13 වැනි සංශෝධන සූදුව ආපහු කෙළින වහන්දෑලා
රනිල් ගෙ ඡන්ද හටන් ප්‍රචාරයට තවත් කාර්යාලයක් බම්බලපිටියෙ

ජනාධිපතිවරණය ඔක්තෝම්බර් මාසයේ පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇතත් ඔහු එයට ඉදිරිපත් වෙන බව මෙතෙක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට නැහැ.
ජනාධිපතිවරණය සහ වත්මන් දේශපාලන තත්වය ගැන දීප ව්‍යාප්ත සමීක්ෂණයක් පැවැත්වීමට රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකට සමීක්ෂණ ආයතන දෙකකට බාරදී තිබෙන බවත් ඒවායේ වාර්තා ජූලි මස මැදදී ලැබීමෙන් පසු ඔහු ජනාධිපතිවරණයට තරග කිරීම ගැන තීරණයක් ගනු ඇති බවත් ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග පවසනවා.
එසේ වූවත් මේ වන විටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කොට ඇති බව පෙනී යනවා. පසුගිය ද කොළඹ ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවතේ දී වික්‍රමසිංහ මහතා ගේ දේශපාලන කාර්යාලයක් විවෘත කිරීමෙනුයි ඔහුගේ ඡන්ද ප්‍රචාරක කටයුතු ආරම්භ වුණේ.
ඉකුත් සතියේ බම්බලපිටියේ ලොරිස් පටුමගේ පිහිටි සිව් මහල් ගොඩනැගිල්ලක ජනාධිපතිවරයා ගේ තවත් ඡන්ද ප්‍රචාරක කාර්යාලයක් අරඹණු ලැබුවා. මේ අවස්ථාවට ප්‍රසන්න රණතුංග, මනූෂ නානායක්කාර හා හරීන් ෆ්‍රනාන්දු යන ඇමතිවරුන් ද, මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා හා ජනාධිපති උපදේශක සාගල රත්නායක යන මහත්වරු ද සහභාගි වී තිබෙනවා.


පෞද්ගලික රූපවාහිනී, ගුවන්විදුලි, පුව්ත්පත් සහ සමාජ මාධ්‍යවල සේවය කරන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් පිරිසක් ද මෙම කාර්යාලයේ කටයුතු සඳහා බඳවා ගෙන ඇති බව ද පැවසෙනවා.
රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කමිටුවේ රැස්වීමක් ද මෙම ගොඩනැගිල්ලේ දී කංචන විජේසේකර ඇමතිවරයා ගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති අතර ටිරාන් අලස්, ෂෙහාන් සේමසිංහ, ශාන්ත බණ්ඩාර හා දුමින්ද දිසානායක, අකිල කාරියවසම් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගි වී තිබෙනවා.
ජනාධිපතිවරයාට සහයෝගය පළ කරමින් රූපවාහිනී සංවාද හා මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමට ද මෙහිදී තීරණය වූ බවයි දැන ගන්නට තිබෙන්නේ.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල කණ්ඩායම, නිමල් ලංසා හා අනුර ප්‍රියදර්ශන යාපා ලාගේ සන්ධානය සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ සාකච්ඡාවක් පසුගිය 09 වන දා බත්තරමුල්ලේ මොනාෂ් ඉම්පීරියල් හෝටලයේ දී පවත්වා තියෙනවා. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඔවුන් ගේ ආරක්ෂකයින් නොමැතිව පැමිණ සිටි බවයි පැවසෙන්නේ.
රාජපක්ෂවරුන්ගෙන් තොර නව සන්ධානයක් පිහිටුවීම ගැන මෙහිදී සාකච්ඡා වූ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පණහකට අධික පිරිසක් මෙම සන්ධානයට එකතු වන බවත් වාර්තා වෙනවා.

මෙම සන්ධානයේ ව්‍යවස්ථාව සති තුනක් ඇතුළත සකස් කිරීම සඳහා තිදෙනකුගෙන් යුත් කමිටුවක් ද මෙහි දී පත් කර ගෙන තිබෙනවා. නව සන්ධානයේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන රනිල් වික්‍රමසිංහ මහතාට ආධාර කිරීම බව එහි එක් නායකයකු ජගත් හා පැවසුවා. මේ සන්ධානයේ මීළඟ රැළිය ජුනි 29 වන දා වැල්ලවායේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද ඔහු සඳහන් කළා.
මේ අතර පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු 69 ලක්ෂයේ ජනවරම තමන් වෙත යොමු කර ගැනීමට විමල් වීරවංශ, උදය ගම්මන්පිළ හා දිලිත් ජයවීර මහත්වරුන්ගෙන් යුත් සර්වජන බලය කටයුතු කරගෙන යනවා.
ලක්ෂ 69 යේ විකල්පය සර්ව ජන බලය

හැටනම ලක්ෂයේ බලාපොරොත්තු යළි බලගැන්වීම අරමුණු කොටගත් සර්ව ජන බලයේ මංගල රැළිය ජුනි 18 වැනිදා පස්වරු 2. 00 ට නුගේගොඩ දී පවැත්වෙන අතර විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, චන්න ජයසුමන, විරසුමන වීරසිංහ ඇතුළු මන්ත්‍රීවරු රැසක් එහිදී ජනතාව ඇමතීමට නියමිත බව සර්වජන බලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළා.
මෙම රැළියෙන් පසු රටපුරා රැස්විම් මාලාවකුත් පැවැත්වීමට ද එම සන්ධානය තීරණය කොට තිබෙනවා.
සර්ව ජන බලය පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරා ගෙන ගිය 69 ලක්ෂයට නැවත ඡන්දය දීමට තරම් නායකයකු මේ අවස්ථාවේ ඊට නැති බවයි. මේ වන විට ජනාධිපතිවරණයේ ඉදිරියෙන් සිටින සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායත හා රනිල් වික්‍රමසිංහ යන තිදෙනා ම 2015 යහපාලන ආණ්ඩුවේ හෝ එයට සහාය පළකළ අය බැවින් ඔවුනට ඡන්දය දීමට නොහැකි. එබැවින් ඒ සඳහා නව නයකත්වයක් අවශ්‍ය බවයි උදය ගම්මන්පිල මහතා පවසන්නේ.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා දේශපාලන පක්ෂ හා කණ්ඩායම් සන්ධානගත වීමට කටයුතු කරගෙන යන බව මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ කටයුතු දෙස බලන විට පෙනී යන කාරණයක්. සමගි ජන බලවේගය ද, එහි හවුල්කාර පක්ෂ සහ තවත් පක්ෂ කිහිපයක් සමඟ 'සමගි ජන සන්ධානය' නමින් නව සන්ධානයක් මේ මස අගදී පිහිටුවන බව එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවා. ආණ්ඩු පක්ෂයෙන් මෙන් ම එක්සත් ජාතික පක්ෂයෙන් ද පිරිස් මෙයට එක්වනු ඇති බව ද ඔහු සඳහන් කළා.
පනින්න සුදානම් කට්ටිය දෙපැත්තෙ ම ලු
ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තරග කරන්නේ නම් නිමල් සිරිපාල, නිමල් ලංසා හා අනුර ප්‍රියදර්ශන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේ පිහිටුවා ගනු ලැබූ නව සන්ධානයට එක්වීමට පොදුජන පෙරමුණේ සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් පිරිසක සූදානමින් සිටින බව ද වාර්තා වෙනවා.
ඩලස්, චරිත, චම්පික, දයාසිරි??



මේ අතර නිදහස ජනතා සභාවේ නායකයින් වන ඩලස් අලහප්පෙරුම, හා චරිත හේරත්, මානුෂික ජනතා සන්ධානයේ නායක දයාසිරි ජයසේකර, ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක ඇතුළු පිරිසක් කිසිදු තීරණයක් ගත නොහැකි තත්වයකට පත්වී සිටින බව ද දැනගන්නට තිබෙනවා.
ඩලස් අලහප්පෙරුම මහතා ජාතික ජන බලවේගය සමඟ එක්වීමට අපේක්ෂාවෙන් සිටින නමුත් ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ගෙන් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබී නැහැ. මේ නිසා දැන් ඩලස් හා චරිත හේරත් ඇතුළු නිදහස් ජනතා සභාවේ ඉතිරි වී සිටින මන්ත්‍රී පිරිස සමගි ජන බලවේගයට එක්වීමට යනු ඇති බවට ද වාර්තා පළවෙනවා.
දයාසිරි ජයසේකර මහතා ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල මහතා සමඟ සමගි ජන බලවේගයට එකතුවීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා සමඟ සාකච්ඡා කොට ඇති බව ද ආරංචි මාර්ග පවසනවා.
පාඨලී චම්පික රණවක මහතා ද පසුගිය දිනවල සජිත් ප්‍රේමදාස මහතා ද, පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ද හමුවී, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම් තමා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වීමට සූදානම් බව පැවසූ බවත් එහෙත් බැසිල්ගෙන් එයට සතුටුදායක ප්‍රතිචාරයක් නොලබුණු බවත් වාර්තා වෙනවා.
රොෂාන් දේශපාලනයට ටටා කියයි ද?

මේ අතර පසුගිය දා නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගෙන එයින් පොළොන්නරුවේ මැයි දිනයක් ද තනිවම පැවැත් වූ හිටපු ක්‍රීඩා ඇමතිවරයකු වන රොෂාන් රණසිංහ මහතාට ද දේශපාලන පක්ෂවලින් හා ජනතාවගෙන් සාර්ථක ප්‍රතිචාර ලැබී නැහැ. මෙනිසා තමා දේශපාලනයෙන් සම්පූර්ණයෙන් ම ඉවත්වී සිය ව්‍යාපාර කටයුතු කරගෙන යෑමට තීරණය කළ බව රණසිංහ මහතා සිය සමීප හිතවතුන්ට පවසා තිබෙනවා.
---------------------------------------
දෙමළ මනාප ගන්න 13 වැනි සූදුව ආපහු වංගියක්
සජිතුත් දෙනවලු අනුරත් දෙනවලු 
ශ්‍රී ලංකවේ සෑම මැතිවරණයක දී ම මාතෘකාවක් බවට පත්වෙන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මෙවර ජනාධිපතිවරණයේ දී ද මාතෘකාවක් වී තිබෙනවා. ඒ පසුගිය සතියේ උතුරේ සංචාරයක යෙදුණු සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා තම ආණ්ඩුවක් යටතේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ කිරීම නිසයි. ඔහු මේ බව දෙමළ ජාතික සන්ධානයේ නායකයින්ට පවතසා තිබුණා.
ඒ සතියේ ම හදිසියේ ම උතුරට ගිය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද තමා ජනාධිපති වූ පසු 13 වැනි සංශෝධනය කියාත්මක කරන බවට ප්‍රතිඥා දී තිබෙනවා.
1987 දී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සහ ඉන්දීය අගමැති රජීව් ගාන්ධි විසින් අත්සන් කරනු ලැබූ ඉන්දු - ලංකා ගිවිසුම අනුව ඉන්දියාවේ බලවත් ඕනැකම මත පිහිටුවනු ලැබූ පළාත් සභා නීතිගත වුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයෙන්.
මෙම ඉන්දු ලංකා ගිවිසුම ඇතිකර ගත් අවස්ථාවේ එවකට අගමැතිව සිටි ආර්. ප්‍රේමදාස මහතා මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ද දැඩි විරෝධය පළකොට තිබුණා. ජනතා විමුක්ති පෙරමුණ මුල් අවස්ථාවේ පළාත් සබා මැතිවරණය ද වර්ජනය කළා.
ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා 13 වැනි සංශෝධනයට අනුව පළාත් සභ පිහිටුවන ලද නමුත් ඒවාට ඉඩම් සහ පොලිස් බලතල ලබා දුන්නේ නැහැ. ඉන්පසු බලයට පත්වූ ඩී. බී. විජේතුංග සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන හා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරුන් ද පළාත් ෂබාවලට ඉඩම් හා පොලිස් බලතල ලබා දුන්නෙ නැහැ.
එසේ ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වරයාගේ කාලයේ දී නිල කාලය අවසන් වූ පළාත් සභාවල මැතිවරණ පැවැත්වීම ද සිදුකළේ නැහැ.මේ වන විට පළාත් සභා අකර්මණ්‍ය වී වසර පහකට අධික කාලයක් ගතවී තිබෙනවා.

සජිත් ප්‍රේමදාස මහතා උතුරේ දී ප්‍රකාශ කළේ තමා ජනාධිපති වූ පසු ඉක්මනින් ම පළාත් සභා පිහිටුවා 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන බවයි.
මේ අතර දැන් ලන්ඩනයට ගොස් ජාතික ජන බලවේගයේ නායක අනු කුමාර දිසානායක මහතා පසුගිය සතියේ යාපනයට ගොස් දෙමළ ජාතික සන්ධානයේ නායකයින් හමුවී තිබෙන්නේ ලන්ඩනයේ සිටින දෙමළ ඩයස්පෝරාවේ ප්‍රධානීන්ගේ ඉල්ලීමක් මත බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
තමන් බලයට පැමිණි පසු 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කොට පළාත් සභා යළි සක්‍රිය කරන බව ඔහු දෙමළ ජාතික සන්ධානයේ නායකයින්ට පවසා තිබුණා.
අනුර කුමාර දිසානායක මහතා ලන්ඩනයේ දී එහි දෙමළ ඩයස්පෝරාව හමුවී සාකච්ඡා කිරීමට යන බවද වාර්තා වෙනවා.
මේ අතර උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමති සීත වීත විග්නේෂ්වරන් මහතා පවසන්නේ සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර දිසානායක යන මහත්වරුන් අවංකව 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට යනවා නම් ඒ බව ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශනවල සඳහන් කළ යුතු බවයි.
සජිත් සහ අනුර 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශ දකුණේ පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ ආදී පක්ෂවලින් ගුණදාස අමරසේකර ආදීන්ගේ දැඩි විරෝධයට හේතු වී තිබෙනවා.
