සතියේ සටහන

ජගත් ගේ සතියේ සටහන

නාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෙබරවාරි අග හෝ මාර්තු මුල පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට යන බවට පැතිර යන රාවයක් නිසා දේශපාලන පක්ෂ අතර මහත් කැලඹීමක් ඇති වී තිබෙනවා.

වර්තමාන පාර්ලිමේන්තුවේ නිල කාලය ආරමභ වුණේ 2020 අගේස්තු 20 වැනි දා යි. ඒ අනුව වසර පහක් පවත්වා ගෙන යා හැකි එහි නිල කාලය 2025 අගෝස්තු මාසයේ දී අවසන් වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව වර්තමාන පාර්ලිමේන්තුව 2025 ජූලි මාසයට පෙර විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්විය යුතු වෙනවා.

නිල කාලය අවසන් වීමට වසරක් තිබිය දී හදිසියේ ම මෙසේ පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට ජනාධිපතිවරයාට සමීප ආරංචි වීම නිසා බොහෝ දේශපාලන අංශ අතර එම රාවය සත්‍ය එකක් බවට විශ්වාස කරන බවයි දැනගන්නට තිබෙන්නේ.

මේ වසරේ පවත්වන ජනාධිපතිවරණයට පොදු ජන පෙරමුණට හෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හෝ ජය ගැනීමට තිබෙන සම්භාවිතාව අල්ප බවත් ජනාධිපතිවරණයේ තරගය තිබෙන්නේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර බැවින් මේ අවස්ථාවේ ජනාධිපතිවරණය මුලින් පැවැත්වීම අවාසිදායක නිසා පාර්ලිමේන්තු මහ මැතිවරණය ප්‍රථමයෙන් පැවැත්විය යුතු බවයි ජනාධිපතිවරයා ගේ සමීප උපදේශකයින් පෙන්වා දී තියෙන්නේ.

අප්‍රියෙල් මාසයෙහ් පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වුව ද එහිදී කිසිදු පක්ෂයකට ආණ්ඩුවක් පිහිටුවීමට තරම් බහුතර ආසන සංඛ්‍යාවක් නොලැබෙනු ඇති නිසා සියලු පක්ෂ එකතු කොට ගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවයි ජනාධිපතිවරයා ගේ උපදේශකයන් පෙන්වා දී තිබෙන්නෙ.

මේ අතර නව වසරේ පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම ජනවාර් 09 (හෙට) ආරම්භ වන අතර එය 12 වැනි දා දක්වා පැවැත්වෙනවා.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසන්නේ ඉන්පසු ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු සැසිවාරය අත්හිටුවමින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ඇති බවයි.

එසේ වුවහොත් පාර්ලිමේන්තුවේ නව සැසිවාරය පෙබරවාරි මුල් සතියේ ජනාධිපතිවරයා විසින් විවෘත කිරීමට නියමිත යි.

පාර්ලිමේන්තු සැසි වාරය අවසන් කළ පසු පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) රාජ්‍ය ගිණුම් කාරක සභාව (කෝපා) රාජ්‍ය මුදල් කාරක සභාව ආදිය යළි ඇරඹෙන්නේ පාර්ලිමේන්තුවේ නව සැසිවාරය පටන් ගත් පසුව ය.

පාර්ලිමේන්තුවේ සැසිවාරය හදිසියේ අවසන් කිරීමට ප්‍රධාන හේතුව ලෙස බොහෝ දෙනා පෙන්වා දෙන්නේ කෝප් කමිටුවේ සභාපති ධූරයට අලුතින් කෙනකු පත් කිරීමට ආණ්ඩුවට ඇවැසි වීමයි.

දැන් කෝප් කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන්නේ පොදු පෙරමුණේ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා යි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේ රංජිත් බණ්ඩාර මහතා හස්ත සංඥා දෙමින් පක්ෂග්‍රාහීව කටයුතු කළ බවට ආණ්ඩුවෙන් මෙන් ම විපක්ෂයෙන් ද චෝදනා එල්ල වුණා. ඔහු පාර්ලිමේන්තු යෝජනාවක් මඟින් ඉවත් කිරීමට ගියේ නම් එය ආණ්ඩුවට ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා කථානායකවරයා එම කෝප් කමිටු රැස්වීම අත්හිටවනු ලැබුවා.

නව පාර්ලිමේන්තු සැසි වාරය ඇරඹීමෙන් පසු කොප් කමිටුව ඇතුළු සියලු කමිටුවලට නව සාමාජිකයන් පත් කෙරෙනු ඇති.

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණය ප්‍රථමයෙන් පැවැත්වීමට යන බවට පැතිර යන රාවයත් සමඟ දේශපාලන පිල් මාරුකිරීම ද ඇරඹිලා.

එය ආරම්භ වූයේ ඉකුත් දෙසැම්බර් 28 වැනි දා නිදහස ජනතා සභාවේ නායකයකු වන මහාචාර්ය ජී. ඒල්. පීරිස්, නාලක ගොඩහේවා, ඩිලාන් පෙරේරා, මහාචාර්ය චන්න ජයසුමන, වසන්ත යාපා බණ්ඩාර හා කේ. පී. ඒස්. කුමාරසිරි යන මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඔහු සමඟ ගිවිසුමකට ඒළඹීමත් සමඟ යි.

ඉන්පසු ජනවාරි 01 වැනි දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හා දකුණේ හිටපු මහ ඇමතිවරයකු වූ ෂාන් විජේලාල් ද සිල්වා මන්ත්‍රීවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබා ගත්තා.

ජනවාරි 02 වැනි දා එක්සත් ජනතා නිදහස් සංධානය ආණ්ඩුවේ හිටපු මන්ත්‍රීවරයකු වන දයාශ්‍රිත තිසේරා මහතා ද සමගි ජන බලවේගයට එක්වූ අතර සජිත් ප්‍රේමදාස මහතා විසින් ඔහු නාත්තන්ඩිය සංවිධායක ලෙස පත්කොට තිබෙනවා.

මේ අතර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුව කෙරෙහි කලකිරීමෙන් පසුවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්, සංවිධායකයින් හා හිටපු පළාත් සාලන ආයතන ප්‍රධානීන්ට දුරකතන ඇමතුම් දෙමින් සමගි ජන බලවේගයට එකත වන ලෙසත් නව ආණ්ඩුව යටතේ ඔවුනට විවිධ වරප්‍රසාද ලබා දෙන බවටත් පවසන බව ද වාර්තා වෙනවා.

සමගි ජන බලවේගයේ හිතවත් පක්ෂ එක්සත්ව පිහිටුවීමට යන ංසමගි ජන සංධානයේ ‘කටයුතු ජනවාරි 20 වැනි දා පමණ ආරම්භ කිරීමට යන බව එහි ආරංචි මාර්ගවලින් දැන ගන්නට තිබෙනවා.

සජිත් ප්‍රේමදාස මහතා ගේ ආරාධනය අනුව හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරුන් ඉදිරියේ දී පිහිටුවන සමගි ජන සංධානයට එක්වීමට නියමිත බව ද ආරංචි මාර්ග පවසනවා.

මේ අතර සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් ආසන සංවිධායකයකු වූ හිටපු මන්ත්‍රී නිමල් ආර්ත. පීරිස් හා බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇළ ආසනයේ සංවිධායක ලෙස කටයුතු කළ හිටපු ඇමතිවරයකු වූ සමරවීර වීරවන්නි යන මහත්වරු පසුගිය සතියේ එක්සත් ජාතික පක්ෂයට යළි එකතු වුණා. ඒ හැර බස්නාහිර පළාත් සභාවේ හිටපු ඇමතිවරයකු හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරයකු වූ සුමිත් ලාල් මැන්දිස් මහතා ද පසුගිය සතියේ සාගල රත්නායක මහතා හමුවී එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබා ගත් බව ද වාර්තා වෙනවා.

මේ අතර සමගි ජන වේගයට පිටස්තර පුද්ගලයන් දිගින් දිගට ම එකතුවීම නිසා සමගි ජන බලවේගයේ බිම් මට්ටමේ සාමාජිකයින් අතර නොසන්සුන් තත්ත්වයක් හටගෙන ඇති බව ද පැවැසෙනවා. ඒ පිටතින් පැමිණි අයට ආසන සංවිධායක තනතුරු හා සමගි ජන බලවේග ආණ්ඩුවක ඉහළ තනතුරු ලබා දෙන බවට පක්ෂ නායකත්වයි විසින් පොරොන්දුවීම නිසයි.

ෂාන් විජේලාල් ද සිල්වා මහතා සමගි ජන බලවේගයට එක්වීමට පෙර අම්බලන්ගොඩ ආසනයේ සංවිධායක වශයෙන් පත්කොට තිබුණේ බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා යි. ෂාන් විජේලාල් ද සිල්වා මහතා නිසා ආසන සංවිධායක ධූරය අහිමි වූ ඔහුට ස. ජ. බ ආණ්ඩුව බලයට පැමිණි පසු ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධූරයක් ලබා දෙන බව සජිත් ප්‍රේමදාස මහතා පොරොන්දු වී තිබෙනවා.

ෂාන් සමගි ජන බලවේගයට එක්කර ගැනීම සඳහා මාස ගණනාවක සිට මුණ ගැසී සාකච්ඡා කොට ඔහු සජිත් වෙතට ඔහු ගෙන ගොස් ඇත්තේ ද බණ්ඩාරිගොඩ බවයි දැන ගන්නට තිබෙන්නේ.

නිදහස ජනතා සභාවේ සම නායක මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඇතුළු මන්ත්‍රීන් හය දෙනකු සමගි ජන බලවේගයට එකතු වුව ද එහි නායක ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු තවත් මන්ත්‍රීවරුන් හත් දෙනකු තවම.් පක්ෂ මාරුවක් ගැන තීරණයක් ගෙන නෑ. ඔවුන් පවසන්නේ මේ අවස්ථාවේ නිශ්චිතව යමක් ප්‍රකාශ කළ නොහැකි බව යි.

තම පක්ෂය විපක්ෂය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවත් පෙබරවාරි මුල් සතිය වෙන විට තම පක්ෂයේ ස්ථාවරය රටට දැකබලා ගත හැකි බවත් ඔවුන් පවසනවා.

“අපේ දේශපාලන ක්‍රියාමාර්ගය ගැට ගැහිලා තියෙන්නෙ වැඩ පිළිවෙලක් මත යි. පුද්ගලයකු මත නෙවෙයි. විකල්ප දේශපාලන ව්‍යාපෘතියක් වෙනුවෙන්. කැප වන බලවේග ඒකරාශී කිරීම අපේ අරමුණය යි නිදහස් ජනතා සභාවේ නායකයකු යන මහාචාර්ය චරිත හේරත් හෙළදිව කළ විමසීමක දී ප්‍රකාශ කළා.

මේ අතර නිදහස ජනතා සභාවේ තවත් ආරංචි මාර්ගයකින් දැන ගන්නට තිබෙන්නේ එම පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ළඟදී ම සමගි ජන බලවේගයට එක්වීමට තීරණය කොට ඇති බව යි. සමගි ජන සංවිධානය මේ මස මැද භාගයේ දී පිහිටුවීමෙන් පසු මෙම පිරිස එයට එක්වනු ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ අයුරින් නිදහස ජනතා සභාවේ ඉතිරි මන්ත්‍රීන් පිරිස ද පක්ෂයෙන් ගියොත් එහි නායක ඩලස් අලලහප්පෙරුම මහතා ජාතික ජ න බලවේගයට එක්වීමට යන බවට ද ආරංචි පැතිර යනවා.

උද්ගතව ඇති තත්ත්වය සාකච්ඡා කිරීම සඳහා නිදහස ජනතා සභාවේ දේශපාලන මණ්ඩලය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට දවසේ රැස්වීමට නියමිත යි.

මේ අතර උත්තර ලංකා සභාගයේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩීව් ගුණසේකර මහතා පවසන්නේ මේ අර්බුදයෙන් ගොඩ ගැනීමට නම් හුදු පුද්ගල වෙනසක් නොව ප්‍රතිපත්තිමය වෙනසක් අවශ්‍ය බව යි. එවන් ප්‍රතිපත්ති වෙනසක් වෙනුවෙන් පෙනී සිටින ඍ්නෑම කණ්ඩායමක් සමඟ එකතුවීමට තම පක්ෂය සූදානම් යැ යි ඩීව් ගුණසේකර මහතා ඉකුත් සිකුරාදා කොමියුනිස්ය් පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළා.

දෙමළ ජාතික සංධාන‌ෙය් ප්‍රධාන පක්ෂයටත් ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයේ නව නායකයා තෝරා ගැනීම ජනවාරි 28 වැනි දා පැවැත් වෙන එම පක්ෂයේ මහා සම්මේලනයේ දී සිදු කෙරෙන බව එහි වර්තමාන සභාපති මාවෙයි සේනාධිරාජා පවසනවා.

දෙමළ ජාතික සංධානයේ හා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ වර්තමාන නායකයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන් මහතා සෞඛ්‍ය හේතූන් මත හා වයස්ගත භාවය මත පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව පසුගිය දා ප්‍රකාශ කළා.

පක්ෂයේ නව නායකත්වය සඳහා පසුගිය දා නාම යෝජනා කැඳ වූ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එ. සුමන්දිරන්, එස්. ශ්‍රීධරන් හා සී. යෝගේශ්වරන් යන මහත්වරුන් ඉදිරිපත් වී සිටිනවා.

එයින් යෝගේශ්වරන් මහතා පෙරේදා (07) තම අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වී තමා ශ්‍රීධරන් මහතාට සහාය පළ කරන බව ප්‍රකාශ කළා.

මෙහි දී පක්ෂ නායකත්වය සඳහා සුමන්දිරන් මහතාට ඉංග්‍රීසි, සිංහල හා දෙමළ භාෂා තුනෙන් ම කටයුතු කිරීමට හැකිවීම ඔහු දක්ෂ නීතිඥයකු වීම පිළිබඳ ව සුදුසුකම් තියෙන නමුත් ඔහු යාපනයේ උපත ලැබූවකු නොවීඹ හා හින්දු භක්තියකු නොවීම යන කාරණා විරුද්ධවාදීන් ඔහුට චෝදනා ලෙස එල්ල කරනවා.

ශ්‍රීධරන් ගේ හිතවතුන් පවසන්නේ ඉංග්‍රීසි උගතකු වීම, නීතිඥයකු වීම පමණක් පක්ෂ නායකත්වයට නො සෑහෙන බව යි.

කෙසේ වෙත් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායකත්වයට පොරය උණුසුම් වී ඇති බව යි උතුරේ ආරංචි මාර්ග පවසන්නේ.

– ජගත් –