උණුසුම් පුවත්කාලීනදේශපාලන

ගෝඨා කෙටුකර ගැනීමේ සූදානමක්?

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු ඇමති විමල් වීරවංශ පවසයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන්  කොටුකර ගැනීමේ පැහැදිලි සූදානමක් ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේ ය.

ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරන ලද විශේෂ හමුවකදී  වීරවංශ මහතා ඒ බව පැවසී ය.

 හිටපු බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගන්නා ලද්දේ ගෝඨාභය රාජපක්ෂ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අතුඅඩංගුවට ගැනීමේ අරමුණින් බව සඳහන් කරමින්  හෙතෙම ආණ්ඩුව චෝදනා එල්ල  කළේය.
"දැන් ඊළඟට මේගොල්ලෝ ගන්න තීරණය කරලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්න. ඒකට තමයි සලේ මගින් ඊළඟට පොට පාදා ගන්න හදන්නේ," යනුවෙන් ඔහු සඳහන් කළේය.
සහරාන් හෂීම් වැනි අන්තවාදියෙකු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීම සඳහා සිය ජීවිතය පරිත්‍යාග කරමින් ප්‍රහාරයක් එල්ල කළේය යන්න තර්කානුකූල නොවන "වඳුරු කුණුහරුපයක්" යැ යි ද වීරවංශ මහතා කී ය.
උග්‍ර බෞද්ධයෙකු  වන ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කිරීමට සහරාන්ලා ක්‍රියා කරනු ඇතැයි සිතීම විහිළුවක් බවත් ඔහු සඳහන් කළේ ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ශානි අබේසේකර මහතා ඇතුළු පිරිසක් විසින් බොරු චෝදනා සහ කෘතිම සාක්ෂි යොදා ගනිමින් මෙම නඩු නිර්මාණය කරන බවට ද චෝදනා කළ  වීරවංශ මහතා   
ඕනෑම පුද්ගලයෙකුට විරුද්ධව රචනා ලියා බොරු සාක්ෂි මත අධිකරණය හමුවේ වරදකරුවෙකු කිරීමට තරම් සුවිශේෂී හැකියාවක් ඔවුන් සතු බව ද හෙතෙම පැවසුවේ ඔහු උපහාසාත්මකව බවක් පාමිනි.
යුද්ධයේදී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ සුරේෂ් සලේ මහතා වැනි  බුද්ධි නිලධාරීන් ඉලක්ක කිරීම දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීමේ දේශපාලනික ව්‍යාපෘතියක් යැයි ද විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේ ය.
බුද්ධි අංශ දුර්වල කිරීම ක්‍රියාවලිය හරහා රාජ්‍යයේ ඓතිහාසික බලකනු බිඳ දැමීමට උත්සාහ කරන බවත්, වර්තමානය වන විට කිලිනොච්චිය සහ මුලතිව් වැනි ප්‍රදේශවල යුද හමුදා කඳවුරු පවා ඉවත් කරමින් පවතින බවත් වීරවංශ මහතා පෙන්වා දුන්නේ ය.