රෑ මැදියම මත් වූ තොටියෝ
Sex,ලිංගිකත්වය කියන වචනෙ ඇහුනත් ඉකේ ,චිකේයිය කොටින්ම "කක්කි" කියන තත්ත්වයට දාල කතා නොකරම මග අරින්න හදන මාතෘවක් එක්ක, අපි posh විදියට 21st century ඉන්නෙ කියල 15th 16th century වල යල් පැනපු චින්තනයක් එක්ක අපේ ජීවිත කොහොමද බැඳිල තියෙන්නෙ කියන කාරණාව කතා කරනකොට ඒ පිළිබද ලියැවුණු ගීත අතුරින් වඩාත් සාධනීයම සහ දැනෙන වචන ටිකක් ගැන කතාකරන්න හිතුණෙ "ඉන්දිකා උපමාලිගෙ" හඩින් "රජී වෙල්ගමගෙ" වදන් "අරුණ ගුණවර්ධන" ගෙ සංගීතය එක්ක මවන හැගීමාර්ථයන් ඔබත් එක්ක බොදාගන්නයි. ගොඩක් දෙනෙක් අහල නැතුව ඇති මේ ගීතය නම් "රෑ මැදියම මත් වූ තොටියෝ"පෙරදිග ප්‍රාචීන චින්තනය (oriental thinking) එක්ක අපිට උරුම වුණා කියල හිතන කුලෑටි, නොමේරූ ,ලිංගිකත්වය ගැන විවෘතවීමේ බිය "හතේ අපේ පොත" දෙනවට විරුද්ධ වෙන අයගෙ ඉදල අද මේ ප්රස්තුත ගත ගීතයේ අනුභූතිය වුන විවාහයෙන් පසුවත් තම ආසාවන් අසංතෘප්තවීමෙන් පීඩා විඳින අය දක්වාම හැම දෙනාටම පොදු වෙද්දි, ලෝකෙට ම ලිංගිකත්වය ගැන කියල දෙන්න හොදම පොත "කාම සූත්‍ර" ලියවුණේ උක්ත ප්‍රාචීන චින්තනය මුල් බැසගත් ඉන්දියාවේ "වත්ස්‍යායන" (Vathsayana) අතින් නම්.. අද වෙද්දි බොරු සභ්‍යත්වයක් සහ සීමාවන් මවාගෙන තම විවාහක සැමියා හෝ බිරිඳ හෝ එක්කවත් තම අවශ්‍යතා සෘජුව කතා නොකර, විඳවන අය අනන්තවත් හැදෙන්න හේතුව මොකක්ද කියල හොයන්න අවශ්‍යතාවයක් නැද්ද?
"රෑ මැදියම මත් වූ තොටියෝ ඔරු පදින්න මා කැදවන නුඹ විතරක් එතෙරට යන රෑ මැදියම මත්වූ තොටියෝ.."
* රැයේ කාමාශක්ත සැමියා තමන්ව සයනයට කැදෙව්වද ඔහුගේ ආශාවන් සංතෘප්ත වූ වහාම ඇය පිළිබද නොසිතා ඇයව රතිය නම් ගංගාවේ මැද අතරමන් කර දමා ඔහු තනිව එතෙර වෙයි..මෙය අද වන විට බොහෝ කුටුම්භයන් හි වියවුල් ඇතිවීමට මූලික සාධකයක් බවට පත්ව ඇත. සරල පර්යේෂණයන්ට අනුව පුරුෂ සහ ස්ත්‍රී පාර්ශව ආදරය හා ලිංගිකත්වය බලාපොරොත්තු වන ආකාරය විවිධ වේ.. * පුරුෂයන් ප්‍රථමයෙන් කාමය පෙරදැරිවි ස්ත්‍රීන් දෙස බලයි.. ඇගේ රුව,අඟපසඟ ගැන සිතා බලා ඒ අනුව ආදරය සොයයි.. අනතුරුව ඇය තමාගේ බව සනාථවූ විට ආදරය පමණක් ඇයට ලබාදෙයි (මෙහිදී බොහෝවිට පිරිමින්ට ඔයා දැන් ඉස්සර වගේ නෑ ආදරේ නෑ කියන වදන් ඇසීමට සිදුවේ..) * ස්ත්‍රීන් ආදරය, රැකවරණ, ආරක්ෂාව, විශ්වසනීයබව තිබෙන බවට සහතික වූ පසු ලිංගිකත්වය ගැන සිහින දකියි.. ( ස්ත්‍රියට සැබැවින්ම ලිංගිකත්වය අවැසි වෙනවිට පුරුෂයා ඇය තමාගේ පමණක් බව තහවුරු කරගෙන කලින් මෙන් නොමැතිව සාමාන්‍යාකාරයෙන් හැසිරෙයි. එවිට විශාල වෙනසක් ස්ත්‍රියට දැනෙයි) මෙම මානසික වෙනස වටහා ගෙන නියමාකාරයෙන් ජීවිතය විඳීම සැබැවින්ම අත්‍යන්තයෙන්ම සිදුවිය යුතු කරුණයි.
"මාස් වැස්ස ඉවරවෙලා අලුත් වතුර ගලන ගඟේ මල් නෙළුවා මතකද තොටියෝ... ඔරුව පෙරළුනත් ගඟ මැද මාව අරන් නුඹෙ තුරුලට - එතෙරකලා මතකද තොටියෝ.."
* මාස් ශුද්ධිය අහවරවී අලුතින් පැතුම් සමගින් රතිසුව විදිණු ලැබු කාලය බිරිඳගේ සිහියට නැගෙතත් ම ඇගේ පැනය වනුයේ.. ඉස්සර ඒ කාලයේදී මෙලෙස අවසානයට පෙර නවතින්න සිදු වුව ද ඔබ මා මෙලෙස මඟ නොදමා කෙසේ හෝ ගඟෙන් එතෙර කරවූවා අමතක ද යන්නයි...
" රුවල් නගා යන නැව් දැක - සසල වෙලා බැලුවත් නුඹ - නැව් නගින්න හිත නෑ තොටියෝ.. නුඹෙ ඔරුවෙන් යළි දවසක - කුමුදු පිපුණ හද එළියක - එතෙර වන්න ආසයි තොටියෝ...* අවසන් ලෙස පතිනියකගේ සිතේ ඇති වේදනාව සැබැවින් ම පෙන්වන වදන් පෙළ මෙයයි.. සැමියාණෙනි!පෙරදා වගේ උඹේ ඔරුවෙන් මාව සුරාන්තයට රැගෙන නොගියාට දහසක් රුවල් නැව් මගේ ඇස ගැටෙනවා ඒ නැව් වලින් එතෙර වන්නට මට අවකාශ නොමැතිව නොවෙයි.. ඒත් ඒ කිසිම නැවකින් එතෙරවන්නට මගේ හිත ඉඩ දෙන්නෙ නෑ.. තවමත්නු ඹේ ඔරුවේ නැගිල ඉස්සර වගේ හඳ යාමයක එතෙරවන්න මම බලාගෙන ඉන්නවා.. මේ අවසන් පද වල ගැබ්ව ඇත්තේ සැබැවින්ම ලංකාව, ඉන්දියාව වැනි පෙරදිග රටවල කාන්තාවන්ගේ දුක්මුසු යථා අන්දරය නොවේයැ යි කිව හැක්කේ කාහට ද?එබැවින් සාම්ප්‍රදායික කෝණයේ විහිළුවට මුවාවී දිවිය විඳවන්නට නොව විවෘත මනසකින් දිවිය විඳින්නට අප හුරුවිය යුතුම ය.. ගීතයක් අපේ දිවියේ සෑම සියුම් රුහිරු නාලයක් ම සංස්පර්ෂ කරන බවට තවත් ඔබට උදාහරණ දියයුතු නැතැයි සිතමි..