උණුසුම් පුවත්සාහිත්‍යය හා කලාව

ගුණසේන විතානයෝ දිවිසැරිය හමාර කරති

අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේ දී 28 වැනි දා සැඳෑවේ සිදු කෙරේ

කීර්තිධර නවකතාකරුවකු, කෙටිකතා කරුවකු, ළමා කතා කරුවකු මෙන් ම විචාරකයකු ලෙස ද  සාහිත්‍යවේදියකු මෙන් ම ජනතා ලේඛක පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා සේ ද දිගු කලක් හෙළ සාහිත කෙත අස්වද්දමින්, ප්‍රවීණ මෙන් ම අංකුර නිර්මාණ කරුවන්ට අත හිත දෙමින් ඔවුන් හැම අතකින් ම දිරිමත් කළ රාජ්‍ය සම්මානනීය කලාකරුවකු වූ ගුණසේන විතාන මහතා සිය දිවිසැරිය නිමා කරන ලද බව සංවේගයෙන් යුක්තව මෙසේ දැනුම් දෙන්නම් හ.

ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ආසනයේ වඳුරඹ දී, ගුණසේන විතානයෝ ජන්මලාභය ලබන්නේ අදින් හවුරුදු අනූ තුනකට පෙර එනම් 1931 දී ය. ඒ එකොළොස් දෙනකුගෙන් යුත් දූපුතුන්ගෙන් සමන්විත පවුලක දසවැන්නා සේ ය.

ගුණසේන විතාන මහතා සිය පන්හිඳ හසුරුවමින් හෙළදිව් හි සාහිත වංශ කතාවට බොහෝ දේ එක්කළ අති සූර ලේඛකයෙකි. නිර්මාණ කරුවෙකි.පාසල් වියේ පටන් ම ඔහු සතතාභ්‍යාසයේ නියැළෙමින් ස්වතන්ත්‍ර නවකතා, කෙටිකතා, ළමා කෘති බෝ ගණනක් නිර්මාණය කරමින් හෙළ සාහිත කෙත අස්වැද්දීමට මහත් කැපවීමක් කළා පමණක් නොව අපි බෝ ආසාවක් දක්වන සෝවියට් සාහිත්‍යය සිංහල පාඨකයාට හඳුන්වා දෙන්නට ද මහත් කැපවීමක් කළ සාහිත්‍යවේදියෙකි. 

ගුණසේන විතානයෝ බාහිර පන්ති ගුරුවරයකු හැටියටසමාජයට පිවිසෙන්නාහ. ඒ වන විටත් හේ සතුව කදිම පුස්තකාලයක් විය. ඔහු විවාහ වීමෙන් අනතුරුව ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලය අසල නිවසකට පදිංචියට ආවේ ය.

ගුණසේන විතානයන් එවක ලංකා කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වෙන්නේ ය. කොමියුනිස්ට් පක්ෂයේ පුවත්පත වූ මව්බිම හි කර්තෘ මණ්ඩලයට එක්වන ඔහු පසුව ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හටගත් සෝවියට් - චීන මත ගැටුම නිසා එයින් ඉවත්ව එන්. ෂන්මුගදාසන් මහතා ප්‍රමුඛ කණ්ඩායමත් සමඟ වෙන ම ගමනක් අරඹන්නට දායක විය. හේ චීන පිළ විසින් මුද්‍රණය කරන ලද 'කම්කරුවා' පුවත්පතෙ හි ද කර්තෘ මාණ්ඩලිකයකු සේ කටයුතු කළේ ය. සපු කලෙක ෂන්මුගදාසන් මහතා ප්‍රමුඛ පිරිසගෙන් ඉවත් වී යළි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට හෙවත් මහගෙදරට ආවේ ය.

හේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබල සාමාජිකයකු සේ පියවරෙන් පියවර පක්ෂයේ ක්‍රියාකාරකම් හි නිරතවීමෙන් අනතුරුව එහි මධ්‍යම කාරක සභාවටත් අනතුරුව දේශපාලන මණ්ඩල සභිකයකු ලෙසටත් දිගු කලක් කටයුතු කළේ ය.

හේ ශ්‍රී ලංකා නැගෙනහිර ජර්මන් මිත්‍ර සංගමයේ ප්‍රධාන ලේකම්වරයා සේ කරන ලද කාර්යභාරය ද සුලුපටු නොවේ. නැගෙනහිර ජර්මනිය සමඟ බෝ කිට්ටු මිතුදමක් පවත්වා ගෙන ගිය ගුණසේන විතාන සහෝදරයා ඒ ඔස්සේ ලාංකේය සාහිත්‍යධරයන්ට නැගෙනහිර ජර්මනියේ සංචාරය කර එහි ‌නිර්මාණකරුවන් හා අදහස් හුවමාරු කරගන්නට මංපෙත් විවර කර දෙන්නට පුරෝගාමී විය.

එමෙන් ම සෝවියට් දේශය හා ඉතා කිට්ටු ඇසුරක් ඔහු වගා දිගා කරගෙන සෝවියට් දේශයේ ද නැගෙනහිර ජර්මනියේ ද සාහිත්‍යකරුවන් ලේඛකයන්, කලාකරුව් අතර මිත්‍රත්වය ගොඩ නංවාගන්නට හේ කළේ අනගි කාර්යභාරයකි.

ජනතා ලේඛක පෙරමුණ ඔස්සේ ලාංකේය ලොකු කුඩා නිර්මාණකරුවන් නිර්මාණකාරියන්ට ඔවුන්ගේ කුසලතා වැඩි දියුණු කරගන්නට ඉඩහසර පදා දෙමින් ගුණසේන විතාන මහතා හෙළයේ සියලු ජනයා අතර සමගිය සහයෝගය හා අන්‍යොන්‍ය බැඳීම් තර කරන්නට කළ කැපවීම ද එසේ මෙසේ දෙයක් නොවේ.

'යාපනයට පාලමක්' 'අයියා වගේ කෙනෙක්' වැනි කෘති රචනයෙන් ඔහු අපේක්ෂා කළේ සිංහල - දෙමළ ජනයා අතර ශක්තිමත් මිත්‍රත්වයේ පවුරක් බැඳීමට යි. ඒ කෘති දෙක ම රාජ්‍ය සාහිත්‍ය උළෙල් හි දී රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබන්නට තරම් විතාන මහතා ගේ දෘෂ්ටිය හුදෙක් මානුෂීයත්වය පෙරදැරිව ලියන්නට තරම් ශක්ති සම්පන්න නිවහල් මනසකින් ලෝකය දකින්නට දැක්වූ දැඩි උවමනාව නිසා ම ය.

ඔහු අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පිහිටි ග්‍රන්ථ සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා සේ දිගු කලක් කටයුතු කළේ ය.

අප අතරින් වෙන්ව යන සාහිත සූරී ගුණසේන විතානයන් ගේ අවසන් කටයුතු 28 වැනි දා මළහිරු බැස යද්දී කොළඹ බොරැල්ල කනත්තේ දී පොදු සුසාන භූමියේ දී සිදු කෙරේ. අවසන් ගෞරව දැක්වීම සඳහා බොරැල්ල ජයරත්න මල්හලේ 'රෙස්පෙක්ට්' ශාලාවේ තැන්පත් කර ඇති බව සළකන්න.