රටක් ලෙස අවස්ථාවන් රාශියක් අහිමි කර ගත් රටක් මේ
මෑත කාලයේ අප රට වචන කිහිපයකින් විග්‍රහ කරන්න උත්සාහ කළහොත් වඩාත්ම සුදුසු ක්‍රමය වන්නේ රටක් ලෙස අවස්ථාවන් රාශියක් අහිමි කර ගත් රටක් ලෙස බවත් අප රටේ කරදිය හා මිරිදිය යන ධීවර කර්මාන්තය දළ දේශීය නිෂ්පාදිතයට ලබා දෙන්නේ 1.2% ක් වැනි දායකත්වයක් බවත් රට වටේම මුහුදක් සහිත ජාත්‍යන්තර මුහුදු නීතියට අනුව වෙරළ තීරයේ සිට නාවුක සැතපුම් 200 ක් එනම් කි.මි. 370 ක් අප රටට අයිති බවත් එය වර්ග කි.මි. පන්ලක්ෂ දසදහසක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඡන්ද කාලයක් එන විට ලස්සන වචන කියමින් Blue Economy, නීල ආර්ථිකය ගැන කියමින් සිටියත් මේ මුහුදු සම්පත තිරසරව උපයෝගී කර ගෙන අප රටේ ආර්ථික වර්ධනය ඉහළ දැමීමට නොහැකි වී ඇති බවත් රට වටේම මුහුද තිබිලත් ඉන් ප්‍රයෝජන ලබා ගැනීමට නොහැකි වීම ගැන ලැජ්ඡා විය යුතු බවත් අප තවමත් මත්ස්‍ය ආහාර අවශ්‍යතාවෙන් සුරක්ෂිත වී නොමැති බවත් අදටත් විවිධ මාළු වර්ග ආනයනය කරනා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (29) ගම්පහ මීගමුව කැපුම්ගොඩ ශාන්ත අන්තෝනි කණිෂ්ඨ ද්විතීයික විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 208 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා වන පහසුකම් ලබා ගැනීමට පාසලේ සංවර්ධන කටයුතු සඳහා පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාගේ පියා වන හිටපු අමාත්‍ය දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ 11 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන මෙම වැඩසටහන පවත්වන ලදී.
අප කළ යුත්තේ මත්ස්‍ය සම්පතින් රටම සුපෝෂිත කරමින් මත්ස්‍ය සම්පත අපනයනය කිරීම වුවත් මුහුදෙන් වටවූ අප රට ඒ අවස්ථාව අහිමි කර ගෙන ඇති බවත් කරදිය පමණක් නොව මිරිදිය මත්ස්‍ය කර්මාන්තයත් දියුණු කළ හැකි අවස්ථා බොහෝමයක් පැහැර හැර ඇති බැවින් සමගි ජන බලවේග රජයක් තුළ නීල ආර්ථික ප්‍රතිපත්තිය මහපොළොවේ සත්‍යයක් යථාර්ථයක් බවට පත් කර නව තාක්ෂණය උපයෝගී කර ගෙන රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව වැඩසටහන හරහා තිරසර ආකාරයට රටේ සෞභාග්‍ය උදෙසා වැඩි දායකත්වයක් ලබා දෙන වැඩපිළිවෙළකට ප්‍රවේශ වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.
ලක්ෂ 12 කට ආසන්න ධීවර ප්‍රජාවක් සිටින බවත් ඒ අතර ධීවර පවුල් ලක්ෂ 3 කට ආසන්න ප්‍රමාණයක් සිටින බවත් මොවුන්ගේ ජීවනෝපාය නව තාක්ෂණයෙන් සන්නද්ධ කර වඩා ඉහළ ආදායමක් ලබා ගැනීමට මාර්ගය සකස් කරන බවත් ඒ තුළින් රටට ලැබෙන ඉහළ ප්‍රතිලාභ ලබා ගැනීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
