීන්ත පෑනක් හෝ කුඩා පොතක් පරිත්‍යාග කරනු ලැබීය. එම ත්‍යාගය සුළු වුවත් එය ලබා ගන්නා සිසුවාට එය මහාර්ඝ වස්තුවක් විය. ඉන් පසුව අනෙකුත් සිසුන් ද එය ලබා ගැනීමට උත්සාහ කරයි.
එවැනි හොඳ පුරුදු දැන් අතහැරී ගොස් ඇත. එසේ වූයේ අද පවත්නා ආර්ථික තත්වය නිසා යැයි මට සිතේ.

එසේ වුවද ළමුන් ලවා වේවැල් ගෙන්වා ගෙන මුලින්ම එම ළමයාටම තැලීමේ මූලධර්මය නම් ගුරුවරුන් අතර තවමත් ඇතිදැයි  නොදනිමි.

අපගේ දේවස්ථානය ඉදිරිපස පහළින් ඇති ෆාදර්ලාගේ කෙසෙල් කොරටුවේ තිබූ කෙසෙල් ගස් වැටීම නිසා ඉදුණු කෙසෙල් ගෙඩි කෑම අප අතරේ ජනප්‍රිය ක්‍රියාකාරකමක් විය.
එවැනි දෙයක් සිදු කර ආරංචි වුවත් අපේ පියතුමන්ලා කිසිදු දිනක දඬුවමක් කළ බවක් අසාවත් නොමැත.

අප විද්‍යාලයේ සංස්කෘතියේ වැදගත් අංගයක් තිබුණි. අප 7 වන පන්තියේදී උගත්තේ දේවස්ථානය පිටුපස ගරු පියතුමන්ලාගේ සොහොන් කොත් තිබූ 'CEMETARY BLOCK ' යනුවෙන් හැඳින්වූ ටකරං තහඩු සෙවිලි කළ පන්ති කාමර 3 ක් සහිත ගොඩනැගිල්ලේය.

එය විද්‍යාලයීය ප්‍රධාන ගොඩනැගිලි වලින් වෙන්වූ හුදෙකලා ප්‍රදේශයක විය. අප විද්‍යාලයේ සිසුන් මුහුණට මුහුණ ලා සිදු කරන ද්වන්ද්ව සටන් පැවති පොර පිටිය ( THE AREENA) වූයේ මෙම සොහොන් පිටියයි.

පාසැල නිම වීමෙන් පසු මෙතැනට ( බොහෝ විට 10 පන්තියට පහළ සිසුන්) පැමිණෙන ද්වන්ද්ව සටනට නියමිත සිසුන් දෙදෙනා සහ එය විනිශ්චය කිරීමට එම පන්තියේම අයෙකු පැමිණෙයි......
නරඹන්නන් රවුමට සිට ගනියි......
පිටස්තර කිසිම කෙනෙකුට මෙයට අත දැමීමට නොහැක.
විනිසුරු සංඥා කළ පසු ඔවුන් දෙදෙනාම පහර දී ගනියි.
එක් අයෙකු යටත් වන තුරුම මෙය පවතින අතර ඉන්පසු විනිසුරු විසින් එය නවතයි.
අනතුරුව දෙදෙනාම අතට අත දී ඉවත්ව යන අතර පසු කලෙක හොඳම මිතුරන් වන්නේ ඔවුන්ය.

රංචු වශයෙන් එකතුව එක් අයෙකුට පහර දෙන ම්ලෙච්ඡ සංස්කෘතිය ඒ කාලයේ අප විද්‍යාලයේ නොතිබූ අතර එවැනි සිද්ධීන් වූයේ ද කලාතුරකිනි.
පාසැලෙන් පිටව ගිය පසු අපි  සියල්ලෝම ඇලෝෂියානුවන් වශයෙන් එක්ව බැඳී සිටියෙමු.
' අදටත් එසේම බැඳී සිටින්නෙමු.'