උණුසුම් පුවත්කාලීනසතියේ සටහන

ජගත් ගේ සතියේ සටහන – 13

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පැවැත්වීමට තවත් දින 150 ක  පමණ කාලයක්. ඒ නිසා දැන් සෑම ප්‍රධාන දේශපාලන පක්ෂයක් ම ඒ සඳහා සූදානම් වීමට පටන් ගෙන තිබෙනවා.පවතින දේශපාලන වාතාවරණය අනුව ජාතික ජන බලවේගය හැර අනික් සෑම පක්ෂයක් ම තවත් පක්ෂ සමඟ සන්ධානගත වී තරග කිරීමට යන බව යි පෙනී යන්නේ.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා ගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය සහ මහින්ද රාජපක්ෂ මහතා ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් පිහිටුවා ගැනීම සදහා සාකච්ඡා කෙරීගෙන යන බව ද වාර්තා වෙනවා.

පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර පසුගිය දිනවල මේ පිළිබඳව සාකච්ඡා කීපයක් ම පැවති බව පොදුජන ආරංචි කාර්ග පවසනවා.

ආර්ථික, දේශපාලන හා සංවර්ධනය පිළිබඳ සාකච්ඡා සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර පොදු  එකඟතාවයක් ඇති කර ගැනීම පිළිබඳව බැසිල් රාජපක්ෂ මහතා සම රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති මෙම සකච්ඡාවල දී වැඩි අවධානයක් යොමු වූ බවද දැන ගන්නට තිබෙනවා.

පොදුජන පෙරමුණට මෙසේ එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධාන ගතවීමට සිදුව ඇත්තේ මෙවර ජනාධිපතිවරණයට එම පෙරමුණෙන් ඉදිරිපත් කිරීමට අපේක්ෂකයකු නොමැති නිසා බවයි දැනගන්නට තිබෙන්නේ.

පොදුජන පෙරමුණ තරගෙට ආවොත් පක්ෂය දෙකඩ වෙනවා - විචාරක මතය

මෑතක දී පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බවට පත්වූ නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරිමට එහි පිරිසකට අවශ්‍ය වී ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා අවස්ථා කිහිපයක දී ම පැවසුවේ නාමල්ට ඒ සඳහා තව කල් තිබෙන බවයි. එසේ ම චමල් රාජපක්ෂ මහතා මේ අවස්ථාවේ රාජපක්ෂවරුන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නොවිය යුතු බව පවසනවා.

ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මහ මැතිවරණය පවත්වන ලෙස බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ගෙන් කිහිප වරක් ම ඉල්ලා තිබුණත් ඔහු එයට කැමති වී නැහැ. මේ නිසා ජනාධිපතිවරණය ගැන අවධානය යොමු කොට ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට යි දැන් පොදුජන පෙරමුණ කටයුතු කරගෙන යන්නේ.

එසේම පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කළ හොත් එම පෙරමුණ දෙකඩ වී යෑම ස්ථිර බව දේශපාලන විචාරකයින් පවසනවා.                                               

දැනට ආණ්ඩුවේ ඇමති තනතුරු දරණ ප්‍රසන්න රණතුංග, සුසිල් ප්‍රේමජයන්ත, රමේෂ් පතිරණ, අලි සබ්‍රි, පවිත්‍රා වන්නිආරච්චි, ෂෙහාන් සේමසිංහ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රසන්න රණවීර, දිලුම් අමුණුගම යන පොදුජන පෙරමුණේ පිරිස හා මහජන එක්සත් පෙරමුණේ නායක අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්වී ඇමති තනතුරු දරණ නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න රංජිත් සියඹලාපිටිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරු ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කොට ඇති බවත් වාර්තා වෙනවා.

යම් හෙයකින් පොදුජන පෙරමුණ වෙනම ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීරණය කළ හොත් මේ මැති ඇමතිවරුන් පිරිස රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වනු ඇති බවත් එයින් පොදුජන පෙරමුණ දෙකඩවීම වැළැක්විය නොහැකි බවත් දේශපාලන විචාරකයින් පවසනවා.

අලිියත් බෑ හංසයත් බෑ වෙන ලකුණක් ගත්තොත්....

මෙම පිරිස පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතා පොදු අපේක්ෂකයකු වශයෙන් අලියා හෝ හංසයා ලකුණ හැර වෙනත් ලකුණකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට නිර්පාක්ෂික අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වෙන බව ජනාධිපති උපදේශක ආශු මාරසිංහ, රවි කරුණානායක යන මහත්වරු දැනටමත් ප්‍රකාශ කොට තිබෙනවා.

මේ හැර මෑතක දී පිහිටුවා ගනු ලැබූ නිමල් ලංසා හා අනුර ප්‍රියදර්ශන යාපා ගේ නායකත්වයෙන් යුත් නව සංධානය ද, ලංකා කම්කරු කොංග්‍රසය ද ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන බව දැනටමත් පවසා තිබෙනවා.

ජී. එල් ලා හැර වෙන කිසිවකු තාම සජිත් ගෙ අත් අල්ලන් නෑ

මේ අතර සජිත් ප්‍රේමදාස මහතා ගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය ද තවත් පක්ෂ එකතු කරගෙන 'සමගි ජන සන්ධානය' යන නමින් නව සංධානයක් පිහිටුවීමට යන නමුත් එයට දැනට එකතු වී තිබෙන්නේ නිදහස ජාතික සභාවේ මහාචාර්ය ජී. එල්. පීරිස්, ඩිලාන් පෙරේරා, නාලක ගොඩහේවා, වසන්ත යාපා බණ්ඩාර, එම්. කේ .කුමාරසිරි, ඇතුළු හය දෙනකු පමණ යි. ඔවුන් සමගි ජනසන්ධානයට එක්වීම සඳහා පසුගිය දා සජිත් ප්‍රේමදාස මහතා සමඟ ගිවිසුමකට ද එළඹුණා.

 

උත්තර ලංකා සභාගයේ නායක විමල් වීරවංශ මහතා ද ජනාධිපතිවරණය සඳහා නව සංධානයක් ගොඩනැඟීමට කටයුතු කරගෙන යන අතර නිදහස ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර, හිටපු ක්‍රීඩා ඇමතිවරයකු වන රොෂාන් රණසිංහ ඒයට එක්වීමට යන බවත් වාර්තා වෙනවා. විමල් වීරවංශ මහතා ගේ මේ නව සංධානය පිහිටුවීම කිරිළපොන දී පැවැත්වෙන මැයි දින රැලියේ දී සිදු කිරීමට කටයුතු යොදා තිබෙන බව එහි ප්‍රකාශකයෙක් සඳහන් කළා.

පසුගිය වසරේ අරගලය පැවති කාලයේ පොදුජන පෙරමුණු ආණ්ඩුවෙන් ඉවත්වී ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත් මන්ත්‍රීවරුන් රාශියක් ද දැන් ප්‍රධාන පක්ෂ සමඟ සම්බන්ධ වීමට කටයුතු කරගෙන යන බවත් වාර්තා වෙනවා. තවත් සමහරු දේශපාලනයෙන් සමුගැනීමට ද තීරණය කොට තිබෙනවා. අම්පාර දිස්ත්‍රික් මන්ත්‍රී විමලවීර දිසානායක මහතා තමා ඉදිරි මාස හතර ඇතුළත දේශපාලනයෙන් සමුගන්නා බව පසුගිය සතියේ ප්‍රකාශ කළා.

පවතින දේශපාලන වාතාවරණය අනුව පෑහැදිලි වන්නේ එක් මන්‍ත්‍රී අසුනක් පමණක් තබාගෙන ජනාධිපති පදවියට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා වටා ‌මේ වන විට විශාල බලයක් ගොඩනැඟෙමින් තිබෙන බව යැ යි දේශපාලන විචාරකයින් පවසනවා.

බොරු කියන්නේ මන්ත්‍රී නලීන් ද වෛද්‍ය නලින්ද ද??                                                                            සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර රටේ ආර්ථික හා දේශපාලන ප්‍රශ්න පිළිබඳව පැවැත්වීමට යන බව කියන විවාදය මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වී තිබෙනවා. 

ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව සමගි ජන බලවේගයේ   ආර්ථික විශේෂඥයින් සමඟ ප්‍රසිද්ධ විවාදයකට එක්වන්නැ යි සමගි ජන බලවේගයේ මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා කළ අභියෝගයක් නිසයි මෙම විවාදය පිළිබඳ මාතෘකාව  මුළින් ම එළියට ආවේ. ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුවේ සුනිල් හඳුන්නෙත්ති ඇතුළු මහාචාර්යවරුන් මේ සඳහා ඔහු ආරාධනා කළා.

මෙයට පිළිතුරු වශයෙන් සුනිල් හඳුන්නෙත්ති මහතා කියා සිටියේ ප්‍රථමයෙන් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බැවින් සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අතර විවාදයක් පැවැත්වීම වැදගත් බවයි.

සුනිල් හඳුන්නෙත්ති මහතා ගේ මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා තමා අනුර කුමාර දිසානායක මහතා සමඟ විවාදයකට ඕනෑම මොහොතක සූදානම් බව ප්‍රකාශ කොට තිබුණා.

මේ අතර ජාතික ජන බලවේගයේ මන්ත්‍රීනී ආචාර්ය හරිනී අමරසූරිය මෙම විවාදය ජනාධිපති අපේක්ෂකයින් අතර පැවැත්වෙන බැවින් එයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගි කරවා ගත යුතු බව ප්‍රකාශ කළා.

එහෙත් අනුර කුමාර දිසානායක මහතා මෙතෙක් මෙම විවාදය ගැන වචනයක්වත් ප්‍රකාශ නොකිරීම බොහෝ දෙනාගේ විමතියට හේතු වී තිබෙනවා.

සජිත් හා අනුර අතර විවාදය පැවැත් වෙන්නේ නම් ඒ සඳහා තම විකාශන කාලය ලබාදීමට ප්‍රධාන රූපවාහිනී නාලිකා දැනටම්ත් කැමැත්ත ප්‍රකාශ කොට තිබෙනවා.

මෙම විවාදයේ කටයුතු සංවිධානය කිරීම සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රී නලීන් බණ්ඩාර ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩල සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරු පත්වී සිටින බව ද වාර්තා වෙනවා.

ආණ්ඩුව විවේචනය කිරීම හැර සජිත්ට අනුරට                                                                                                                  රටේ ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් නෑ -                                                                                                        විචාරක මතය

ඔවුන් දෙදෙනා අතර මේ පිළිබඳ සාකච්ඡාවක් අප්‍රේල් 10 වැනි දා පස්වරු 7. 00 ට පැවැත්වීමට ඒකඟ වී සිටිය නමුත් නලීන් බණ්ඩාර මහතා පෞද්ගලික හේතුවක් මත තමාට එදිනට පැමිණීමට නොහැකි බව දැන්වී යැ යි නලීන්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා.

එහෙත් නලීන් බණ්ඩාර මහතා පවසා තිබුණේ පවුලේ අය සමඟ හදිසියේ රත්නපුරේ යෑමට සිදුවී ඇති බව පවසමින් නලීන්ද ජයතිස්ස මහතා එම හමුව අවලංගු කළ බවයි.

කෙසේ වුවද දේශපාලන විචාරකයින් පවසන්නේ සජිත් හා අනුර අතර විවාදය සිදු නොවන්නක් බවයි.

සමගි ජන බලවේගයට හා ජාතික ජන බලවේගයට ආණ්ඩුව විවේචනය කිරීම හැර ඔවුන් ගේ ම ආර්ථික සැලසුම් නැති බවත් විවාදයකට ගියහොත් මේ බව හෙළිවන නිසා සජිත් හා අනුර දෙදෙනා ම විවාදය මඟ හරින බව පැහැදිලිව ම පෙනෙනා බවත් දේශපාලන විචාරකයින් තව දුරටත් පවසනවා.

- ජගත් -