උණුසුම් පුවත්සතියේ සටහන

ජගත් ගේ සතියේ සටහන – 15

අපි රනිල්ට පොදුජන පෙරමුණේ මැති ඇමති රැසක් කියති

 ප්‍රචාරක වැඩ දේශපාලන පක්ෂ ඕසෙට පටන් අරන්.

ඒත් පොපෙ -  එජාප  දෙක ම තාම නිහඩයි

ජනාධිපතිවරණයට ඇත්තේ තවත් මාස හයකටත් අඩු කාලයක් බැවින් ප්‍රධාන දේශපාලන පක්ෂ ඒ සඳහා සිය ප්‍රචාරක කටයුතු වේගවත් කරමින් සිටිනවා. සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය එහි ප්‍රාදේශීය මට්ටමින් සිය ප්‍රචාරක කටයුතු කරගෙන යන නමුත් ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත්  ජාතික පක්ෂය ඒ පිළිබඳව ඇල්මැරුණු ස්වරූපයෙන් කටයුතු කිරීම බොහෝ දෙනා ට ප්‍රශ්නයක් වී තිබෙනවා.
සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රෙමදාස මහතාත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතාත්  ඉදිරිපත් වන බව එම පක්ෂ විසින් පැහැදිලිව ම කල්තබා ‍නිවේදනය කළා.
එහෙත් එක්සත් ජාතික පක්ෂය සිය අපේක්ෂකයා ගැන තවම පැහැදිලි ප්‍රකාශයක් සිදු කොට නැහැ. තමා ජනාධිපතිවරණයට තරග කරන බව රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සමඟ පවසා තිබුණා. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා තමා තරග කරන බව මෙතෙක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට නැහැ.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන සහ උප නායක රවි කරුණාතිලක මහත්වරු පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික පොදු අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි.පොපෙ ඇමතිවරු බහුතරයක් අපි රනිල්ට යි කියති

 මේ අතර ආණ්ඩු පක්ෂයේ නායකයින් ගේ රැස්වීමක් පසුගිය 25 වැනිදා ජනාධිපති කාර්යාලයේ දී දිනේෂ් ගුණවර්ධන, අනුර යාපා, මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණතුංග, හරීන් ෆ්‍රනාන්දු, කාංචන විජේසේකර, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර යන මහත්වරුන් සහභාගි වී සිටියා. එහිදී දැනට ආණ්ඩුව විසින් ආරම්භ කරැති සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යෑම ගැන සාකච්ඡා වූ බවත්, පළාත් පාලන ආයතනවල වසර ගණනාවක් තිස්සේ අනියම් පදනමින් සේවය කරන සේවකයින් ගේ රැකියා ස්ථිර කිරීම ගැන තිරණයක් ගන්නා බවත් රාජ්‍ය ඇමති ජානක වක්කුඹුර මාධ්‍ය වෙත ප්‍රකාශ කළා. ජනාධිපතිවරණය ගැන මෙහිදී සාකච්ඡා කළේ දැ 

යි මාධ්‍යවේදීන් විමසූ විට ඒ ගැන සාකච්ඡා වූයේ නැතැ යි රාජ්‍ය ඇමතිවරුන් වන සුරේන් රාඝවන් හා ඩී. බී. හේරත් යන මහත්වරුන් කියා සිටියා.
මේ සියලු දෙනා ම පැවසුවේ තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සිටින බවයි.                                 
ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම ගැන තමා ජූලි මාසයේ දී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පසුගිය අඟහරුවාදා (23) පැජට් පාරේ පිහිටි ජනාධිපති නිවසේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබෙනවා. වර්තමාන දේශපාලන තත්ත්වය හා ආණ්ඩුවේ කටයුතු ගැන පැය 2 ක පමණ කාලයක් පැවති මේ සාකච්ඡාවේ දී පොදුජන පෙරමුණ පාර්ශ්වයෙන් ජනාධිපතිවරණය ගැන ප්‍රසිද්ධියේ කිසිවක් ප්‍රකාශ නොකිරීමට බැසිල් රාජපක්ෂ මහතා එකඟ බවයි වාර්තා වෙන්නේ. ඒ අනුව ජනාධිපතිවරණයට පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකරන ලෙස එම පෙරමුණ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට හා ආසන සංවිධායකයින්ට දැනුම් දී තිබෙනවා.
පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තීරණය කිරීම හා එය ප්‍රකාශයට පත් කිරීම නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කරනු ඇති බවත් එතෙක් ඒ පිළිබඳව කිසිවක් ප්‍රකාශ නොකරන ලෙසත් නෙළුම් මාවත පක්ෂ මූලස්ථානය මඟින් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට හා සංවිධායකයින්ට දැනුම් දී ඇතැ යි එහි ප්‍රකාශකයෙක් සඳහන් කළා.
එහෙත් පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක  වශයෙන් මෑතකදී පත් වූ නාමල් රාජපක්ෂ මහතා දරන්නේ වෙනස් මතයක්. ඉදිරි ජනාධිපතිවරණයට පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණින් ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවයි ඔහු පවසන්නේ.
එමෙනි ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදිය යුතු බව පවසන නාමල් රාජපක්ෂ මහතා ඔහුට සහය දුන්නොත් පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් විශාල වශයෙන් පක්ෂය හැර යනු ඇතැ යි ද පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයෙක් අප කල විමසුමක දී ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයට පොදුජන පෙරමුණෙන් තරග කිරීමට නාමල් රාජපක්ෂ මහතාට අවශ්‍ය වී ඇති බවයි. ඔහු පසුගිය දිනවල 'දසබල සේනා' නමින් ප්‍රාදේශීය මට්ටමින් රැස්වීම් පැවැත්වූයේ ද මේ වෙනුවෙන් බව ද එම ජ්‍යෙෂ්ඨයා සඳහන් කළා.
රාජපක්ෂවරුන් මේ අවස්ථාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම අවාසිදායක බව රාජපක්ෂ පවුලේ මතය යැ යි ද පැවසූ ඔහු නාමල් රාජපක්ෂ මහතා ගැන විමසූ අවස්ථාවල ''එයාට තව කල් තියෙනවා" යැ යි මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ඒ නිසා ම බව ද ඔහු තව දුරටත් කියා සිටියා.
එසේම ආණ්ඩුවේ ඇමති හා රාජ්‍ය ඇමති තනතුරු දරණ ප්‍රසන්න රණතුංග, පවිත්‍රා වන්නිආරච්චි, වෛද්‍ය රමේෂ් පතිරණ, ෂෙහාන් සේමසිංහ, සුරේන් රාඝවන්, අලි සබ්‍රි, ඩී. බී. හේරත්, ඩයනා ගමගේ මොහාන් ද සිල්වා, සහ මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු මන්ත්‍රීවරුන් ගණනාවක් ද ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන බව ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කොට තිබෙනවා.
මෙවැනි තත්ත්වයක් තිබිය දී පොදුජන පෙරමුණෙන් නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වුවහොත් පොදුජන පෙරමුණ දෙකඩ වීම වැළැක්විය නොහැකි බව ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් ප්‍රකාශ කළා.
මේ අතර පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තා වන අන්දමට මෙවර ජනාධිපතිවරණයට පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් නොකළ යුතු බවත් පක්ෂයේ සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදිය යුතු බවත් බහුතරයේ මතය වී ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.
මේ තත්ත්වය යටතේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන තෙක් පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයින් ගැන සඳහන් කිරීමෙන් වැළකී යුතු බව එහි නිර්මාතෘ බැසිල් රාජපන්ෂ මහතා පක්ෂයේ මැති ඇමතිවරුන්ට ප්‍රකාශ කොට තිබෙනවා.
⋆           ⋆        ⋆       ⋆       ⋆
අතුරු තහනම් හා තිර තහනම් නියෝග
පසුගිය සතියේ කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කරනු ලැබූ අතුරු තහනම් හා තහනම් නියෝග කිහිපයක් හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම මහත් අර්බුදයකට මුහුණ පා සිටිනවා.
පසුගිය 21 වැනි දා නාවල සෝලිස් උත්සව ශාලාවේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභා රැස්වීමේ දී පක්ෂයේ වැඩ බලන සභාපති වශයෙන් පත්කර ගනු ලැබූ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමති ආචාර්ය විජේදාස මහතාට එම ධූරයේ කටයුතු කිරීම වළකාලමින් කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා මැයි 8 වනදා දක්වා බලපවත්වන පරිදි අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.           
මොන්ටේගු ගේ පෙත්සම සලකා බැලීමෙන් පසු
එමෙන් ම ඒ විධායක සභාව කැඳ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් සාරථී දුෂ්මන්ත මිත්‍රපාල මහතාට ද එම ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් හා ඔහු විසින් ගනු ලැබූ තීරණ බල රහිත කරමින් දිසා අධිකරණය ඔහුට ද මැයි 8 වැනි දා දක්වා බල පැවැත්වෙන පරිදි අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.
ඒ නිමල් සිරිපාල ද සිල්වා පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුවයි.
එයට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු වන මෙන්ටේගු සරත්චන්ද්‍ර මහතා විසින් මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම නීතිවිරෝධි බව ප්‍රකාශ කරන ලෙසට 2022 වසරේ ගොනු කොට තිබූ පැමිණිල්ලක් පසුගිය සතියේ විභාගයට ගත් දිසා අධිකරණය මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිපයේ සභාපති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ස්ථිර තහනම් නියෝගයක් නිකුත් කළා.
මීට පෙර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරිපත් කොට තිබූ පෙත්සමකින් ඉල්ලා තිබුණේ මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප ව්‍යවස්ථාව අනුව පක්ෂයේ සභාපති ධූරය දැරීම නීති විරෝධී බව ප්‍රකාශ කරන ලෙසයි. එම පෙත්සම අනුව දිසා අධිකරණය විසින් ද සභාපති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් මෛත්‍රීපාල සිරිසේන මහතාට මැයි 8 වනදා තෙක් අතුරු තහනම් නියෝගයක් නිකුත් කොට තිබුනා. එහෙත් මෙන්ටේගු සරත්චන්ද්‍ර මහතා ගේ පෙත්සම අනුව දැන් මෛත්‍රීපාල සිරිසේන මහතාට නඩු විභාගය අවසන් වන තෙක් ස්ථිර තහනම් නියෝගයක් පනවා තිබීමෙන් ඔහුට තව දුරටත් ශ්‍රීලනිප සභාපති වශයෙන් කටයුතු කළ නොහැකි තත්ත්වයකියි උදා වී තිබෙන්නේ.
මෙම තහනම් නියෝගය නිකුත් වීමෙන් පසු නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලය පසුගිය 24 වැනි දා කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී රැස්වී තිබෙනවා. එහිදී පක්ෂයේ වැඩ බලන මහ ලේකම් වශයෙන් දුමින්ද දිසානායක මහතා පත්කර ගෙන ඇති අතර මෛත්‍රීපාල සිරිසේන මහතා සභාපති ධූරය දැරූ කාලයේ අත්තනෝමතික ලෙස පක්ෂයෙන් ඉවත් කරනු ලැබූ ආසන සංවිධායකයින් යළි පක්ෂයට එක්කර ගැනීමට ද තීරණය වූ බවයි වාර්තා වෙන්නේ. ඒ සඳහා මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක (සභාපති) වීරකුමර දිසානායක හා ෆයිසර් මුස්තාපා යන මහත්වරුන් ගෙන් යුත් කොමිටියක් ද පත්කර තිබෙනවා.
මේ අතර මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෙහෙයවීම මත පක්ෂයේ වැඩ බලන සභාපති වශයෙන් විජේදාස රාජපක්ෂ මහතා පත් කිරීම මෙතෙක් කල් මෛත්‍රීපාල සිරිසේන මහතාට සමීපව සිටී තිලංග සුමතිපාල, සජින් වාස් ගුණවර්ධන, දයාසිරි ජයසේකර ආදීන් ගේ දැඩි විරෝධයට හේතු වී තිබෙනවා. මේ නිසා දැන් ඔවුන් ද මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රසිද්ධියේ විවේචනය කිරීම පටන් අරන්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හවුරුදු 4 කින් වත් මහා සම්මේලනය පවත්වා නැතත් ව්‍යවස්ථාවට අනුව හවුරුදු 2 කට වරක් සම්මේලනයක් පැවැත් විය යුතු යි - කුසල් පෙරේරා කියයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය ගැන අදහස් දක්වන දේශපාලන විචාරක නිදහස් මාධ්‍යවේදී කුසල් පෙරේරා මහතා පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව වසර දෙකකට වරක් පක්ෂ සම්මේලනය පැවැත්විය යුතු නමුත් එම පක්ෂය වසර හතරකින් වත් සම්මේලනයක් පවත්වා නැති බවයි. මේ නිසා එම පක්ෂයේ ලියාපදිංචිය මැතිවරණ කොමිෂන් සභාව විසින් අහෝසි කළ යුතු බව ද ඔහු පෙන්වා දෙනවා.
දැනට මැතිවරණ කොමිෂන් සභාව සතුව ඇති 2018 සංශෝධිත ශ්‍රීලනිප ව්‍යවස්ථාවට අනුව අවසන් වරට පක්ෂයේ මහා සම්මේලනය පැවැත්වූයේ කවදාදැ යි මැතිවරණ කොමිෂම හරියාකාරව සොයා බැලුවේ නම් ශ්‍රීලනිපයේ ලියාපදිංචිය අහෝසි කළ යුතුව තිබූ බව ද කුසල් පෙරේරා පවසනවා.
 - ජගත් -