
ඡන්ද දෙක ම එක ම දවසක??
ජනාධිපතිවරණය සමඟ මහ මැතිවරණය දෙක ම එක ම දිනක දී එකවර පැවැත්වීමට හැකි දැ යි ආණ්ඩුව මැතිවරණ කොමිෂන් සභාවෙන් විමසා අතැයි වාර්තා වෙනවා.
මෙම මැතිවරණ දෙක එක ම දිනයක දී පැවැත්වීමට පුළුවන් බවත්, ඒ පිළිබඳ ව කිසිදු ගැටලුවක් නැති බවත් මැතිවරණ කොමිෂන් සබාව ආණ්ඩුවේ බලධාරීන්ට දැනුම් දුන් බව එම කොමිෂන් සභාවේ ආරංචි මාර්ග පවසනවා.
ජනාධිපතිවරණයත් මහ මැතිවරණයත් එකම දිනක දී පැවැත්වීමේ යෝජනාව මීට මාස දෙකකට පමණ පෙර ද සාකච්ඡා වී තිබුණා.
මේ යෝජනාව යළිත් මතුවී ඇත්තේ ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පවත්වන ලෙසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉල්ලා සිටීම නිසයි.
පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පසුගිය දා රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කළ සාකච්ඡාවක දී මුලින් මහ මැතිවරණය පවත්වන්නැ යි ඉල්ලා තිබුණා. එහෙත් ජනාධිපතිවරයා එයට එකඟ වී නැහැ.
මේ අතර පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා හා නාමල් රාජපක්ෂ මහතාත් මහ මැතිවරණය මුලින් පැවැත්වීම සුදුසු යැ යි පවසා තිබුණා. එහෙත් පොදුජන පෙරමුණේ නායකයන් වන ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ වැනි ආදීන් පවසන්නේ ජනාධිපතිවරණය ප්‍රථමයෙන් පැවැත්විය යුතු බවයි.
පසුගිය බදාදා පැවති පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමේ දී ජනාධිපති අපේක්ෂකයා ගැන තීරණයක් ගෙන නැහැ. පක්ෂයේ සභාපති මහින්ද රාජපක්ෂ මහතා පක්ෂය් ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව මේ දිනවල සමීක්ෂණයක් පවත්වා ගෙන යන බවත් එයින් පසුව පක්ෂය විසින් ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැ යි නිවේදනය කරන අතර එතෙක් ජනාධිපති අපේක්ෂකයා ගැන මත පළකිරීමෙන් වැළකී සිටින ලෙසත් පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා තිබෙනවා.
මෛත්‍රී කඩුව අරන්
මේ අතර පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ගපවසන්නේ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා පොදුජන පෙරමුණට සුදුසු අපේක්ෂකයකු නොමැති බවයි.
මේ තත්ත්වය යටතේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ පසු පොදුජන පෙරමුණේ නිර්පාක්ෂික අපේක්ෂකයා වශයෙන් ජනාධිපති ධූරයට තරග කිරීමට යන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර පසුගිය සඳුදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වසරේ අගෝස්තු මාසයට පෙර කිසිදු මැතිවරණයක් පවත්වන්නේ නැතැ යි පවසා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා ජූලි මාසය දක්වා පැවැත්වෙන බැවින් ඊට පෙර මැතිවරණ පැවැත්වුව හොත් එය සාකච්ඡාවලට බාධාවක් වන බව ද ජනාධිපතිවරයා පවසා ඇතැ යි වාර්තා වෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර ඇති අන්දමට ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 - ඔක්තෝම්බර් 17 අතර පැවැත්විය යුතුව තිබෙනවා.
පසුගිය බදාදා පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමේ දී පක්ෂයේ ජාතික සංවිධායක ලෙස නාමල් රාජපක්ෂ මහතා පත්කිරීම ගැන පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කලකිරීමට පත්ව සිටින බව වාර්තා වෙනවා.
ජාතික සංවිධායක තනතුර සඳහා අත්දැකීම් ඇති පළපුරුදු අයකු පත්කළ යුතු බැවින් ඒ සඳහා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගේ සහ රෝහිත අබේගුණවර්ධන මහතා ගේ නම් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අතර සාකච්ඡා වී තිබෙනවා. එහෙත් තමා අණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරන බැවින් තමා
රෝහිත කනස්සල්ලෙන්
පත් නොකරන ලෙස ප්‍රසන්න රණතුංග මහතා ඉල්ලා තිබෙනවා. එසේ වුව ද රෝහිත අබේගුණවර්ධන මහතා ජාතික සංවිධායක ධූරය ගැන මහත් බලාපොරොත්තු තබා ගෙන සිටිය බව යි වාර්තා වෙන්නේ.
බැසිල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමේ නිවේදනය කිරීමෙන් පසු නැඟී සිටි පත් කළ මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධූරයට නාමල් රාජපක්ෂ මහතා ගේ නම යෝජනා කොට ඇති අතර විමල් ගීගනගේ මහතා ස්ථිර කිරීමෙන් පසු නාමල් රාජපක්ෂ මහතා එම තනතුරට ඒකමතිකව පත්වී තිබෙනවා.
මේ තනතුරට මහත් බලාපොරොත්තු තබාගෙන සිටි රෝහිත අබේගුණවර්ධන මහතා ඒ අවස්ථාවේ රැස්වීමෙන් නැගිට යාමට සූදානම්ව ඇති නමුත් සෙසු අය විසින් ඔහු නතර කර ගත් බවයි දැනගන්නට තිබෙන්නේ.
පසුගිය ජනාධිපතිවරණයට පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමට ප්‍රබල සටනක් ගෙන ගොස් ඒ නිසා ම පසුව පක්ෂයෙන් ඉවත්ව සිටි කුමාර වෙල්ගම මහතා යළිත් පොදුජන පෙරමුණට එක්වී සිටිනවා.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී සමගි ජන බලවේගයෙන් කළුතර දිස්ත්‍රික්කයට තරග කොට පාර්ලිමේන්තුවට තේරී පත් වූ වෙල්ගම මහතා සමගි ජන බලවේගයෙන් ඉවත් වී නව ලංකා නිදහස් පක්ෂය නමින් පක්ෂයක් ද ආරම්භ කළා.
කුමාර වෙල්ගම මහතා පසුගිය බ්‍රහස්පතින්දා හිටපු ජනාධිපති හා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවී යළි පොදුජන පෙරමුණට එක්වී තිබෙනවා.
අප්‍රේල් මුල් සතියේ මහින්ද රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් මතුගම දී පැවැත්වෙන පොදුජන පෙරමුණේ රැළියේ වේදිකාවට නැඟීමට ද වෙල්ගම මහතා තීරණය කොට ඇති බවයි දැනගන්නට ඇත්තේ.
≈ ≈≈≈≈≈≈≈ ≈ ≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈ ≈ ≈≈≈≈≈≈≈
විවාදයකට එන්න ජාජබ යට අභියෝග 


ජාතික ජන බලවේගයේ සුනිල් හඳුන්නෙත්ති මහතා ඇතුළු ආර්ථික විශේෂඥ ආචාර්ය මහාචාර්යවරුන්ට සමගි ජන බලවේගයේ ආර්ථික විශේෂඥයින් වන ආචාර්ය හර්ෂ ද සිල්වා එරාන් වික්‍රමරත්න හා කබීර් හෂීම් මහත්වරුන් ප්‍රසිද්ධ විවාදයකට එන ලෙසට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පසුගිය සතියේ කළ අභියෝගයට ජාතික ජන බලවේගය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොමැති බවයි වාර්තා වෙන්නේ.
විදේශ ආයෝජන, පෞද්ගලික විශ්වවිද්‍යාල, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම, රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගත කිරීම, යන කරුණු සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති පැහැදිලි කරන ලෙස ද නලීන් බන්ඩාර මහතා පසුගිය සතියේ පැවති මාධ්‍ය හමුවක දී ජාතික ජන බලවේගයෙන් ඉල්ලා සිටියා.
මෙම විවාදය රූපවාහිනී නාලිකාවක පවත්වන ලෙස ද මන්ත්‍රීවරයා ඉල්ලා සිටියා.
මීට පෙර මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා ද තමා සමඟ වාදයකට එන ලෙස අනුර කුමාර දිසානායක මහතාට ආරාධනා කළ නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කොට තිබුණා. ගම්සභාවකවත් නියෝජිතයකු නොවන දිලිත් සමඟ විවාද කිරීම නිෂ්ඵල ක්‍රියාවක් බව පවසමින්.
අමරවීර, ලසන්ත, දුමින්ද උසාවි යන බව කියති
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, ජාතික සංවිධායක දුමින්ද දිසානායක හා ජ්‍යෙෂ්ඨ උපසභාපති මහින්ද අමරවීර යන මහත්වරු ඔවුන් දැරූ එම තනතුරුවලින් ඉවත් කොට තිබෙනවා.
මෙම තීරණය ගෙන තිබෙන්නේ ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (30) පැවති පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව, විධායක සභාව හා මධ්‍යම කාරක සභාවේ ඒකාබද්ධ රැස්වීමේ දී.
මොවුන් තිදෙනා පක්ෂයේ විනයකඩවන අන්දමින් කටයුතු කිරීම නිසා ඔවුන් දැරූ තනතුරුවලින් ඉවත් කිරීමට පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙනා යෝජනාව ඒකමතිකව සම්මත වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා අප කළ විමසීඹක දී ප්‍රකාශ කළා.
ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම ඔවුන්ට එල්ල වූ චෝදනා බව ද මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා තවදුරටත් කියා සිටියා.
මේ අතර තනතුරුවලින් ඉවත් කරනු ලැබූ ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර හා දුමින්ද දිසානායක මහත්වරු පැවසුවේ තමන් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම නීති විරෝධී බවත් මේ පිළිබඳව අධිකරණය හමුවට යෑමට බලාපොරොත්තු වන බව යි.
අධිකරණ, ව්‍යවස්ථා කටයුතු හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ද ඊයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රැස්වීමට පැමිණ සිටියා.
ඔහු පැමිණියේ ආරාධිත දේශනයක් පැවැත්වීමට බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය පිළිබඳව ඔහු දේශනයක් පැවැත්වූ බවත් වාර්තා වෙනවා.
ආණ්ඩුවේ ඇමතිකමක් දරන නිමල් සිරිපාල ඉවත් කරල නෑ. 
මහින්ද අමරවීර, දුමින්ද දිසානායක හා ලසන්ත අලගියව්න්න යන මහත්වරු දැරූ තනතුරු අලුතින් පත් කිරීම ඊයේ ම සිදු කළ අතර පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස හෙක්ටර් බෙත්මගේ මහතාත්, ජාතික සංවිධායක ලෙස කේ. පී. ගුණවර්ධන මහතාත් ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස සරත් ඒකනායක මහතාත් පත් කල බව ද මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා තව දුරටත් සඳහන් කළා.
මහින්ද අමරවීර, දුමින්ද දිසානායක හා ලසන්ත අලගියවන්න මහත්වරු ඉවත් කිරීම පිළිබඳව පක්ෂයේ සබාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ''ආණ්ඩුවේ ඇමති ධූර දරමින් සිටින අය අප ඉවත් කළ යුතුයි. අපි සන්ධානයක් හදන වෙනත් පක්ෂ අපට කැමති නැහැ. අපේ සාමාජිකයින් ආණ්ඩුවේ ඇමති තනතුරු දැරීම ගැන" යනුවෙන් පවසා තිබෙනවා.
ආණ්ඩුවේ ඇමති තනතුරු දැරීම ගැන මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න මහත්වරුන් ඉවත් කොට ඇතත් වරාය නාවික හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉවත් කොට නැහැ.
- ජගත් -
