උණුසුම් පුවත්විදෙස්

ගුවන්යානා ඛේදවාචකයේ මළ සිරුරු 28 ක් සොයා ගනී

ගුවන්තොටුපළේ සියලු පිවිසුම් වසා දමා ඇත

ඇමෙරිකානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් හෙලිකොප්ටරයක ගැටීමෙන් සිදුවූ අනතුරින්  මරුමුවට පත් 67 ගෙන් 28 දෙනකුගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන ඇතැයිඇමෙරිකානු බලධාරීහු පවසති.

එහෙත්  මේ ඛේදවාචකයට  ලක්වූවන් පිළිබඳව මෙතෙක් නිල තොරතුරක් ලැබී නොමැත.

‍සුළං සහිත, අඳුරු තත්ත්වයන් යටතේ වුව ද පොලිස් කිමිදුම්කරුවන්, බෝට්ටු ද යොදා ගෙන, දිවි ගලවා ගත් අය සෙවීම සඳහා ගඟෙ හි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ. ඒ සඳහා  300 ක පමණ පිරිසක් මෙහෙයුම්වල නිරතව සිටිති.

මේ වන විට ගුවන්තොටුපළේ සියලු පිවිසුම් වසා දැමීමට පියවර ගෙන ඇත.

ඇමෙරිකානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් වොෂින්ටන්හි රොනල්ඩ් රේගන් ජාතික ගුවන් තොටුපළ වෙත ළඟා වෙමින් පවතිද්දී බදාදා ඇමෙරිකානු වේලාවෙන් රාත්‍රී 9.00 ට (ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 7.30) පමණ හෙලිකොප්ටරයක ගැටී ඇත.

එය පොටෝමැක් ගඟට කඩා වැටී බවත්, පරීක්ෂා කිරීම හා ගලවා ගැනීමේ බෝට්ටු එම ප්‍රදේශයේ යොදවා ඇති බවත් බලධාරීන් ප්‍රකාශ කරනු ලැබූ බව බීබීසී පුවත් සේවය කියයි.

78 දෙනෙකුට අසුන් ගත හැකි Bombardier CRJ700 ජෙට් යානයක් මෙලෙස අනතුරට ලක්වූ බව ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය පැවසීය.

එම ගුවන් යානය කැන්සාස් ප්‍රාන්තයේ විචිටා සිට පැමිණි 5342 දරන ඇමෙරිකානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් බව ඒජන්සිය පවසයි.

අනතුරට ලක්වූ ඇමෙරිකානු ගුවන් යානය තුළ මගීන් 60 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකු සිටි බව CBS පුවත් සේවය වාර්තා කරයි.

ඇමෙරිකානු ගුවන් සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, කැන්සාස් සිට පැමිණි ගුවන් යානය මෙසේ විපතට පත් වූ බවයි

"හැකි වූ වහා ම අපි තොරතුරු නිකුත් කරනවා," ගුවන් සමාගම පැවසීය.

ගුවන් තොටුපළේ ගුවන්ගත කිරීම් සහ ගොඩබෑම අත්හිටුවා ඇති බව ගුවන් තොටුපළේ X ගිණුමේ සටහනක ලියා තිබේ. මෙම සිද්ධියට හදිසි සේවා කාර්ය මණ්ඩලයන් ප්‍රතිචාර දැක්වීම හේතුවෙනි.

අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වමින් සිටින බව ෆෙඩරල් ගුවන් පරිපාලනය පවසයි.

විවිධ ආයතනවල සහය ඇතිව පොටෝමැක් ගඟේ සෝදිසි කිරීමේ සහ මුදාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ යැ යි බීබීසී සේවය සඳහන් කරයි.

අනතුරට හේතු වූ හෙලිකොප්ටරය පොලිස් දෙපාර්තමේන්තුවට අයත් එකක් නොවන බව ප්‍රදේශය භාර පොලිසිය පැවසීය.