වසර මුල අපිට අපේ චර්යා ධර්ම සකසා ගන්න පුළුවන් නම්!!!
ආදරණීයම ඔබට මගේ අලුත් අවුරුදු තෑග්ග....
(ඔබ මට නොවේ ඔබට ආදරේ නම් මෙය කියවන්න. එසේ නම් ඔබ හැබෑම බුද්ධිමතෙක්)
අපි ජීවිතේ ගැන මොහොතක් හිතමු.
ඊයේ මේ අවුරුද්දේ මුල්ම පසොළොස්වක පොහොය.
කොච්චර වාසනාවන්තද අපි.
යහපත් ප්‍රතිපත්තිමය ආරම්භයකින් පටන් ගන්න වසර මුල අපිට අපේ චර්යා ධර්ම සකසා ගන්න පුළුවන් නම්.
ඒ නිසා මේ ලියමන අද ටිකක් වැඩියෙන් දික්වෙයි. හේතුව මගේ කල්‍යාණ මිත්‍රයෙක් එවූ බුද්ධ පාඨයක අපූරු විග්‍රහයක් දැක්වෙන කොටසක් මෙහි ඔබට ඇති නිසා.
එය මගේ ආදරණීයම ඔබට ලැබෙන නව වසරේ තිළිණය කියා හිතනවා නම් මෙය මට එවූ එතුමන්ට සාධාරණය කළා වෙනවා.
ඒ නිසා මෙය මේ ඉරිදාවේ නිදහසේ කියවන්න.
උපුටනය.............
''අවුරුදු 45 ක් පුරා දහස් ගණන් ධර්මය දේශනා කළ බුදුරජාණන් වහන්සේ, පිරිනිවන් පාන්නට මොහොතකට පෙර උන්වහන්සේගේ අවසන් වචන විදියට තෝරාගත්තේ මොකක්ද? "මට වඳින්න" කිව්වද? නෑ. "මාව විශ්වාස කරන්න" කිව්වද? නෑ. උන්වහන්සේ දේශනා කළේ මුළු විශ්වයේම ක්‍රියාකාරීත්වය එක වාක්‍යයකට ගලපලා:
"හන්ද දානි භික්ඛවේ ආමන්තයාමි වෝ - වයධම්මා සංඛාරා, අප්පමාදේන සම්පාදේථ!" "මහණෙනි, මේ සියලු සංස්කාර ධර්මයන් නැසී වැනසී යනවා. එනිසා අප්‍රමාදීව (කෙලෙස් නැසීම විමුක්තිය උදෙසා අවශ්‍ය සියලු දේ - සීල, සමාධි, ප්‍රඥා සහ කුසල් සම්පූර්ණ කරගන්න) ඔබේ ගැලවීම සලසා ගන්න."
ඇයි බුදුන් වහන්සේ අන්තිමට මේකම කිව්වේ?
මේක නිකන්ම අවවාදයක් නෙවෙයි. මේක තමයි විශ්වයේ පරම නියමය.
- විද්‍යාව සොයාගත් "Entropy" සහ බුදුන් දුටු "සංස්කාර" බුදුන් වහන්සේ දේශනා කළේ "සබ්බේ සංඛාරා අනිච්චාති" (සියලු සංස්කාර අනිත්‍යයි) කියලා. මොකක්ද මේ "සංස්කාර" කියන්නේ?
හේතුන් නිසා හටගත් ඕනෑම දෙයක්. ඒ කියන්නේ පරමාණුවේ ඉඳන් මන්දාකිණි දක්වා සියල්ලම. අද භෞතික විද්‍යාවේ "තාප ගතිකයේ දෙවන නියමය" කියන්නේ මොකක්ද? "Entropy always increases." ඒ කියන්නේ විශ්වයේ ඕනෑම පද්ධතියක් පිළිවෙලේ සිට අපිළිවෙලට යනවා. • අලුත් වාහනයක් පරණ වෙනවා මිසක්, පරණ වාහනයක් නිකන්ම අලුත් වෙන්නේ නෑ. • මල් පිපෙනවා, පරවෙනවා. • අපේ ශරීරයේ සෛල (Cells) සෑම තත්පරයකම මැරෙනවා. විද්‍යාව අද කියනවා කවදාහරි දවසක අපේ සූර්යයා නිවී යනවා. එදාට පෘථිවිය අයිස් ගොඩක් වෙනවා. බුදුන් වහන්සේ අවුරුදු 2500කට කලින් දැක්කේ මේ විද්‍යාත්මක සත්‍යයයි. "හටගත් යමක් ඇත්ද - ඒ සියල්ල නැති වී යාමේ ධර්මතාවයට යටත්ව පවතී.
" 02. "දෙවියන්" සදාකාලිකද?
ගොඩක් අය හිතාගෙන ඉන්නේ "අපි මැරුණට දෙවියන්/මැවුම්කරුවන් සදාකාලිකයි" කියලා. මේක තාර්කිකව 100% ක් වැරදියි. ඇයි? යම් කෙනෙක් "ජීවත් වෙනවා" කියන්නේ එයාට "සිතුවිලි" සහ "ක්‍රියාවන්" (Actions) තියෙන්න ඕන.
- සිතුවිල්ලක් පහළ වෙන්නේ "කාලය" හරහා.
- මේ මොහොතේ තිබුණු සිතුවිල්ල ඊළඟ මොහොතේ වෙනස් වෙනවා.
iii. වෙනස් වෙනවා කියන්නේම එතන "නිත්‍ය" බවක් නෑ. බුදු දහමේ අභිධර්මයට අනුව, දිව්‍ය ලෝක හෝ බ්‍රහ්ම ලෝක වල ආයුෂ කොච්චර දිග වුණත්, ඒවා හැදිලා තියෙන්නේ "ශක්තියෙන්". (Energy is strictly subjected to Impermanence.) බැටරියක චාජ් එක බැස්සම ලයිට් එක නිවෙනවා වගේ, පින් ඉවර වුණු දවසට ඕනෑම දෙවියෙක්, ඕනෑම බ්‍රහ්මයෙක් ඒ තත්ත්වයෙන් පහළට වැටෙනවා. "ආරම්භයක් තියෙන ඕනෑම දේකට, අනිවාර්යයෙන්ම අවසානයක් තියෙනවා." ඉතින් දෙවියන්ට උපතක් තිබුණා නම්, විපතක් අනිවාර්යයි. විශ්වයේ කිසිම තැනක "Permanent Seat" එකක් වෙන් කරලා නෑ.
- මොකක්ද මේ "නොපමාව" කරන්න කිව්වේ? •
බලන්න අහස දිහා... අද දිලිසෙන තරු කවදාහරි පුපුරලා යනවා. • බලන්න මහ මුහුද දිහා... කවදාහරි මේ වතුර හිඳිලා යනවා. • බලන්න ඔබේම ඇඟ දිහා... මේ ලස්සන රූපය කවදාහරි පණුවන් කන කුණු ගොඩක් වෙනවා. ඇයි "නොපමාව" කිව්වේ? ඔබ හිතන් ඉන්නේ "හෙටත් මම ජීවත් වෙයි" කියලා. ඒත් බුදු ඇසින් දැක්කා, ඔබේ ඊළඟ හුස්ම පොද ගැරන්ටි නෑ කියලා. ඔබ හෙට මැරුණොත්? ඔබ මේ රැස් කරපු සල්ලි, යාන වාහන, ඉඩම් කෑලි... මේ කිසි දෙයක් මිනී වළට ගෙනියන්න බෑ. ගෙනියන්න පුළුවන් එකම දේ "ඔබ රැස් කරගත් කුසල් සහ ප්‍රඥාව" විතරයි. දැන් ඔබට හිතෙයි "ඔක්කොම විනාශ වෙනවා නම්, ජීවත් වෙලා වැඩක් නෑනේ. බුදු දහම හරිම Negative නේ" කියලා. නෑ! බුදු දහම තමයි ලෝකේ තියෙන එකම Positive & Realistic විසඳුම.
ගෙදරකට ගිනි ගත්තම, "අනේ ගිනි ගන්නවෝ" කියලා අඬන එකද බුද්ධිමත්කම? නැත්නම් "ගිනි ගන්න ගෙදරින් එළියට පනින එකද?"
බුදුන් වහන්සේ "අප්පමාදේන සම්පාදේථ" (නොපමාව මහන්සි වෙන්න) කිව්වේ ඒකයි. මේ ගිනි ගන්න විශ්වයෙන්, විනාශ වෙන පරමාණුවලින් ගැලවෙන්න පුළුවන් එකම තැනක් තියෙනවා. ඒ තමයි "හේතුන්ගෙන් හට නොගත්, ඒ නිසාම විනාශයක් නැති" එකම ස්වභාවය. අපි ඒකට කියනවා "නිර්වාණය".
අවසාන පණිවිඩය: මිතුර, ලෝකයේ අනිත් හැම ශාස්තෘවරයෙක්ම කිව්වේ "මම ලඟට එන්න, මම ගලවන්නම්" කියලා. ඒත් බුදුරජාණන් වහන්සේ පමණයි කිව්වේ:
"ඔබේ ගැලවුම්කරුවා ඔබමයි. මම පාර පෙන්නුවා. දැන්ම ඒ පාරේ යන්න පටන් ගන්න. පමා වෙන්න එපා!" ඔබේ ලස්සන රූපය, ඔබේ කෝටි ගණන් සල්ලි, ඔබේ ආදරණීයයන්... මේ හැමදේම "ණයට ගත්ත" දේවල් විතරයි. කාලය කියන ණය හිමියා (Time) කවදාහරි මේවා ආපහු උදුරගන්නවා. ඒක කාටවත් නවත්වන්න බෑ. ඒ නිසා, පරක්කු වෙන්න එපා...
ලෝකයේ දේවල් අල්ලගන්න පොරකන එක නවත්වලා, මේ ගිනි ගන්න ලෝකෙන් සිත නිදහස් කරගන්න පාර හොයන්න. මොකද බුදුන් වහන්සේ කිව්ව වගේ... "අවසානයේ ඉතුරු වෙන්නේ ඔබ රැස් කරගත් දහම් පමණයි!" ප්‍රමාද නොවන්න! අදම සත්‍යය සොයන්න. උපුටා ගැන්ම අවසන්....
මා ඔබට වරදක් කළා නොවේ ආදරය වැඩි කළා පමණි මා සබඳ.
චම්මින්ද වෙලගෙදර .
04-01-2026.
