උණුසුම් පුවත්සාහිත්‍යය හා කලාව

චම්මින්ද ගේ අලුත් ම නවකතාව ස්වප්නේශ්වර

ජනවාරි 28 මහවැලි කේන්ද්‍රයේ දී ප. ව. 2.30 ට හමුවෙමු

'යායතුන', 'පසංසිතෝ,' 'පැන්කෙණ්ඩියක්,' 'සක්කාරං,' 'සත් පුරුෂ,  'කාල අග්නි 'හා 'සන්තිපරං 'නවකතා හෙළ පාඨකයන්ට පුදන ලද නිර්මාණශීලී සම්මානනීය   ගත්කරු චම්මින්ද වෙලගෙදර විසින් රචිත නවතම කෘතිය 'ස්වප්නේශ්වර' ජනවාරි 28 වැනි දා දොරට වඩී.  ඒ මහවැලි කේන්ද්‍රයේ දී ය. පස්වරු 2. 30 ට පමණ ස්වප්නේශ්වර නවකතාව එළිදැක්වීමේ උලෙළ ඇරඹේ.

පාසල් වියේ පටන් ම සාහිත්‍යයට කලාවකට ඇල්මක් බැල්මක් පෑ චම්මින්ද වෙලගෙදර ලේඛන කලාවට හුරුවෙන්නේ ඇත්ත පත්තරෙනි.

ඇත්ත, ජනදින, ජනවේගය වැනි පුවත්පත්වල විශේෂාංග ලේඛයෙක් වගේම කවි කෙටිකතා ලියමින් පාඨකයන් අතර නමක් දිනා ගන්නටෙ ඔහු ඇත්ත පුවත්පත ආරම්භ වූ   හැටේ දසකයේ මැද බාගයේ පටන් සිය කුසලතා නංවා ගනිමින්   සිය හැකියාව ඔප් නංවා ගන්නට සමත්කම් පෑවේ ය.

ඔහු එදා මෙරට පුවත්පත් පාඨකයින් අතරට ගියේ කලා, නාට්‍ය, සිනමා හා සංස්කෘතික විචාරකයෙක් වශයෙන් බව මතක ය.

විශ්වවිද්‍යාලයේ සිටින අවධියේ දී ඔහු පළකළ "කම්පන" කවි කොළය එදා මේ රටේ මාධ්‍යයන්හි විශේෂ සාකච්ඡාවට බඳුන් වූ කාව්‍ය එකතුවක් විය.

දැනට දිවයිනේ ජීවත්වන සිටින හා මියගිය බොහෝ ප්‍රතිභාපූර්ණ කවීන් රැසකගේ එදා තිඹිරි ගෙය වූයේ  මේ කවි කොළය බව කීවොත් නිවැරදි ය.

මෑත කාලයේ දී ඔහු වඩාත් මෙරට පාඨක හදවත් දිනා ගෙන ඇත්තේ නවකතා,කෙටිකතා හා කවියෙකු වශයෙනි. ඔහු නිර්මාණය කළ නවකතා හා කෙටිකතා රැසක්ම මෙරට රාජ්‍ය හා වෙනත් ප්‍රධාන පෙළේ සම්මානයෙන් පුද ලබා ඇත.

එයින් "සක්කාරං" මේ වෙද්දී සිනමා පටයකට හා රූපමාලා නාටකයක් වශයෙන් ද නිෂ්පාදනය වී ඇත.

 ජාතික රූපවාහිනිය වෙනුවෙන් වාර්තා චිත්‍රපට රාශියක් නිර්මාණය කළ චම්මින්ද වෙලගෙදර  ශ්‍රී ලංකා රූපවාහිනීය සිය දෙවන ජාත්‍යන්තර සම්මානය ලබා ගන්නේ ඔහුගේ 'සදහම් ලියූ පුස්කොළ පොත' ට යි.

නෙතට කඳුළක්, ආවා යහපතැයැ, නාගයා අවදියෙනි ඔහුගේ කෙටිකතා නිර්මාණවලින් කිහිපයෙකි. 

ඉරා අඳුරුපට, යහපාලනය ,වත්මන් බැංකු කටයුතු සහ නව ප්‍රවණතා හා සරසවි පිවිසුම් පෙළ කෙටිකතා විචාරය යන කෘති විවිධ විෂයන් යටතේ ඔහුගෙන් අකුරු කෙරුණු වටිනා කෘතිය කිහිපයකි.