උණුසුම් පුවත්දේශපාලන

ගොවි අම්මා තාත්තලා මාලිමාවට කතිර ගහන එක ස්ථිරයි-

රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යයන අංශයේ මහාචාර්ය සේන නානායක්කාර

අපි මේ රැලියට ආවේ ඔබ සියලු දෙනාට ආදරය සහ මනුෂ්‍යත්වය ප්‍රකාශ කරන්න. මමත් ඔබ වගේම වැව් බැඳි රටේ ඉපදුණු අයෙක්. අපේ ආදරණීය ගොවි අම්මා තාත්තලාගේ ජීවිත ගැන මම අමුතුවෙන් කතා කරන්නේ නැහැ. පස්වන සියවසේ ධාතුසේන රජතුමා ඉදිකළ වාරි කර්මාන්තයෙන් තවමත් රටට සේවය කරනවා. මේ බිමේ ජීවත්වෙන ගොවි අම්මා තාත්තා තමන්ගේ වගකීම සහ යුතුකම ඉහළින්ම ඉටුකරන්න ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදෙයි කියා විශ්වාස කරනවා. සැප්තැම්බර් 21දාට යෙදෙන සුබ මොහොතින් ගොවි අම්මා තාත්තාගේ යුග මෙහෙවර ජාතික ජන බලවේගයට කතිරය ගැසීමෙන් ඉටුකරන බව විශ්වාසයි.

කලාවැව සහ බළලු වැව් දෙකේ තිබූ ඥාතිත්වය ගැන කවි පවා ලියැවී තිබුණා. මනුෂ්‍යත්වයෙන් සපිරි අව්‍යාජ ආදරණීය හැඟීමක් ලබාදෙන ජන ශ්‍රැති නිර්මාණය වී තිබුණා. අද ඔබට එවැනි නිර්මාණ සිදුකළ හැකි නිදහස් සමාජ වාතාවරණයක් ඇතිකර තිබෙනවාද? අපිට අහිමි වී ගිය ඒ ජීවිතය යළි ගොඩනගාගැනීම සඳහා ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවීමේ පුනරුද යුගය ආරම්භ කිරීමට ඔබගේ ඡන්දය ලබාදී ඓතිහාසික වගකීම ඉටුකරමු කියන අනෙක් පණිවිඩය අවධාරණය කරනවා.

ගොවි ජනතාවට සමාජ වටිනාකම් හැදෙන නව කෘෂිකර්මාන්තයක් ඇති කරනවා
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක

ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස් කරන රට අලුත් මාවතකට හරවන පළමු ඡන්දය සැප්තැම්බර් 21 දින එළඹීමට නියමිත වනවා. ඔබ දීර්ඝ කාලයක් ඡන්ද දීලා නායකයන් ගෙනාවා. ආණ්ඩු හැදුවා. රට උඩට ආවාද? රටේ ආර්ථිකය දියුණු වුණාද? සෑම අතින්ම රට පහළට වැටුණා. දශක කිහිපයකට පෙර අපි දකුණු ආසියාවේ ඉදිරියෙන්ම සිටි රටක්. නමුත් මේ පාලක කණ්ඩායමට අපේ රට හදන සැලැස්මක් තිබුනේ නැහැ. අපේ රට පොහොසත් කරන්න, ජනතාව පොහොසත් කරන්න පාලකයන්ට ඕනෑකමක් තිබුණේ නැහැ. ජනතාව දුප්පත් වුණාම ඡන්දෙ කාලෙට හාල් කිලෝ 20ක් දීල, තහඩු ටිකක් දීල, සිල් රෙදි දීලා, රස්සාවක් දීලා ඡන්දෙ ගන්න පුළුවන්. රටේ ජනතාව පොහොසත් වුණොත් ඒගොල්ලන්ගේ දේශපාලනය ඉවර වෙනවා. ජනතාව පොහොසත් වුණොත් දේශපාලකයා පස්සේ යන්නෙ නැහැ. රට වැටුණට ඒගොල්ලන්ගේ පවුල් වැටුණේ නැහැ. ඒ ගොල්ලෝ පොහොසත් වුණේ රස්සාවල් කරලා නොවෙයි; දේශපාලනය කරලා; ධනය පොදි ගහලා. මේ රට මෙච්චර කාලයක් පාලනය කළේ රටේ උඩින් හිටිය අය. සේනානායක බෝතලේ වලව්ව, බණ්ඩාරනායක හොරගොල්ල වලව්ව, ජේ.ආර්.ලා, රනිල්ලා, කොල්ලුපිටිය වලව්ව, රාජපක්ෂලා හම්බන්තොට මැදමුලන. අවුරුදු 76ක් මේ ගොල්ලන් මාරුවෙන් මාරුවට රට පාලනය කළා. ලංකාවේ මුළු දේශපාලනයම පවුල් කිහිපයක් අතේ තියෙන්නේ. ඔවුන් රට වැට්ටුවා.

පාර්ලිමේන්තුවේ නිතරම කියන්නේ ජනතාවට සහනාධාර දෙන එක අපරාධයක් කියලා. මහ බැංකුවේ කෝටි 1100ක් සීනි බදු වංචාව කෝටි 1500ක් පොල්තෙල් බදු වංචාව කෝටි 350යි. වීසා වංචාව ඩොලර් කෝටි 104යි. පාලකයන්ගේ ගජ මිතුරන්ට සල්ලි පොදි ගහගන්න ඉඩ දෙනවා. ඒගොල්ලන්ගේ ආණ්ඩු නිසා. මහජනතාවගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් සොරකම් කරනවා. ජනතාව ගන්න සීනි ටිකට, බෙහෙත් ටිකට, මිලදී ගන්න සෑම බඩුවකටම බද්දක් ගෙවන්න ඕනෑ. අර්ජුන් ඇලෝසියස් අරක්කුවලින් බදු අරගෙන තියෙනවා. ඒත් ආණ්ඩුවට ගෙවලා නැහැ. වයඹ අරක්කු ජොන්ස්ටන්ගේ. ආණ්ඩුවට බදු ගෙවලා නැහැ. දයා ගමගේ මහජන බැංකුවෙන් ණය අරගෙන ගෙවන්නේ නැහැ. ඒවා බොල් ණය හැටියට කපා හරිනවා. කෝටි 50කට වැඩියි. හැබැයි ජනතාවට සහනාධාර දෙන්න බැහැ කියනවා. රනිල් වික්‍රමසිංහ කෝටි 875ක් වෙන්කර ගන්නවා. බාර් ලයිසන් බෙදා ගන්නවා. කෝටි තුන ගානේ විකුණනවා. පෙට්‍රල් ෂෙඩ් ලයිසන් විකුණනවා. මේවා ඒගොල්ලන්ගේ ආණ්ඩු. ජනතාව මාරුවෙන් මාරුවට ඡන්දෙ දුන්නාට, ආණ්ඩු ගෙනාවාට හදලා තියෙන්නේ ඒගොල්ලන්ගේ ආණ්ඩු.

අපේ රටේ එකින් එක පැටලුණු නූල් බෝලයක් වගේ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. අපි ඉතා සංයමයෙන්, වැඩපිළිවෙළක් සහිතව ක්‍රමානුකූලව පියවරෙන් පියවර විසඳිය යුතුයි. මේ රට ලෝකයේ සාර්ථකම රාජ්‍යය බවට පරිවර්තනය කරනවා සහතිකයි. රටක් හදන්න ජනතාවට කන්න දෙන්න ඕනෑ. රනිල්ගේ ආර්ථිකය ප්‍රස්ථාරවලින් උඩට ගිහිල්ලා. ඒත් ජනතාවට කන්න නැහැ; ලෙඩට බෙහෙත් නැහැ; දරුවාට උගන්වන්න විදිහක් නැහැ. සෑම පුරවැසියාටම ආහාර දීමේ වගකීම අපි බාර ගන්නවා. සහනාධාර නරක දෙයක් නොවෙයි. සමහරු කියනවා සහනාධාර ලෝකයේ දියුණු යැයි සම්මත බොහෝ රටවල්වල සහනාධාර දෙනවා. තරුණයෙක් රැකියාවක් ලබාගන්න තත්වයට වර්ධනය වුණාම රස්සාවක් සොයා ගන්නා තෙක් ආණ්ඩුවෙන් දීමනාවක් දෙනවා. සමහර රටවල් කෙනෙක්ගෙ කරමින් ඉන්න රස්සාව අහිමි වුණොත් අලුතින් රස්සාවක් ලැබෙන තෙක් ආණ්ඩුවෙන් දීමනාවක් දෙනවා. සමහර රටවල් අලුතින් විවාහ වූ දෙන්නෙකුට ඉන්න ගෙයක් නැතිනම්, නගර සභාවෙන් ගෙයක් දෙනවා. ආබාධිත දරුවෙක් ගෙවල්වල ඉන්නවා නම්, අම්ම රැකියාවක් කරන්න ඕන නැහැ සම්මත වැටුප අම්මාට ගෙවනවා. ලෝකය එහෙමයි මිනිස්සුන්ව බලා ගන්නේ. කොවිඩ් වසංගත වෙලාවේ ව්‍යාපාර කඩා වැටුණා. ව්‍යාපාරයේ වැඩ කරන අයට ආණ්ඩුවෙන් පඩි ගෙව්වා. ආණ්ඩු ව්‍යාපාර රැකගත්තේ එහෙම. රස්සාවල් අහිමි වුණා. එයා ලැබූ වැටුපට සරිලන වැටුපක් ගෙව්වා. නිවාස කුලිය ගෙව්වා. අපේ ආණ්ඩු මිනිස්සු බලා ගන්න ආණ්ඩු නෙවෙයි. ඒගොල්ලන් හැදෙන ආණ්ඩු.

අපි හදන්නේ මිනිස්සුන්ව බලා ගන්න ආණ්ඩුවක්. පුරවැසියාට කන්න නැතිනම් ආණ්ඩු හදලා වැඩක් නැහැ. දරුවන්ට ආහාර වේල, ගැබිණි මව්වරුන්ට ආහාර, පුරවැසියන්ට තමන්ගේ ආහාර ලබාදෙන ආණ්ඩුවක් තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. ග්‍රාමීය ජනතාවට තමන්ගේ ජීවන රටාවෙන් එළියට එන්න තිබෙන එකම පාර අධ්‍යාපනයයි. අද දෙමව්පියන්ට බරක් වෙලා තිබෙන අධ්‍යාපනය දෙමව්පියන්ගෙන් නිදහස් කරගෙන, රජයේ වගකීමක් බවට පත්කරනවා. දුප්පත්කම කියන්නේ සල්ලි නැතිකම පමණක්ම නොවෙයි. නූගත්කම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, අපරාධවල නියැලීම, දුප්පත්කමේම වෙනත් ඵල විපාකයක්. අපි හදනවා සැලැස්මක්. එක දරුවෙක්වත් පාසලෙන් එළියට වැටෙන්න බැහැ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට නිලධාරීන් දෙන්නෙක් හෝ තුන්දෙනෙක් පත්කර, ඉස්කෝල හත-අටක් බාර දෙනවා. එක දරුවෙක් දවස් තුනක් නොකඩවා පාසලට ආවේ නැතිනම් නිලධාරියා ඒ දරුවාගේ ගෙදර යන්න ඕනෑ. ඒ හේතුව අනුව අවශ්‍ය පියවර ගන්න ඕනෑ. අපි අධ්‍යාපනය අලුත් පරිවර්තනයක් ඇති කරනවා. සෑම වෘත්තියක්ම ගෞරවයට ලක්වෙන, වෘත්තිමයභාවය දෙන වෘත්තියක් කරනවා. වෘත්තිමයභාවය දෙන හොඳ වෘත්තිමය ආයතන ලෝකයේ තිබෙනවා. පුහුණු කරනවා. හැම වෘත්තියකටම හොඳ ආදායම් මාර්ගයක් ඕනෑ.ගොවියා කරදරයක් ලෙස සැලකූ පාලකයින්ගේ යුගය හමාර කරමු- ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා

මේ රටේ දේශපාලනය වෙනස් වී තිබෙන ආකරය පිළිබඳව වැඩිහිටි ගොවි අම්මා තාත්තලාටත් අපි හැමෝටමත් හොඳ අවබෝධයක් තිබෙනවා. රනිල්ලා - රාජපක්ෂලා එකතු වී 2022 මැයි මාසයෙන් පසුව ගෙනගිය පාලනය සම්බන්ධයෙන් දැන් ඔවුන් දෙකට බෙදී, ප්‍රහාර එල්ල කර ගන්නවා. අද මාධ්‍ය සාකච්ඡාවට එක්වූ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් කියා සිටියේ 2022 මැයි මාසයේ 09වැනිදා ගෝල්ෆේස් පිටියේ අරගලකරුවන්ට පහර දෙන්න දියත් කළ කුමන්ත්‍රණයට සමාන කුමන්ත්‍රණයක් 29 වැනිදා සවස පොහොට්ටුවේ පිරිසක් සිදුකළ බවයි. අපේ රටේ ජනතාව මේ කරුණු හොඳින් අවබෝධ කර ගෙන සැප්තැම්බර් 21දා පුනරුද යුගයට මුල පුරමින් අනුර කුමාර සහෝදරයා තෝරා පත්කර ගනිමු. අද වෙන කොට ගොවි බිමේ අසරණ වී සිටි ගොවියාට අවශ්‍ය බීජ, පොහොර, වතුර ලබාදී ශක්තිමත් කිරීමේ වගකීම ජාතික ජන බලවේගය බාර ගන්නවා.

අපේ ආදරණීය අම්මා තාත්තලාගේ වෛද්‍ය වාර්තා තුනක් අරගෙන බැලුවොත් එක් අයෙක් වගුගඩු රෝගයෙන් පෙළෙන, බරපතළ ප්‍රශ්නයක් අනුරාධපුරේ තිබෙනවා. වැව් බැඳි රටේ මිනිසුන්ට පිරිසිදු පානීය ජලය ලබාදෙන්නත් මෙතෙක් සිටි පාලකයන් අසමත් වී තිබෙනවා. මහා රත්තරං පොළොවක් උඩ ඉන්න අපි එළවළු ටික පලතුරු ටික පිටරටින් ගෙන්වන්න පුරුදු වෙලා තිබෙනවා. අපේ ගොවියට බීජ ටික, පොහොර ටික ලබා දීලා, නව තාක්ෂණය හඳුන්වාදී කෘෂිකර්මාන්තයේ පිරිවැය අඩු කර, ගොවියාගේ ආදායම් වැඩි කළ යුතුයි. මේ පාලකයන් ගොවි අම්මා තාත්තා එක්ක ඒ කරුණු සාකච්ඡා නොකර වැව් සොරොව්වෙන් එන වතුර ටිකට මීටරයක් සවි කර, වතුර විකුණන්න සූදානම් වෙනවා. අවුැදු 2400කට වඩා පරණ පණ්ඩුකාභය රජු සැදූ පළමුවැනි වැවේ සිට මහා වාරි කර්මාන්තයකට මුල පුරා ලංකාව වාරි ශිෂ්ටාචාරය සම්බන්ධයෙන් ලෝකයේම අවධානය දිනාගෙන තිබෙනවා. එවැනි බිමක ජීවත් වෙන අනුරාධපුරයේ ගොවි අම්මා තාත්තාගේ නිෂ්පාදන ලෝකයත් සම්බන්ධ කරන්න මේ පාලකයන් කටයුතු කළේ නැහැ.

රනිල් වික්‍රමසිංහලාට ගොවියා තවත් කරදරයක් විතරයි. පසුගිය මැතිවරණ කාලයේ බැසිල් ඇවිත් කීවේ වහින කාලයට වට්ටක්කා ඇට ටිකක් විසිකරලා එන කම්මැලි ගොවියන් අස්වැන්න නෙළන කාලයට ඇවිත් කියනවා වට්ටක්කා ගණන් නැහැ කියලා. එහෙම කියලා ආණ්ඩුවට කරදර කරනවා කිවුවා. ඒ ගොවිතැන ගැන දන්නේ නැතිව කියූ කතා. එවැනි පාලකයන් තමයි වසර 76ක් මේ රට පාලනය කළේ. මේ සියලු තත්වයන් වෙනස් කර ගන්න තව දවස් 45ක විතර කාලයක් අපි හැමෝටම තිබෙනවා. හේනේ කුඹුරේ වැඩකරන ගමන් හමුවෙන හැමදෙනා එක්කම කතා කරමින් පුනරුදයේ ජයග්‍රහණය සඳහා පළමුවැනි පියවර ලෙස ලබන 21දා අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපතිකමට තෝරා පත්කර ගනිමු. ඒ වෙනුවෙන් මහා ජන බලවේගය ගොඩනඟමු.