උණුසුම් පුවත්සතියේ සටහන

ජගත් ගේ සතියේ සටහන – 22

පොහොට්ටුවෙන් අලුත් ම පුටුවක් රෝහිතට හදල

රනිල් කාර්යාලයක් විවෘත කරල  ජනපතිවරණ වැඩ අරඹලා

මෙතෙක්  දවස්  තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 06 වැනි දා කොළඹ ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවතේ පිහිටි ගොඩනැගිල්ලක සිය දේශපාලන කාර්යාලය විවෘත කළා.

මේ අවථාවට ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය හා අගමැති දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, වෛද්‍ය රමේෂ් පතිරණ. බන්දුල ගුණවර්ධන, ටිරාන් අලස්, ජීවන් තොණ්ඩමන්, වජිර අබේවර්ධන හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහත්වරු ද සහභාගි වූ අතර එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුවේ කිසිවකුත් පැමිණ කොසිටි බව ද වාර්තා වෙනවා.

ජනාධිපතිවරයා මේ දිනවල දිනපතා ම මහ ජනතාව සහභාගි වන උත්සව, විවිධ වෘත්තිකයින් ගේ රැස්වීම් ආදියට යාමට ද පටන් ගෙන ඇති අතර පසුගිය සතියේ ගංවතුරින් පීඩාවට පත් අයගේ සුවදුක් බැලීම සඳහා කොළොන්නාව, කැලණිය ආදී ප්‍රදේශවල සංචාරය කොට තිබුණා. ඔහු ස්ථිර වශයෙන් ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව මෙයින් තහවුරු වන්නේ යැ යි දේශපාලන විචාරකයින් පවසනවා.

මේ අතර විදුලිබල මණ්ඩලය ප්‍රතිසංවිධානය සඳහා වූ විදුලි පනත් කෙටුම්පත පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන්  සම්මත වුණා. මෙම පනත් කෙටුම්පත් සම්මත වීමෙන් පසු එදින සන්ධ්‍යාවේ බත්තරමුල්ලේ 'වෝටර් ඒජ්' හෝටලයේ දී ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීන් සාදයක් ද පවත්වා තිබෙනවා. ඇමති ප්‍රසන්න රණතුංග මහතා විසින් කලින් සූදානම් ‌ොකට තිබූ මෙම සාදයේ සංවිධාන කටයුතු ඔහු විසින් කංචන විජේසේකර ඇමතිවරයාට භාරදී තිබුණේ රණතුංග මහතාට හදිසියේ ජපානයට යෑමට සිදුවී තිබුණ නිසා බවයි පැවසේනේ.

ප්‍රසන්න ඇරේන්ජ් කළ පාටියට පොපෙ මන්තිරි උත්තමයෝ 40 ක්       

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 40 ක් පමණ සහභාගි වූ මේ සාදයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද පැමිණ තිබෙනවා. පසුව එම මන්ත්‍රීවරුන් හා ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් විශේෂ කාමරයක පවත්වා ඇති අතර එයට ආරක්ෂයින්ට හෝ හොටල් සේවකයින්ට හෝ ඇතුළට පැමිණීමට අවසර නොලැබුණු බවයි දැනගන්නට තිබෙන්නේ.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ''මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. හැබැයි පොදු අපේක්ෂකයෙක් විදියට. මොකද පොහොට්ටුව වගේ ම තවත් දේශපාලන පක්ෂ හා තවත් සන්ධාන මාත්තෙක්ක එකතු වෙනවා"යනුවෙන් සිය ස්ථාවරය දැනුම් දුන් බව අභ්‍යානත්ර ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා.

මේ අතර සමගි ජන බලවේගයේ දොස්තර රාජිත සේනාරත්න මහතා ඇතුළු මන්ත්‍රීන් පිරිසක් පසුගිය සතියේ ආණ්ඩුවට එක්වන බවට රාවයක් පැතිර තිබුණා. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ ගැන කලබල වී ආණ්ඩුවට යනු ඇතැ යි සැක කරන මන්ත්‍රීවරුන්ට දුරකතනයෙන් ඇමතුම් දී ඒ ගැන විමසූ බවත් දැනගන්නට තිබෙනවා.

එහෙත් ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසන්නේ ආණ්ඩුවට එකතුවීමට සූදානම්ව සිටි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කොට නාමයෝජජනා කැඳවන තෙක් පක්ෂයේ ම රැඳී සිටින ලෙස රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන් බවයි.

එම මන්ත්‍රීවරුන් සමඟ ජනාධිපති වික්‍රමසිංහ මහතා නිරතුරුව ම සංවාදයක් පවත්වන බවත් දැනගන්නට තිබෙනවා.

විජයදාසට විනය පරීක්ෂණ                         

මේ අතර පොදුජන පෙරමුණ ද ඉදිරි ජනාධිපතිවරණය සඳහා සිය සංවිධාන කටයුතු වේගවත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව සහ දේශපාලන මණ්ඩලය පෙරේදා (07) කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දී ඔහුගේ ප්‍රධානත්වයෙන් රැසුවුණා.

පොහොට්ටුවේ අලුත් ම පුටුවක් ලද රෝහිත අබේගුණවර්ධන

පක්ෂයේ මීට පෙර නොතිබුණු 'ජාතික කැඳවුම්කරු' තනතුරක් ඇති කිරීමට එහිදී තීරණය වී ඇති අතර ඒ සඳහා රෝහිත අබේගුණවර්ධන මහතා ඒකමතිකව පත්කර ගෙන තිබෙනවා. මෙය පක්ෂයේ ජාතික සංවිධායක තනතුරට අමතරව යි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළේ වැඩබලන සභාපති ලෙස කටයුතු කරන ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය දරමින් සිටිය දී වෙත් පක්ෂයක තනතුරක් දැරීම ගැන ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්වීමට මෙහිදී තීරණය වූ බව පොදු පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළා.

කලාවැව ආසනයෙන් පසුගියදා ආරම්භ කළ පක්ෂයේ රැස්වීම් මාලාව දිගටම පවත්වා ගෙන යෑමට හා එහි සංවිධාන කටයුතු ගැන ද මෙම රැස්වීමේ දී සාකච්ඡා කොට තිබෙනවා.

බොරු කියන්නේ මාධ්‍ය ද පාඨලී ද?

මේ අතර එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක සහ නිදහස ජනතා සභාවේ නයක ඩලස් අලහප්පෙරුම, මානුෂීය ජනතා සන්ධානයේ නායක දයාසිරි ජයසේකර ඇතුළු විපක්ෂයට ගොස් සිටින මන්ත්‍රීන් මේ දවස්වල ඉදිරි මැතිවරණයක දී තම මන්ත්‍රීධූර රැකගත හැකි පක්ෂ සමඟ එක්වීම ගැන සාකච්ඡා පවත්වමින් සිටින බව ද වාර්තා වෙනවා.පාඨලී චම්පික රණවක මහතා පසුගිය දිනවල ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකා නිදස් පක්ෂයේ මෛත්‍රී පිළේ නායක ‌‌ෙමෙත්‍රීපාල සිරිසේන  මහත්වරුන් හමුවීමට ගොස් සාකච්ඡා කොට තිබෙනවා.

ඉදිරි ජනාධිපතිවරණයේ දී පොදුජන පෙරමුණ  රනිල් වික්‍රමසිංහ මහතාට නොදක්වන්නේ නම්, පොදුජන පෙරමුණේ අපෙක්ෂක වීමට තමන් සූදනම් බව ද ඔහු එම සාකච්ඡාවල දී බවසූ බවට ද ආරංචි මාර්ග පවසනවා.

එහෙත් එම පක්ෂවල ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබෙන්නේ පාඨලී චම්පික රණවක මහතා පැවති සාකච්ඡා අසාර්ථක වී ඇති බවයි. රණවක මහතා සමගි ජන බලවේගය සමඟ දෙවතාවක් ම සාකච්ඡා පවත්වා ඇති නමුත් සාර්ථක වී නෑ.

මෙම සාකච්ඡාවලින් මාධ්‍යවලින් අනාවරණය වූ විට එක්සත් ජනරජ පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් එම වාර්තා ප්‍රතික්ෂේප කළා.

''අප සමගි ජන බලවේගය ඇතුළු බොහෝ පක්ෂ සමඟ සාකච්ඡා සිදුකරන ලද්දේ අප්‍රසිද්ධියේ නොව ප්‍රසිද්ධියේ ය"

''අප පක්ෂය එම පක්ෂ සමඟ සාකච්ඡා කළේ දේශය වෙනුවෙන් එක්වන පියවරක් යන රට ගොඩනඟන වැඩපිළිවෙළ පිළිබඳව"

''එමෙන් ම එම වැඩපිළිවෙළ සාකච්ඡා කිරීමට ජාතික ජන බලවේගයෙන් ප්‍රතිචාරයක් නොලැබුණු අතර රට බංකොළොත් කිරීමට දායක වූ දේශපාලන පක්ෂ සමඟ අප සාකච්ඡා නොකරන බව අප ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටිමු" යැ යි ද එක්සත් ජනරජ පෙරමුණ එම නිවේදනයෙන් දක්වා තිබෙනවා.

දිලිත් ඕස්‌ට්‍රේලියාවෙත් ජනාධිපතිවරණ වැඩ අරඹලා 

මේ අතර පසුගියදා විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු කණ්ඩායම විසින් පිහිටුවා ගනු ලැබූ 'සර්ව ජන බලය' එම සංවිධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස 'මව්බිම' ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා නම් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැ යි ද එහි ආරංචි මාර්ග දක්වනවා.

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා මේ දිනවල ඕස්‌ට්‍රේලියාවේ සංචාරයක නිරත වෙමින් ඉන්නෙ. ඒ ඔහුගේපක්ෂයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන්.

හෙට එනම් සඳුදා (10) පස්වරුවේ මෙල්බර්න් හි මොනෑෂ විශ්වවිද්‍යාලයීය ක්ලේටන් ම්ණඩප ශාලාවේ දී ඔහු සහභාගි වන පළමු රැස්වීම පැවැත්වෙනවා.

මෙල්බර්න් හි සිටින ශ්‍රී ලංකිකයින් වීශාල පිරිසකට මෙම රැස්වීම සඳහා සහභාගි වීමට ආරාධනා කර ඇති අතර  ආචාර්ය දිනේෂ් පලිපාන, ආචාර්ය රසිකා කුමාරසිංහ, ජමිත පතිරණ යන මහත්ම මහත්මිහු  මෙහිදී දේශන පැවැත්වීමට නියමිත බව ද සංවිධායකයින් පවසනවා.

ජනාධිපතිවරණයට ලහිලහියේ සූදානම් වන සමගි ජන බලවේගය, ඔවුන්ගේ රැස්වීම්වලට අමතරව සමාජිකයින්  ලක්ෂ 20 ක් බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කොට තිබෙනවා.

අලුතෙන් පක්ෂ සාමාජිකයින් ලක්ෂ 20 ක් - තිස්ස කියයි

මේ සඳහා ආසන හා දිස්ත්‍රික් සංවිධායකයින් සිය පාක්ෂිකයින් ගෙන්ගෙට යවා අලුත් සාමාජිකයින් බඳවා ගැනීම මේ දිනවල සිදුකර ගෙන යන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසනවා.

ජාතික ජන බලවේගය ද සාමාජිකයින් බඳවා ගැනීමේ දින 45 ක වැඩසටහනක් පසුගගිය මැයි 15 වැනි දා ආරම්භ කළ අතර එය මේ මස අවසන් වන තෙක් ක්‍රියාත්මක කරන බව ජාතික ජන බලවේගයේ දේශපාලන මණඩල සභික ලාල් කාන්ත මහතා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද ගමින් ගමට ගොස් පක්ෂ ශඛා, තරුණ හා කාන්තා සමිති පිහිටුවීමට යන අතර එම කටයුතු මෙහෙයවීම ජාතික කැඳවුම්කරු රෝහිත අබේගුණවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන බව නෙළුම් මාවත පොදුජන පෙරමුණ කාර්යාලයේ ප්‍රකාශකයකු කියා සිටියා.

On-line වීසා බලවත් වෙලා? හර්ෂට මරණීය තර්ජන??

 

පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවේ හෙවත් කෝපා කමිටුවේ සභාපති ආචාර්ය හර්ෂ ද

 සිල්වා මහතා මුදල් කාරක සභාවේ කටයුතු කරගෙන යෑමේ දී තමන්ට මරණ තර්ජන එල්ල වී ඇතැ යි පෙරේදා (07) පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හෙට (10) එම දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා.

 තමා එම කාරක සභාවේ සභාපති ධූරයෙන් ඉවත් කිරීම සඳහා එහි මන්ත්‍රීවරුන් ගේ අත්සන් ලබා ගැනීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙී ඇති බවආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කතානායකවරයාට පැමිණිලි කළා.

තමාට මෙම තර්ජන එල්ල වන්නේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මඟින් ආරම්භ කර ඇති කටුනායක ගුවන් තොටුපළේ දී ඔන්ලයිව් (On-line) වීසා නිකුත් කිරීම පෞද්ගලික සමාගමක් මඟින් නිකුත් කිරීම ගැන මුදල් සභාව මඟින් පරීක්ෂ ඇරඹීමත් සමඟ බව ද ඒ මහතා පැවසුවා.

ඔහුගේ මෙම ප්‍රකාශයෙන් පසු මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුණා. එම දෙපාර්තමේන්තුව හර්ෂ ද සිල්වා මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නේ ඒ අනුව බව ද දැනගන්නට තිබෙනවා.

-  ජගත්  -