උණුසුම් පුවත්සතියේ සටහන

ජගත් ගේ සතියේ සටහන – 21

පැනීමක් (පිල්මාරුවක්) මේ සතියේ!??

විපක්ෂ‌යේ මන්ත්‍රීවරුන් එක්ක රනිල් කතාබහක යෙදිලා                   

 

 

 

මේ සතියේ දේශපාලන පිල්මාරුවක් සිදුවන බවට දේශපාලන ආරංචි මාර්ග අතර රාවයක් පැතිර යනවා. ඒ අනුව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දස දෙනකු පමණ ආණ්ඩුවට එක්වීමට යන බවට පැතිර යන මෙම රාවය ආණ්ඩුවේ ආරංචි මාර්ග විසින් තහවුරු කොට තිබෙනවා.

පාර්ලිමේන්තුව මේ සතියේ 04 වැනි දා සිට 07 වැනි දා දක්වා රැස්වන අතර මුදල් ඇමති වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත 04 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත යි. රටේ ආර්ථිකය ස්වාධීන කිරීම සඳහා වන යෝජනා ඇතුළත් මෙම පනත් කෙටුම්පත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ආණ්ඩුව ඇති කර ගෙන තිබෙන එකඟතාව මත ඉදිරිපත් කරන බවයි ආණ්ඩුව කියන්නෙ.

රාජිත සජිත් ගෙ කෝල් එකට නෝරිප්ලයි?                     

ජාතික ජන බලවේගය හා සමගි ජන බලවේගය මෙම පනත් කෙටුම්පතට විරෝධය දක්වන නමුත් සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව් ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න හා කබීර් හෂීම් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම පනත රටේ ඉදිරි ගමනට වැදගත් බව පවසමින් එයට පක්ෂව අදහස් දක්වා තිබුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සති කිහිපය තුළ ම ආර්ථික පනත් කෙටුම්පත පිළිබඳව විපක්ෂ‌යේ මන්ත්‍රීවරුන් සමඟ කතිකාවතක් පවත්වා ති‌බෙනවා.

ඒ අනුව මෙම පාර්ලිමේන්තු සතිය තුළ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට යාමට පිල් මාරු කිරීමට නියමිත බව ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කළා.

සජිත් කලබල වෙලා!

පිල් මාරුවෙන් පසු මෙම මන්ත්‍රීවරුන් පිරිස විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා සිය ස්ථාවරය රටට හෙළි කිරීමට යන බව ද වාර්තා වෙනවා. ඉන්පසු විපක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් අදියර කිහිපයකින් ආණ්ඩුවට එක්කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම කොට ඇති බව ද දැනගන්නට තිබෙනවා.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට එක්වීමට යන බවට ප්‍රචාරය වී ඇති මන්ත්‍රීවරුන්ට පෞද්ගලිකව දුරකතන ඇමතුම් දෙමින් ඔවුන් පක්ෂය තුළ රඳවා ගැනීමේ උත්සාහයක යෙදී සිටින බව සමගි ජන බලවේගයේ ආරංචි මාර්ග පවසනවා.

දොස්තර රාජිත සේනාරත්න මහතා ද ආණ්ඩුවට එක්වීමට යන බවට කලක සිට ආරංචි පැතිර ගොස් තිබුණා. මෙවර ද ඔහු ජුනි 04 වැනි දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශක් කොට ආණ්ඩු පක්ෂයට යන බවට පසුගිය සතියේ පැතිර ගිය ආරංචියක් නිසා සජිත් ප්‍රේමදාස මහතා ද කලබල වී සිටින බවයි දැන ගන්නට තිබෙන්නේ.

රාජිත සේනාරත්න මහතා ගේ උපන් දිනය පසුගිය සතියේ යෙදී තිබූ අතර ඔහුට සුබ පැතීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා දුරකතන ඇමතුම් ගණනාවක් ම ගෙන තිබුණා. එහෙත් එම ඇමතුම් වලට ප්‍රතිචාර නොලැබීම නිසා විපක්ෂ නායකයා රාජිත සේනාරත්න මහතා ගේ බිරිඳ වන සුජාතා සේනාරත්න මහත්මියට දුරකතන ඇමතුමක් දී ඇය මඟින් රාජිත සේනාරත්න මහතාට කතා කොට උපන් දිනයට සුබ පතා තිබෙනවා. එම දුරකතන ඇමතුම අතරතුර මන්ත්‍රී තුමා ''මාව දාලා යන්නෙ නැහැ නේදැ" යි සජිත් ප්‍රේමදාස මහතා විමසූ විට ''මොන පිස්සුද විපක්ෂ නායක තුමා" යනුවෙන් රාජිත සේනාරත්න මහතා සිනා සෙමින් පිළිතුරු දුන් බවයි දැනගන්නට තිබෙන්නේ.

රාජිතට සමහර මාධ්‍යවලින් පහරදීම අරඹලා

රාජිත සේනාරත්න මහතා ජුනි 04 වනදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකර ආණ්ඩුවට එක්වීමට යන ආරංචිය පැතිර යාමත් සමඟ සමගි ජන බලවේගයට සම්බන්ධ මාධ්‍ය ඔස්සේ රාජිත සේනාරත්න මහතා ගේ දේශපාලන ඉතිහාසය ගෙන හැර දක්වමින්, ඔහු වරින් වර පක්ෂ මාරු කර ඇති බව සඳහන් කරමින්  ඔහුට පහර ගැසීමට පටන්ගෙන තිබෙනවා.

සමගි ජන බලවේගයට හිතවත් මාධ්‍ය මෙසේ රාජිත සේනාරත්න මහතාට ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන ඇත්තේ මෙවර ඔහු ස්ථිරවම ආණ්ඩුවට යන බවට තහවුරු වී ඇති නිසා බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.

රාජිත සේනාරත්න මහතා ආණ්ඩුවට එක්වුව හොත් ඔහුට සෞඛ්‍ය ඇමති ධූරය ලබාදීමට නියමිත බව ද දැන ගන්නට තිබෙනවා.

ඔහු සමඟ ආණ්ඩුවට එකතු වන අනිකුත් මන්ත්‍රීවරුන් ''ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක" යින් සේ පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කොට ඇති බව ද ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසනවා.

මේ හැර අරගලය පැවති සමයේ ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වී ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත් මන්ත්‍රීන් පිරිසක් ද මේ සතියේ ආණ්ඩුවට එක්වීමට නියමිත බව ද එම ආරංචි මාර්ග තව දුරටත් සඳහන් කරනවා.

⋆   ⋆   ⋆   ⋆   ⋆

25 ක් විපක්ෂයෙන් ගන්න... නැත්තං.... ! මහින්ද රනිල්ට කියලා

ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට පොදුජන පෙරමුණේ සහයෝගය ලබාදීමට නම් නි 15 වැනි දාට පෙර විපක්ෂයේ මන්ත්‍රීන් 25 ක් වත් ආණ්ඩුවට එකතු කර ගන්නා ලෙස ‌‌‌පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැ යි එම පක්ෂයේ ආරංචි මාර්ගවලින් දැන ගන්නට තිබෙනවා.

එසේ කළ නොහැකි වුවහොත් පොදුජන පෙරමුණ විසින් ජනාධිපති අපේක්ෂකයකු නම් කොට ජුනි 17 වැනි දා ඒ බව ප්‍රකාශට පත්කරන බව ද තුන්වැනි පාර්ශ්වයක් හරහා මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දුන් බවයි වාර්තා වන්නේ.

සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීන් 25 ක් පමණ ආණ්ඩුවට එක්වීමට කැමැත්ත දක්වා ඇතැ යි ජනාධිපතිවරයා මීට පෙර මහින්ද රාජපක්ෂ මහතාට දන්වා තිබුණු අතර එම පිරිස ජුනි 15 වැනිදා ට පෙර ආණ්ඩුවට එක්කර ගන්නැ යි රාජපක්ෂ මහතා පණිවිඩය යවා ඇත්තේ ඒ අනුව බව ද පැවසෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ජුනි 17 වැනි දා හෙළිකරන බව පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා මාධ්‍ය හමුවක දී පවසා තිබුණේ මේ හේතුව නිසා බව ද එම පෙරමුණේ ආරංචි මාර්ග තව දුරටත් සඳහන් කරනවා.

⋆   ⋆   ⋆   ⋆   ⋆

                අහෝ බලව ශ්‍රීලනිප යට වෙච්ච දෙයක්

ශ්‍රී ලංකාවේ පැරණි ම දේශපාලන පක්ෂ අතරින් 4 වැනි තැන ගන්නා 1952 දී, දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා විසින් ආරම්භ කරන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට නිසි නායකත්වයක් හා පැහැදිලි වැඩපිළිවෙළක් නොමැතිව නන්නත්තාර වී ඇති අන්දම ශ්‍රීලනිපයේ පාක්ෂිකයින්ගේ හා හිතවතුන් ගේ ද ආධාරකරුවන් ගේ ද දැඩි කනස්සල්ලට හේතු වී තිබෙනවා.

මේ වන විට එම පන්ෂයේ බලය හිමි වී තිබෙන්නේ ආණ්ඩුවේ ඇමති හා රාජ්‍ය ඇමති තනතුරු දරණ නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න ඇතුළු කණ්ඩායමටයි. පක්ෂයේ අනුශාසකවරියක වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති එම පක්ෂයේ රැස්වීමක දී මේ කණ්ඩායම පක්ෂ නායකත්වයට පත්වුණා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සභාපති ධූරයේ කටයුතු වළකාලමින් අධිකරණයේ වාරණ නියෝගයක් බා සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන් ටික දිනකට පසු නාවල උත්සව ශාලාවක දී පිරිසක් රැස්කොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂාය් විධායක සභාවක් පවත්වා අධිකරණ ඇමති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා එහි සභාපති ලෙසත් කීර්තා උඩවත්ත මහතා පක්ෂයේ මහ ලේකම් ලෙසත් පත් කරගනු ලැබුවා.

කඩුවෙල දිසා විනිසුරු තුමිය ගේ නියෝගය

එයට එරෙහිව අධිකරණය හමුවට ගිය දුමින්ද දිසානායක හා ලසන්ත අලගියවන්න යන මහත්වරු විජයදාස රාජපක්ෂ හා කීර්ති උඩවත්ත මහත්වරුන්ට පක්ෂයේ තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් ලබා ගත්තා.

ඉන්පසු විජයදාස රාජපක්ෂ මහතා තමාට පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කරගෙන යාමට බාධා නොකරන ලෙසට කඩුවෙල දිසා අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන තිබුණා.

එහෙත් පසුගි බ්‍රහස්පතින්දා ඔහුගේ පෙත්සම යළි විභාගයට ගත් කඩුවෙල දිසා විනිසුරුවරිය වජයදාස රාජපක්ෂ මහතා සභාපති ධූරයට පත්කර ගනු ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභා රැස්වීම නීත්‍යානුකූල නොවන බවට තීන්දු කරමින් ඔහු පක්ෂ සභාපති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කළා.

මේ තත්ත්වය යටතේ මේ වන වි‌ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශාල අර්බුදයකට පත්වී තිබෙනවා.

ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය නිමල් සිරිපාල කණ්ඩායම විසින් අල්ලා ගෙන එහි කටයුතු කරගෙන යන අතර විජයදාස රාජපක්ෂ කණ්ඩායම වැල්ලවත්ත ප්‍රදේශයේ ගොාඩනැගිල්ලක් ඔවුන්ගේ කටයුතු සඳහා යොදා ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ අතර ශ්‍රී ලංක‌ා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයකු වන, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ලෙස කටයුතු කරන තිලංග සුමතිපාල මහතා පක්ෂයේ නිමල් සිරිපාල කණ්ඩායම හා විජයදාස රාජපක්ෂ කණ්ඩායම එකතු කිරීම සඳහා දෙපාර්ශ්වය සමඟ සාකච්ඡා පවත්වා ගෙන යන බව ද දැනගන්න‌ට තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම් දෙක අතර පවත්නා මේ අර්බුදය නිසා එම පක්ෂයට ඉදිරියේ පැවැත්වෙන කිසිදු මැතිවරණයක් තරග කළ නොහැකි වනු ඇතැ යි දේශපාලන විචාරකයින් පවසනවා.

⋆   ⋆   ⋆   ⋆   ⋆

රංගෙ ගෙ යෝජනාවෙන් රට ම කැලඹිලා

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ ලහිලහියේ සූදානම් වෙමින් සිටින අවස්ථාවක පසුගිය සතියේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයකින් දේශපාලන ක්ෂේත්‍රය මහත් සේ කැලඹී ගියා.

ඒ ජනාධිපතිවරණය හා මහ මැතිවරණය වසර දෙකකින් කල් දමා ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට රාජ්‍ය පාලනය කරගෙන යෑමට ඉඩදිය යුතු බවටත්, ඒ සඳහා ජනතා අනුමැතිය ගැනීමට ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවටත් රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කිරීම නිසයි.

මෙයට සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් දැඩි විරෝධය පළකළා.

ජාතික ජන බලවේගය හා සමගි ජන බලවේගය පැවසුවේ රංගේ බණ්ඩාර මහතා මෙම ප්‍රකාශය කළේ රනිල් වික්‍රමසිංහ මහතාගේ උවමනාවට බවයි.

                      රංගෙට ලොක්කා ාඳටෝම දෙහි කපල ලු

එක්සත් ජාතික පක්ෂයේ රවි කරුණානායක, නවීන් දිසානායක, සමන්රත්නප්‍රිය ඇතුළු පිරිසක් ද මහ ලේකම්වරයා ගේ මේ ප්‍රකාශයට දැඩි විරෝධය පළ කළා.

රංගේ බණ්ඩාර මහතා විසින් සිදුකළ මෙම ප්‍රකාශය ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, සාගල රත්නායක, වජිර අබේවර්ධන, රවි කරුණානායක හා රුවන් විජේවර්ධන යන පක්ෂයේ ජ්‍යෙෂ්ඨ පෙළ පසුගිය අඟහරුවාදා රාත්‍රියේ නිවසට කැඳවා දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව ද දැනගන්නට තිබෙනවා.

ඒ අවස්ථාවේ ජනාධිපතිවරයා පාලිත රංගේ බණ්ඩාර මහතා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක වී තිබෙනවා.

තවත් පැය කීපයකට පසු ඔහු දුරකතනයට සම්බන්ධ කරගෙන ඇති ජනාධිපති එම ප්‍රකාශය ගැන රංගේ බණ්ඩාර මහතාට තදින් ම දොස් පැවරූ බව ද වාර්තා වෙනවා.

පසුව ජනාධිපතිවරයා තරුණ නීතිවේදීන්ගේ සමුළුවක දී පැවසුවේ ජනාධිපතිවරණය නියමිත පරිදි පවත්වන බව යි.

කෙසේ වුවද මෙම ප්‍රශ්නය හා ජනාධිපතිවරණය පිළිබඳ තීන්දු ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විශේෂ රැස්වීමක් අද (02) පැවැත්වීමට නියමිත බව යි සිරිකොත මූලස්ථානයෙන් වාර්තා වෙන්නේ.

-  ජගත්  -