හෙළදිව වෙතින් පිරිනැමෙන උපහාරය යි මේ
මොරකන්ද ගමගේ දොන් නිකුලස් සිරිවර්ධන කවුරුන්දැ යි දන්නෝ සිටිත් ද? සිටියද ඒ අතේ ඇඟිලිවලටත් අඩු පිරිසක් විය හැකි ය. ඔහු අකුරු කළ පාසල් දෙකෙහි ඔහු ගේ පන්තියේ ඉගෙනුම ලද මිතුරන් හා ඔවුනට ඉගැන්වූ ගුරු මාපියවරුන් නම් දන්නවා ඇතැ යි හිතේ. ඒත් ඒ ගුරුවර ගුරුවරියන් ද බොහෝ විට ජීවතුන් අතර නැතැ යි ද හැඟේ. මිතුරන් ද සමහර විට කෙනකු හෝ කීප දෙනකු සිටිත් දැ යි සැක ය. එනයින් බලන කළ මොරකන්ද ගමගේ දොන් නිකුලස් සිරිවර්ධනයාණන් ගැන දන්නෝ නම් සිරිවර්ධන ගේ බිරියත්, දියණියන් හා පුතණුවන් ද, ඔහු ගේ මල්ලිලා හා එකම නංගී වන බව සඳහන් කළොත් එහි ඇති වැරැද්දක් නැත.
මෙනමින් ඔබ ඔහු නොදැන සිටියත්, ඔහු පොදු ජනයා අතර භාවිතා වන නම යාන්තමින් ඇසුණත් හේ කවුරුන්දැ යි හොඳින් ම දනී.
මොරකන්ද ගමගේ දොන් නිකුලස් සිරිවර්ධන නමින් උප්පැන්න සහතිකේ මාපිය දෙන්නා විසින් ලියවන ලද නමක් වූවත්, රට ම ඔහු හැඳින සිටින්නේ දෙනගම සිරිවර්ධන..... යනුවෙනි. සමාජ භාවිතාවේ එහෙම ඔහු හැඳින් වෙන්නේ ඔහු බොහොම තුරුණු වියේ පටන් ම හඳුන්වා ගන්නා ලද නාමය දෙනගම සිරිවර්ධන ලෙසට සමාජගත වීම නිසාවෙනි. දෙනගම සිරිවර්ධන ...... නැතිනම් දෙනගම!
දෙනගම නම් ගම් පියසට බෝ අගයක් වටිනාකමක් එක් කළෝ අන් කවරකුවත් නොවේ. ඔහුම ය. දෙනගම සිරිවර්ධන ම ය. එය නිබොරුවක් නොවේ.
දෙනගම සිරිවර්ධන අද වන විට සිය ජීවන ගමනේ අසූවැනි හවුරුද්ද ගෙවා අසූ එක්වැනි වියට පා නඟා සිටියි. හරියට ම කියනවා නම් හවුරුදු අසූවකුත් සිව් මසක් වයැසැති දෙනගම රාජ්‍ය සම්මාන කීප විටක් ම ලද්දේ ය. ඔහු විදෙස් අගැයීම්වලින් ද පුදන ලද්දේ සිය පෑන අවියක් කරගෙන දක්වන ලද සිල්ප නිසාවෙනි.
ඒ සම්මාන, ගරු බුහුමන් ලබන්නට තරම් හේ වාසනාවන්ත ලේඛකයකු වූයේ කෙසේ ද?
දෙනගම සිරිවර්ධන සගයා ජන්මලාබය ලබන්නේ 1945 නවම් මහේ 19 වැනිදා ය. ඒ මාතර දිසාවේ හක්මන ඡන්ද කොට්ඨාසයේ, නැත්නම් හක්මන ප්‍රාදේශීය ලේකම් වසමේ වේපතඉර වැයික්කියේ ඉපිටවත්තේ දී ය.
මොරකන්ද ගමගේ දොන් නිකුලස් ජිනදාස හා කරුණාවතී හෙට්ටිආරච්චි යන මාපිය දෙපොළට දාව සිරිවර්ධන සගයා උපදින්නේ කුළුඳුල් දරුවා ලෙස යි. දූ පුතුන් හය දෙනකුගෙන් යුත් හෙවත් මල්ලිලා හතර දෙනකු හා එක් නැගණියක ගේ වැඩිමල් සොවුරා සේ මෙලොවට ජනිත ඔහු, ජිනදාස පවුලේ ලොක්කා විය.
දෙස් විදෙස් සම්මාන රැසකට පාත්‍ර දෙනගම සිරිවර්ධනයෝ මේ වන විට ලියා ඇති නිර්මාණ කෘති ගණන 176 කි. එයින් කෘති විසි දෙකක් දෙමළ පාඨකයා අතට පත් කර ඇත්තේ ය. ඉංග්‍රිසි බසට පෙරලා ඇති නිර්මාණ සංඛ්‍යාව 15 කි. සියල්ල කිරා මැන බලන කළ, නිර්මාණ කෘති ගණනින් 202 කි.
මේ සා හැකියාවක් ඔහු ලබා ගත්තේ සතසාභ්‍යාසයේ නිරන්තරව යෙදීමෙනි. ඔහු ඒ සඳහා පන්නරය ලබා ගත්තේ 1980 ජූලි මහා වැඩවර්නය නිසාවෙන් යැ යි මා සඳහන් කළොත්....
ඔව්... හේ 1980 ජූලි 18 වැනිදා ලාංකේය සංවිධානාත්මක වැඩකරන පන්තිය හෙවත් වෘත්තීය සමිති අති බහුතරයක් ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය විසින් දියත් කළ ජාතික මහා වැඩවර්ජනයේ බෝ ක්‍රියාකාරී සෙබළකු සේ දෙනගම සටන් බිමට පිවිසියේ එදා රට කරවන ලද (අ)ධාර්මිෂ්ඨ පාලකයන්ගේ දුර්දාන්ත පාලනය විසින් පොදු මහත් ජනතාව මත පටවන ලද අනේකාකාර පීඩාවන් දරාගත නොහැකිවීම නිසා වැඩවර්නය නම් අවිය අතට ගැනීමේ යුක්තිගරුක අයිතිය වෙනුවෙනි.
දෙනගම ඒ වන විට ගුරුවරයකු සේ සොළොස් වසරක ගුරුසේවාවේ අත්දැකීම් ලැබ සිටියෙකි. දහඅට වැනි වියේ දී ගුරු වෘත්තියට ඔහු පිවිසෙන්නේ 1964 දී ය. 1977 දී ධාර්මිෂ්ඨ පාලකයින් ජනතාවගේ ඡන්ද පික්පොකැට් ගසා 5/6 ක තරම් අසීමිත බලයක් දරාගෙන උත්සාහ කළේ රාජ්‍ය සේවාව දුර්මුඛ කිරීමට යි. ඒ බටහිරයන්ගේ ඇවැසිකමක් සපුරාලීමේ කොන්ත්‍රාත්තුව මත ය. පාලකයින් මේ දුෂ්ට චේතනාවෙන් නිබඳව ම කටයුතු කරද්දී, ඔහුනට හරස්වූවෝ වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ ය. නරුම පාලකයෝ සිය 5/6 බලවත් ගල්රෝලට යටකර ඒ මහා වර්ජනය චප්ප කළේ වර්ජකයින් රැකියාවලින් දොට්ට දමමිනි. ඒ වන විට රුපියල් 7. 50 ක් ව පැවති ඇමරිකානු ඩොලරයක අගය රුපියල් 12. 50 ක් දක්වා ඉහළ දමා අපේ රුපියල අහසේ පාවෙන්නට සැලස්වීමෙන් පාරිභෝගික භාණ්ඩ මිල ගුවන්ගත වීම දරා ගැනීමට නොහැකි නිසා, දිනෙක වැටුප රුපියල් 10 කින් වැඩි කරන්නැ යි වෘත්තීය සමිති විසින් පාලකයින්ගෙන් ඉල්ලීම් කළ ද ඊට බීරි අලියන් සේ, බොරුවට නිදි කිරා වැටුණු ධාර්මිෂ්ඨ පාලනයක් රටේ ස්ථාපිත කරනා බවට දුන් පොරොන්දුවට පවා පයින් ඒකාධිපති සළුපිළි හැඳගත්හ. වර්ජකයින්ට රුපියල් දහයක් පඩිපතට එකතු නොකොට ඔවුන් රස්සාවලින් පන්නා දමන ලද පාලකයෝ උහුගේ පඩිපත ඉහළ දමා භුක්ති විඳීමට තරම් අමනයෝ වූ බව මේ සටහනට එක්කළ යුතු ම බව සඳහන් කළ යුත්තේ ම ය.
ඔහු ගුරුවරයකු සේවය කළ ඒ දහසය හවුරුද්දක් පුරා තමන්ගෙන් අකුරු කළ දරු දැරියනට හේ කළේ සිප්හතර පෙවීම ය. හේ තමන් දත් දේ පොවන්නට නිබඳවම කැප වුණේ ය. එහෙයින් ඒ සිසු සිසුවියෝ ඔහුට බෝ ළෙන්ගතු වූහ.
වැඩවර්ජනයේ හේතුවෙන් රැකියාව අහිමි ව බෝ අසීරුතා මැද දෙනගම කල්ගත කරද්දී ඒ දරු දැරියෝ ඔවුනට හැකි අයුරින් උදව් කරන්නට පෙරට ආහ.
දෙනගම ගුරුවරයකු සේ සමාජයට පිවිසෙන්නේ පනන්‌ෙවල රජයේ විදුහලෙන් හෝඩිය කියවා දිනෙන් දින උස් මහත් වෙමිනි. එසමයේ වෘත්තියෙන් ගොවිකම කළ ජිනදාස උන්නැහේ හෙවත් මහදෙනගමයෝ සිය පුතණුවන්ට ඇහෙන්නට සැළලිහිණියෙත්, ගුත්තිලයෙත් කවි ඉතා ළයාන්විතව රිද්මයට ගායනා කළෝ ය. ඒ කාව්‍ය ගායනය ඔහු නිතර නිතර කළ හෙයින් සිරිවර්ධන පැටි සන්දියේ පටන් ම පියා අනුව යෙමින් කවි සීපද කියන්නට හුරු වුණේ ය.
තාත්තා නිතර නිතර කරන කවි ගායනා නිසාවෙන් ම කවියට පෙම්බැඳි සිරිවර්ධන සිසු ගැටයා, හයේ පන්තියේ දී කවියක් ලිව්වේ ය. පන්තිය භාර ගුරු උත්තමයා, සිරිවර්ධන සිසුවාගේ කවියත් සිසුවාත් අවමානයට ලක් කළේ ය. පනන්‌ෙවල ඉස්කෝලෙට ආයුබෝවන් කී දෙනගම ඊළඟට හක්මන මෙතෝදිස්ත විදුහලෙන් අකුරු කිරීම ඇරඹී ය. ඒ සිද්ධියෙන් දෙහවුරුද්දකට පසුව යි.
ඔහු හක්මන මෙතෝදිස්ත විදුහලට ඇතුළත් වීමෙන් පසු පාසලේ බිත්ති පුවත්පතට කවි ලිවීම යළි ඇරඹී ය.
මෙතෝදිස්ත විදුහල්පති පරණමාන මහතා ය. හේ හොඳ සාහිත්‍ය ප්‍රේමියෙකි. ඔහු ගේ බිරිඳ අනුලා පරණමාන්න මහත්මිය යි. පරණමාන විදුහල්පතිවරයා හොඳ කොමියුනිස්ට්වාදියෙකි. බිරින්දෑ ද එමග ම පා නඟනා මාතාවකි.
අටවැනි ප්‍රමාණයේ දී නැත්නම් අටවැනි පන්තියේ දී සිරිවර්ධන සිසුවාට අනුලා පරණමාන ගුරුතුමිය විෂය නිර්දේශ මෙන් ම පරිබාහිරව මාක්ස් ලෙනින්වාදී දැනුම ද කිරිකර පෙව්වා ය.
මෙතෝදිස්ත විදුහලේ නිවාසාන්තර විවාදයක් සංවිධානය කෙරුණි. “ ලංකාව සරුකළ හැක්කේ එ.ජා.ප.යට ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද, ලංකා කොමියුනිස්ට පක්ෂයටද? .”
ලංකා කොමියුනිස්ට පක්ෂයටය යන කණ්ඩායමට දෙනගම ද ඇතුළත් විය. කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් පෙනී සිටින දෙනගම සිසුවා ඒ සඳහා ඇවැසි තොරතුරු රැස් කරගන්නට, ගුණෙස්න ඉමදුව සගයා කැටිව කොමියුනිස්ට්ට වාදී උගතුන් හමුවුණි. ඔවුන්ගේ අදහස් සිරිවර්ධනගේ ළමා හිතට තදින් කා වැදුණි.
යුක්ති සහගත සමාජයක සැබෑ ගුරුවරුන් ෙලස මාක්ස්, ද ෙලනින් ද, මාඕ ෙස්තුං ද ළපටි සිසුවා ගේ සිත් ඇද බැඳ ගත්තේ ය.
යොවුන් සිරිවර්ධන වයස 18 වෙද්දී ගුරුවෘත්තිය සිය ජීවන ගමන් මඟ සේ තෝරා ගත්තේ ය. දෙනගම ගේ ලියන ලද පැදියක් මුල්වරට පුවත්පතක දකින්නට හැකිවන්නේ ද 1964 දී ය. ඒ ''ගීතාංජලී" කවි පත්තරෙනි. එය එදවස දවස නිවසින් පළ කෙරුණු කවි පත්තරය යි.
කවියට පමණක් නොව කෙටිකතාවට ද දෙනගම ගජ හපනෙකි. ඔහු තුරුණ සන්ධියේ දිගට හරහට දවස, සවස, රිවිරැස, සිළුමිණ, ලංකාදීප, මිහිර, නවයුගය, ටිකිරි, වනිතා විත්ති මේ ඈ හැම පුවත්පතකට ම කවිය ද කෙටිකතාව ද ලීවේ සිය කුසලතා වැඩි වැඩියෙන් ඔප්නංවා ගනිමින් රටේ චිරප්‍රසිද්ධ නිර්මාණකරුවකු බව මොනවට කියා පාමිනි. මේ මොනවා කළත් ඔහු ගමේ කවිකාරයින් එක්ක අත්වැල් අල්ලා ගන්නට අමතක කළේ නැති තරුණයකු විය.
හක්මන තිලක් සමරසිංහ ගේ 'රස ගංගා' සඟරාව ද සිය කවියකින් සරසන්නට ඔහු තත්පර විය.
ගුරුවරයකු සේ වෘත්තීය ජීවිතය වඩාත් මැනවින් හැඩගස්වා ගන්නට බලපිටිය ගුරු ඇබෑසි විදුහල සිරිවර්ධන යොවුන් ගුරුවරයාට බොහෝ ඉවහල් විය. එහි නියෝජ්‍ය විදුහල්පති කේ. ජී. කේ. වේදහිත මහතා ගේ සබඳතායෙන් ඔහු නොදැනුවත්ව ම මුනිදස් කුමරතුඟුවන් ගේ බසට ආදරය කරන්නකු වී එහි ප්‍රතිඵලයක් සේ හෙළ හවුලට ද බැඳෙන්නට තරම් හෙළබස බලවත් විය.
දෙනගම සිරිවර්ධන ගුරු පුහුණුව නිමාවීමෙන් පසු සේවයට යොමු කරන ලද්දේ අම්පාර දිස්ත්‍රික්කයට යි. පියසේන කහඳගමගේ නම් අතිජාත මිතුරා ඔහුට මුලිච්චි වෙන්නේ එහිදී ය. ඒ වළගම්පුර විදුහලෙහි දී ය. ඒ වන විටත් පියසේන කහඳගමගේ හෙවත් කග අම්පාර දිස්ත්‍රික්කයේ ගුරුසංගම් නයුවෙකි. දැන් දෙනගම ද කග හා බැඳී ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ ක්‍රියාකාරිකයකු බවට පත්වී හමාර ය.
1970 වසරේ දෙනගම සිරිවර්ධනයාණන්ට තවත් සුවිශේෂිත චරිතයක ඇසුර ලබන්නට වරම් ලැබෙන්නේ ය. ඒ මානව දයාවෙන් පිරිණු ගුණයෙන් අගතැන්පත් එස්. ජී. පුංචිහේවා දිසාපාමොක්වරයා යි. එස්. ජී. ගේ ඇසුරින් දෙනගම ගේ දෘෂ්ටි පථය තව තවත් පුළුල් කර ගන්නට හේතු වාසනා වූ බව ඉතා පැහැදිලි ය.
කලාව පිළිබඳ ප්‍රගතිශීලී සමාජ දෘෂ්ඨියකින් පිරිපුන් එස්. ජී. ගේ ළබැඳි ඇසුර ජනතා ප්‍රගතිය උදෙසා පාදක කරගත් නිර්මාණකරණයකට දෙනගමට බලකරන්නට විය. ඒ හැඟීම් දැනීම් දැන් දෙනගම නම් මේ නිර්මාණකරුවා වෙතින් ගෙත්තම් වීම ඇරඹිණි.
ඕන් ඔය අතරේ ඔහු විප්ලවවාදී සංවිධානයකට එකතු වන්නේ ය. ඒ 'පෙරදිග සුළඟ' ට ය. පෙරදිග සුළඟ හි සාහිත්‍ය සඟරාවේ නිර්මාණ කටයුතුවලට දායක වෙමින් ඔහු ගොවි ජනයා ගේ මෙන් ම ධීවර හා කම්කරු ජනතාව වෙනුවෙන් පෑන හසුරුවමින් සිටිය දී 1972 වසරේ කිසියම් දිනෙක පුද්ගලයින් දෙදෙනකු ඔහු ගැන ඉව කරමින් පසුපසින් හඹාවිත් ඩැහැගෙන යන්නේ බොරැල්ල පොලිසියට යි.
''අනේ මගේ නඩුව අසනු" නමින් දෙනගම සිරිවර්ධන නම් කවියා සිය කුළුදුල් කාව්‍ය සංග්‍රහය එළි දක්වන්නට තරම් වාසනාවන්තයකු වෙයි. ඒ 1976 හවුරුද්දේ දී ය.
එදා මෙදා තුර දෙනගම සිරිවර්ධන සිය අතදරා ඇති පන්හිඳෙන් කළ විස්කම් බෝ ය. ඊට ඉඩ හසර පෑදුණේ දයාසේන ගුණසිංහයන් ගේ ඇසුර ලැබීමෙන් ද?
අසූවේ වර්ජකයකු සේ දෙවසරක් ම රැකියාව අහිමිව හුන් කාලයේ දී අනේකාකාර දුක් කම්කටොලු විඳිමින් සිය කුඩුම්බ රක්ෂණයට ඔහු කළ කී දෑ අතර ඈත රුහුණේ ගොවිබිම්වල පොළොව එක්ක හරි හරියට පොරබදනා ගොවියන්, මෙන් ම ධීවරයින් ගේ ද දුක් අඳෝනා කැටි කර රටට කියන්නට ඔහු සැතපුම් ගණන් ගෑටූ හැටි අපට මතක ය. පාලන තන්ත්‍රයේ නේකාකාර නිලධාරීන් ගේ නපුරුකම් නිසා පීඩාවට පත් රජයේ සේවකයින් ගේ වද වේදනා දිවයින ඉරිදා සංග්‍රහය ඔස්සේ පාලකයින්ට කියන්නට පොදු ජනතාව දැනුවත් කරන්නට ඔහු කළ කැපකිරීම් බෝ ය.
ගුරුවරයකු වූ දෙනගම පොළවල් ගානේ ගොස් සහල් විකුණූ අයුරු දන්නෝ දනිති. ඔහු හා බිරිය විඳි වද වේදනා දුටු සමහර සිසු දරු දැරියන් ඔවුනගේ උදව් සැපයූ අයුරු වෙනම ම ලිවිය යුතු කතාවකි. දරුවන් ගේ ඒ යහගුණ අගැයමින් දෙනගම රටට ලෝකයාට කියන්නට 'ගුරු පඩුරු' නමින් යොවුන් නවකතාවක් ලියුවේ ය.
ඔහු පළමු වරට රාජ්‍ය සාහිත්‍ය උලෙළේ දී රාජ්‍ය සම්මානයට පාත්‍රවන්නේ 'ගුරු පඬුරු' කෘතිය ඔස්සේ දරුවන් ගේ මෙහෙය ඇගැයීමේ සද්කාර්යයට කෘතගුණ දැක්වීමෙනි.
දෙනගම ගුරුවරයෙකි. ඔහු ගුරුවරයකු සේ පාලකයන් ගෙන් හොඳහැටි බැටකෑ අයුරු අප මතකයට නැඟේ. පළමුව සිසු සිසුවියනට ඉගැන්වූ ඔහු නිර්මාණකරණයේ නියැළෙමින් සමස්ත සමාජය ම හෙළ ජන සමාජය ම ඥානනය කරන්නට මේ දක්වා ම ඇප කැප වී සිටින්නේ ඔහු අර අනුලා පරණමාන මහත්මියගෙන් ද, ඇගේ සැමියා පරණමාන මහතා ගෙන් ද අපේ දෙටු සකි නීතිඥ එස්. ජී. පුංචිහේවා ගත්කරුවාණන්ගෙන් ද ලද ආභාසය, ළතෙත් හදවතින් යුතුව අඩු නැතිව උරා ගන්නට සමාජයට ඉඩ හසර පාදා දෙමිනි.
ඔහු ලද ජාත්‍යන්තර ඇගැයීම් ලාංකේය නිර්මාණකරුවනට, නිර්මාණ කුසලතාවෙන් යුතු අංකුර ලේඛකයනට කියා දෙන පාඩම් බොහෝ ය.
ලේඛකයකු, ගුරුවරයකු, පත්තරකාරයකු හැටියට දෙනගම දක්වන ලද හැකියාව කෙතෙක් ද? ගුරු සේවයට සමුදුන් පසු ඉරිදා දිවයින සංග්‍රහයට කුරුටුගෑම වෙනුවට විදුසර විද්‍යා සංග්‍රහයේ උප කතුකමක් දැරී ය. හය වසරකට පසු දිවයින පත්තරෙන් සමුගන්නා දෙනගම සගයා 1995 පටන් වසරක් පුරා ලේක් හවුස් ආයතනයේ 'මහවැලි දියවර' හි නියෝජ්‍ය කතුතම ද ඊට හවුරුද්දකට පසු සිළුමිණ පත්තරේ නියෝජ්‍ය කතුවරයා සේ ද 2006 දී එහි සිංහල ප්‍රකාශන ගොන්නෙහි උපදේශක ධූරය ද දරන්නේ ය.
ඔහු ලේඛකයකු සේ මොන තරම් සමත්කම් රටට පෙන්වා ඇද්ද? ලියන ලද පොත් ලැයිස්තුව බෝ දිග ය. ඒවා අතර බෝසත් කතා පොත් 100 ක් රටට දායාද කරන්නට දෙනගම කැප වූ අයුරු....
ඉදින්...
මෙවන් මිනිසකු, නිර්මාණකරුවකු, අසූ වැනි විය ඉක්මවා ගතේ හා හිතේ දිරියෙන් විවේක බුද්ධියෙන් පිරුණු මනසින් තව තවත් සතතාභ්‍යයේ නිරත වීම කෙසේ නම් අගය කරන්න ද?
හෙළදිව අපිදු මේ වියත් මිනිසාට නිර්මාණකරුවාට, ළතෙත් හදක් ඇති සොඳුරු ලේඛකයාට සුබ පතන්නෙම්හ.
මේ සටහන එළඹෙන 7 වැනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී එළිදැක්වෙන 'දෙනගම වත' නම් ස්වයං චරිතාපදානය උණුසුම් සුබ පැතුම්!
චිරං ජයතු!!