එස්. ජී. පුංචිහේවා ගේ 'අකුණු පහන' කාව්‍ය සංග්‍රහයෙනි
ආශිර්වාදයක්ම වේවා! ලොව සියලු කතුන්ට
සියලු මධුර ස්වරයෝ ඇගේ ගුණ ද්වනි නගත්වා
සියලු රැගුම් ඇය අභිවාදනය පිණිසම වේවා!
මක්නිසා ද, කත - මවක සේ ලෝ බුහුමනද
බිරින්දක සේ පිරිපුන් දිවිය ද
එකමුතු කරන හෙයිනි.
මව මිනිසා මවා, ආයු තෙද බල
මව් කිරෙන් දුනු.
බිරිය සිය අමයුරු තෙපලින්
යසස සැලසූ,
ඇගේ පැතුමන් නිසා
සියලු පිරිපත වැනසේ
සොම්නසේ සැණකෙළි ඕ හට පුත පිණිස නැගේවා!
යෝද පුරුෂ බලය වූව
ඇගේ මුදු මොළකට ලිහිල් වූ විට
එහි පැරදුමක් නැත්මය
කිසි අඩුවෙක්ද නොවේ.
ඇසිපිය පෙමින් බරවිය මොහොතෙක
විවායෙහි මිහිරෙන්
උතුම් කළ යුතු දිවි පැවැතුම්
ගැහැනිය අමෘතයකි; පානය කරමු.
එහි සවියෙන් හිස නො බමවා
අපට ලොව බැ මැවිය හැකියි.
නාද මිහිරට, තාල රසයට
රැඟුමක් පා ලොව අමතක කළ නොහැකි ද?
යළි සක් පිඹිනු, සැණකෙළි දෙලෙන් තුටු වෙමු.
ඇයි? ගැහැනිය ජීවිතයට වඩා
මිහිරි නිසා,
ජීවිතය රකින්නේ ගැහැනියයි.
මවන්නී ද ඕ මැ ය
ඕ ජීවිතයේ ජීවිතය මෙන් මැ
සියලු මාධූර්යයන්හි ආත්මයද වේ.
"සැරදේ උතුම් මවුනි" යි අපි සිරස නමා
අපේ මිහිරි මැ ගී ඇගේ සවනට වත් කරමු.
ඉඟ සුඟ ඇති
කොමළ කුමරියකගේ මෙහෙ පිණිස
අපට දහසක් කඳු තරණය කළ හැකිය.
' මවුනි තුම් ජයවේ'යි බෙර ද්වනි විහිදවා
"මවුනි තුම් ජයවේ' යි බටනලා සර මිහිර වස්වා
තරු දිළෙන දෑස් ඇත්තියකගේ
මෙහෙවර පිණිස
සක්වළ වළල්ලේ සැරියැ හැකිය.
අපට කැවූ පෙවූ ඒ උතුම් අතින් දුන්
ගිනි අඟුරු වුව ගිලියැ නොහැකි ද!
------------------
ගිනි පුපුරක්
ගිනි පුළිඟුවක් දිනෙක මට හමුවී,
සැබැවින් ම, ඒ සිඟිති ගිනි බිජුවට
තැන්පත් කළෙමි වනේ ගස් බෙනයක,
මහ වනයම ද අළු විය!
ඉතින් බලන්න
ගින්නෙහි වැනැසීමේ හැකියාවේ,
'ලොකුය' , 'කුඩාය'
'මහලුය' , ළදරුය'
කියා වෙනසක් වේ ද?

කිවිවරයාණන් ගැන
සුබ්‍රමනියම් 1882 දෙසැම්බර් 11 වන දින මදුරාසි ප්‍රාන්තයේ (වර්තමාන තමිල්නාඩුවේ තූතුකුඩි දිස්ත්‍රික්කය) තිරුනෙල්වේලි දිස්ත්‍රික්කයේ එට්ටයාපුරම් නගරයේ දෙමළ බ්‍රාහ්මණ අයියර් පවුලක චින්නස්වාමි අයියර් සහ ලක්ෂ්මි අම්මාල්ට දාව උපත ලැබීය. ඔහුගේ දෙමාපියන් ඔහුව සුබ්බයියා ලෙස හැඳින්වූහ.
ඔහුට වයස අවුරුදු පහ සපිරෙද්දී ඔහුගේ මව 1887 දී මිය ගියා ය. පියා සහ ඔහුගේ ආච්චි විසින් සුබ්‍රමන්‍ය ඇති දැඩි කරන ලදී.
1882 දෙසැම්බර් 11 උපත ලද ඔහු 1921 සැප්තැම්බර් 11 වැනි දා මිය යන ලදි. ඒ එත්තයාපුරම්, තිරුනෙල්වේලි දිස්ත්‍රික්කය, මදුරාසි ප්‍රෙසිඩන්සි, බ්‍රිතාන්‍ය ඉන්දියාව) (වර්තමාන තූතුකුඩි දිස්ත්‍රික්කය, තමිල්නාඩු, ඉන්දියාව)
භාරතීයර්, සුබ්බයියා, සක්ති දාසන්, මහාකවි, මුණ්ඩසු කවිඤ්ඤර්, වීර කවි යන නාමයන්ගෙන් ජනතාව ඔහු හැඳින්වීමට පෙළඹිණි
තිරුනෙල්වේලි දිස්ත්‍රික්කයේ එත්තයාපුරම් හි උපත (වර්තමාන තූතුකුඩි) 1882 දී භාරතී තිරුනෙල්වේලි හි මූලික අධ්‍යාපනය ලැබීය. පසුව ඔහු වරනාසි හි ටික කලක් ජීවත් වූයේ ය. එහිදී ඔහු හින්දු දේවධර්මය සහ නව භාෂා පිළිබඳව සොයා බැලී ය. ඔහු ස්වදේශමිත්‍රන්, ද හින්දු, බාල භාරත, විජය, චක්‍රවර්තිනී සහ ඉන්දියාව ඇතුළු බොහෝ පුවත්පත්වල මාධ්‍යවේදියෙකු ලෙස සේවය කළේය. ස්වාමි විවේකානන්දගේ ගෝලයෙකු වූ සහෝදරිය නිවේදිතා ඔහුගේ ගුරුවරිය ලෙස ඔහු සැලකුවේ ය.
සුබ්‍රමනියම් ඉංග්‍රීසි සහ ගණිතය හදාරා ඉංජිනේරුවෙකු වීම ඔහුගේ පියා ගේ සිහිනය විය. සංගීතයටත්, කවියටත් ඔහු කුඩා කල සිටම වඩාත් නැඹුරු බවෙක් පෑවේ ය.
1908 දී බ්‍රිතාන්‍ය රජය භාරතී අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළ හෙයින් 1918 දක්වා වසර දහයක් පමණ ප්‍රංශ පාලනය යටතේ පැවති පොන්ඩෙචෙරියේ පිටුවහල්ව ජීවත් වීමට ඔහුට සිදු විය. තිරුවල්ලිකේනි පාර්තසාරතී කෝවිලේදී ඔහුට ඉන්දියානු අලියෙකු විසින් පහර දෙන ලද්දේ ය. ඔහු මාස කිහිපයකට පසු 1921 සැප්තැම්බර් 11 වන දින මිය ගියේ ය.
භාරති භාෂා කිහිපයක් හොඳින් දැන සිටි ලේඛකයෙකි. දෙමළ කෙරෙහි දැඩි ඇල්මක් දැක්වීය. ඔහුගේ කෘති දේශපාලන, සමාජීය සහ අධ්‍යාත්මික තේමාවන් ආවරණය කළේ ය. භාරතී විසින් රචනා කරන ලද ගීත සහ කවි දෙමළ සාහිත්‍යය, සංගීතය සහ දෛනික ජීවිතය තුළ භාවිතා වේ. ඔහුගේ කෘති අතරට පංජලි සබතම්, කන්නන් පාටු, කුයිල් පාටු, පාප පාටු, චින්නන්ච්රියු කිලිය, විනයාගර් නන්මනිමලෙයි සහ පතංජලිගේ යෝග සූත්‍රයේ සහ භගවත් ගීතාවේ දෙමළ පරිවර්තන ඇතුළත් වේ. 1949 දී සාහිත්‍යය ජනසතු කරන ලද පළමු කවියා භාරතී ය.
පරිවර්තක ගැන
1933 මාර්තු 12 වැනිදා මාතර තොටමුණේ දී ඔහු මෙලොව ජන්මලාභය ලැබී ය.

පාසල් ගමන නිමා කිරීමෙන් පසු ඔහු ගුරුවරයකු සේ සමාජයට බටුයේ ය. විදුහල්පතිවරයකු වූයේ ය, ගුරු සංගම් නායකයකු ද විය. ලේඛකයෙකි ඔහු. එමෙන් ම පරිවර්තකයකු ද වෙයි, එස්. ජී. පුවත්පත් කලාවේදියකු මෙන් ම තීරු ලිපි රචකයකු සේ ද ඛල මෙහෙය සුළුපටු නැත්තේ ය. සාහිත්‍ය විචාරකයකු ගේ භූමිකාවට පණ දුන් එස්. ජී. ප්‍රකට මානව අයිතිවාසිකම් ක්‍රියාධරයකු සේ කළ මාහැඟි සේවය කෙතරම් ද?
හේ දක්ෂ නීතිඥවරයකු වන ඔහු ගේ ලිවීමේ කාලව නිබඳවම පණ පොවමින් මේ වන විට ලියා ඇති නේකකාර නිර්මාණ කෘති ගණන 26 කි. අද වන විට ජීවන මංපෙතේ අනූතුන් විය සපුරා සිටින කීර්තිමත් සාහිත්‍යරයකු වන ඔහු 'අකුණු පහන' කාව්‍ය සංග්‍රහයේ පසු පිටුවෙහි සඳහන් කර ඇත්තේ ''සාහිත්‍ය මණ්ඩලයේ සම්මාන උදෙසා සළකා බැලීම පවා සපුරා තහනම් බවයි.

