උණුසුම් පුවත්කාලීනසතියේ සටහන

ජගත් ගේ සතියේ සටහන – 24

හෙංච්මන් ල ගෙන් ම රාජපක්ෂලට දැඩි විරෝධය

ලංස ලා ගේ යාපා ලා ගේ රාජපක්ෂ විරෝධය

ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිහ මහතාට සහාය දැක්වීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා නිමල් ලංසා, අනුර ප්‍රියදර්ශන යාපාගේ නායකත්වයෙන් යුත් නව සන්ධානය අතර පවතින ගැටුම හේතුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බරපතල අවුලකට මුහුණ පා ඇති බව වාර්තා වෙනවා.

දැඩි රාජපක්ෂ වරෝධයකින් පසුවන නිමල් ලංසාගේ නව සන්ධානය හා නිමල් සිරිපාල ද සිල්වා ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද පසුගියදා ජනාධිපතිවරයාට පවසා ඇත්තේ පොදුජන පෙරමුණේ රාජපක්ෂවරුන් ගේ සහාය ලබා ගන්නවා නම් තම සන්ධානයට ජනාධිපතිවරයාට සහාය දිය නොහැකි බවයි.

එබැවින් ජනාධිපතිවරණයේ දී පොදුජන පෙරමුණ සමඟ එක්වෙනවා ද නැති නම් තම සන්ධානය සිටිනවා ද යන්න පිළිබඳව තීරණයක් ගන්නා ලෙස නිමල් ලංසා, අනුර ප්‍රියදර්ශන යාපා සහ දුමින්ද දිසානායක යන මහත්වරු ජනාධිපතිවරයාට පවසා තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ඡන්ද ව්‍යාපාරය ගැන සෑම සඳුදා දිනයක ම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී රැස්වීමක් පැවැත්වෙන අතර ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායකථ නිමල් ලංසා හා අනුර ප්‍රියදර්ශන යාපා යන අයත් එයට සහභාගි වෙනවා.

 පසුගිය සඳුදා (17) සවස ද මෙම පිරිස ජනාධිපති ලේකම් කාර්යාලයේ රැස් වූ අවස්ථාවේ දී නිමල් ලංසා, අනුර ප්‍රියදර්ශන යාපා දුමින්ද දිසානායක හා නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරු ජනාධිපතිවරයා ගේ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්කර ගැනීමට දැඩි ලෙස විරෝධය පළ කොට තිබෙනවා.

''සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් රාශියක් ජනාධිපතිවරයාට සහාය පළ කරමින් ආණ්ඩුවට එකතුවීමේ බලාපොරොත්තුවෙන් සිටිනවා. ඔවුන් එන්නෙ නැත්තේ පොදුජන පෙරමුණ ජනාධිපතිවරයා සමඟ සිටින නිසයි. ඒ නිසා රාජපක්ෂ ලා සමඟ සිටීම ජනාධිපතිතුමාට අවාසි සහගතයි" නිමල් ලංසා මහතා පවසා තිබෙනවා.

                     අපි එක සැරයක් එපා නම් අපට ඔහේලා සිය සැරයක් එපා

මේ අතර එදින ම එනම් පසුගිය සඳුදා රාත්‍රියේ ජනාධිපතිවරයා ගේ පැජට් පාරේ පිහිටි නිල නිවසේ දී බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ සාකච්ඡාවක් සඳහා හමුවූ බව ද වාර්තා වෙනවා.

ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කරමින් සිටිය දී ප්‍රසන්න රණතුංග මහතා ද එහි පැමිණ තිබෙනවා. සවස ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ තොරතුරු ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපතිවරයාට දැනුම් දෙමින් රාජපක්ෂ ලා එනවා නම් අපි ජනාධිපතිගේ  ඡන්ද ව්‍යාපාරයෙන් අයින් වෙනවා යි නිමල් ලංසා, අනුර ප්‍රියදර්ශන යාපා, මහත්වරුන් ප්‍රකාශ කළ බව පවසා රාජපක්ෂවරු පැත්තකට වී සිටිය යුතු යැයි සඳහන් කළ විට බැසිල් රාජපක්ෂ මහතා,

''ඔහේලට අපි එක සැරයක් එපා නම් අපට ඔහේලා සිය සැරයක් එපා.එහෙනං අපි අයින් වෙන්නම්" යැ යි කෝපයෙන් පැවසූ බව යි වාර්තා වෙන්නේ.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිශ්ශබ්දව සියල්ල අසා සිටි බව ද පැවසෙනවා.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන හා ජාතික ලේකම් රවි කරුණානායක ඇතුළු පිරිස පවසන්නේ ජනාධිපතිවරණයේ දී පොදුජන පෙරමුණේ සහාය නොලැබුණොත් ජනාධිපතිවරයා තුන්වැනියා වීමට ඉඩ ඇති බවයි.

මෙම අර්බුදයට පිළියමක් වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, නිමල් ලංසා ගේ නව සන්ධානය ඇතුළු පක්ෂ එකතු කොට නව සන්ධානයක් පිහිටුවා එහි නායකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්කොට ඔහු ජනාධිපතිවරණයට එම සන්ධානයෙන් ඉදිරිපත් කිරීමේ යෝජනාවක් ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු කන්ඩායම ඉදිරිපත් කොට තිබෙනවා.  එහෙත් බැසිල් රාජපක්ෂ මහතා එයට එකඟ වී නැහැ. පොදුජන පෙරමුණ වෙනත් කණ්ඩායමක් යටතේ කටයුතු නොකරන බව ඔහු පැවසූ බවයි ආරංචි මාර්ග පවසන්නේ.

ජනාධිපතිවරයා ඇතුළු පිරිස සමඟ පැවති හමුවෙන් පසු බැසිල් රාජපක්ෂ මහතා නාමල් රාජපක්ෂ මහතා ද හමුවී සාකච්ඡා කොට ජනාධිපතිවරණයට සූදානම් වන ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට දැනුම් දීමට තීරණය කළ බව නෙළුම් මාවතේ පොදුජන පෙරමුණු මූලස්ථානයෙන් ගලා එන ආරංචි මාර්ගවෙතින් පැවසෙනවා.

රේස් එකට ලෑස්ති ධම්මික පෙරේරා...!??   

ධම්මික පෙරේරා මහතා තම පෞද්ගලික වියදමින් තොරතුරු තාක්ෂණය පාසල් සිසුන් අතරට ගෙනයෑම සඳහා 'ඩි. පී' එඩියුකේෂන් නමින් යූටියුබ් චැනලයක් පවත්වා ගෙන යන අතර රටපුරා පරිගණක පාඨමාලා ද ආරම්භ කොට තිබෙනවා. මෙම පාඨමාලා සම්පූර්ණ කල සිසුන්ට සහතික ප්‍රදානය මේ දිනවල දිස්ත්‍රික් මට්ටමින් සිදු කෙරෙන අතර ඒ සඳහා සිසු සිසුවියන් හා ඔවුන්ගේ දෙමාපියන් ද දහස් ගණනින් පැමිණෙනවා.

පසුගියදා මහනුවර ගැටෙඹ් පැවති 'ඩී. පී එඩියුකේෂන් ආයතනයේ සහතික ප්‍රදානෝතසවයේ දී ධම්මික පෙරේරා මහතා පැවසුවේ පක්ෂයෙන් තෝරා ගන්නවා නම් ජනාධිපතිවරණයට තරග කරන බවයි.

"පක්ෂයෙන් මට කරුණු 10 කින් යුත් ප්‍රශ්නමාලාවක් දී තිබුණා. රැකීරක්ෂා ප්‍රශ්නය විසඳන යෝජනා, අධ්‍යාපන, ආර්ථික ප්‍රතිපත්ති හා රට සංවර්ධනය කළ යුතු ආකාරය, ගැන ද ඒ ප්‍රශ්නමාලාවෙන් විමසා තිබුනා. මම ඒවා සියල්ලට ම පිළිතුරු ඉදිරිපත් කරමින් මගේ වැඩපිළිවෙළ විස්තර කළා" යැ යි ද ඔහු එහිදී මාධ්‍යවේදීන් සමඟ ප්‍රකාශ කළා.

රනිල් වික්‍රමසිංහ හා බැසිල් රාජපක්ෂ මහත්වරුන් අතර මීට පෙර පැවති සාකච්ඡාවක දී පොදුජන පෙරමුණේ සහාය ඇතිව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට තරග කොට ජයගත් පසු අගමැති ධූරයට ධම්මික පෙරේරා මහතා පත්කර ගන්නැ යි බැසිල් රාපක්ෂ මහතා ඉල්ලා තිබෙනවා.

තමා ජනාධිපතිවරණය ජයගත් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වන බවත්, එහිදී වැඩි ආසන සංඛ්‍යාවක් ලබා ගන්නා පක්ෂයෙන් අගමැති පත්කර ගන්නා බවත් වික්‍රමසිංහ මහතා පවසා තිබුණා.

මේ අතර පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා, පොදුජන පෙරමුණ සමඟ ගොස් ජයග්‍රහණය කිරීමට නොහැකි බව පවසන ජනාධිපතිවරයාගේ කඳවුරේ සිටින මැති ඇමතිවරුන් පොදුජන පෙරමුණ අතහැර එම කණ්ඩායමට යාහැකි බව පවසනවා.

පොදුජන පෙරමුණෙන් ඡන්දය ඉල්ලීමට පමණක් සූදානමින් සිටින සහ පොදුජන පෙරමුණෙන් ඡන්දය ඉල්ලා මේ වන විට ස්වාධීනව සිටින අය සමඟ කිසිදු සන්ධාන ගත වීමක් සිදු නොකරන බව ද ඒ මහතා කියා සිටියා. 

 ප්‍රසන්න, රමේෂ්, පවිත්‍රා  මොකක් කරයි ද?                                                                                                           

තම පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයකු නම් කරන්නේ නම් එසේ නම්කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි හා එම ප්‍රතිපත්ති ආරක්ෂා කළ හැකි අයකු පමණක් බව ද  නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළා.

මේ තත්ත්වය යටතේ ජනාධිපතිවරණයට පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීරණය කළොත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, පවිත්‍රා වන්නිආරච්චි, කංචන විජේසේකර ඇතුළු මැති ඇමතින් රාශියකට පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වෙනුවෙන් පෙනී සිටිනවා ද, රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වනවා ද යන්න පිළිබඳ තීරණයක් ගැනීමට සිදුවනු ඇතැ යි දේශපාලන විචාරකයින් පවසනවා.

⋆⋆⋆  ⋆⋆⋆  ⋆⋆⋆

විමධ්‍යගත අරමුදල්, මත්පැන් බලපත්‍ර ගත්තු සෙට් එකට විනය පරීක්ෂණ කෙරේ ද?

මේ අතර පක්ෂවල තීරණයට පිටින් ගොස් රජයේ විමධ්‍යගත අරමුදුල් හා මත්පැන් බලපත්‍ර ලබාගෙන ඇති මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන සන්ධානයේ නායකයින් තීරණය කර තිබෙනවා.

මේ අනුව පක්ෂ නායකත්වයට නො දන්වා විමධ්‍යගත අරමුදල් හා මත්පැන් බලපත්‍ර ලබා ගත් තම පක්ෂයේ මන්ත්‍රීන් විරුද්ධව විනය ක්‍රියා මාර්ග ගන්නා බව සමගි ජන බලවේගයේ නායකයකු හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවා. ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවූෆ් හකීම් මහතා ද පැවසුවේ එම මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියා මාර්ග ගන්නා බව යි.

සමගි ජන බලවේගයේ වෛදය කාවින්ද ජයවර්ධන, රෝහිණී කවිරත්න, ජේ. සී. අලවතුවල , දොස්තර රාජිත සේනාරත්න, වේල කුමාර්, ගයන්ත කරුණාතිලක, ආචාර්ය හර්ෂ ද සිල්වා, සුජිත් සංජය පෙරේරා, කිංස් නෙල්සන්, ඩබ්ලිව්. ඒච්. ධර්මසේන, අජිත් මාන්නප්පෙරුම, දිලිප් වෙදආරච්චි, පාඨලී චම්පික රණවක, හෙක්ටර් අප්පුහාමි යන මහත්වරුන්ට ද, මහත්මීන්ට ද, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ ෆයිසාල් තාසිම්, අලි සහීර් මව්ලානා හා ඉෂාක් රහුමාන් යන මහත්වරුන්ට හා සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ රිෂාඩ් බද්උද්දීන් මහතාට ද මෙසේ ලැබී ඇති මුළු විමධ්‍යගත අරමුදල් ප්‍රමාණය රුපියල් මිලියන එක්දහස් දෙසිය හයක්.

මේ හැර මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන මිලදී ගැනීම සඳහා බලපත්‍ර ලබාදෙන ලෙස ඉල්ලා මන්ත්‍රීවරුන් 110 කට වැඩි පිරිසක් කතානායකවරයා වෙත ලිපියක් ඉදිරිපත් කොට ඇති අතර එම ලිපියට සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් පිරිසක් ද අත්සන් තබා ඇතැ යි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.

විමධ්‍යගත අරමුදල් ගෙන ඇති සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් අතරින් වැඩි දෙනෙක් සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පෙනී සිටින අය බැවින් ඔවුන්ට විරුද්ධ විනය ක්‍රියා මාර්ග ගැනීමට යාමෙන් එම පක්ෂය තුළ අර්බුදයක් හටගනු ඇතැ යි දේශපාලන විචාරකයින් පෙන්වා දෙනවා.

ෂෙහාන්, නන්දලාල් ලෝක බැංකුවට ගිහින්

ශ්‍රී ලංකාව විසින් පසුගිය කාලයේ ලබාගෙන තිබූ විදේශ ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මෙහෙයවීම මත ජුනි 25 හා 26 වැනි දිනවල ඇමරිකාවේ දී සිදු කෙරෙන සාකච්ඡා සඳහා මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ, මහ බැංකු අධිපති නන්දලල් වීරසිංහ මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් නියෝජිත පිරිසක් ඇමරිකාවට ගොස් සිටිනවා.

රතිඤ්ඤා පත්තු වේවි 26 වැනි දා

චීනයේ එක්සිම් බැංකුව, පැරිස් සමාජය හා පෞද්ගලික බැඳුම්කර ගිම්සන් සමඟ පැවැත්වෙන මෙම සාකච්ඡාවලින් පසු ඒ පිලිබඳ ගිවිසුම ජුනි 26 වැනි දා අත්සන් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

ගිවිසුම අත්සන් කිරීමත් සමඟ ශ්‍රී ලංකාව බංකොලොත් තත්ත්වයෙන් මිදෙන අතර මෙය ශ්‍රී ලංකාව ලබන විශාල ජයග්‍රහණයක් ලෙසට ආණ්ඩුව පවසනවා.

ජුනි 26 වැනි දා අත්සන් කිරීමේ පුවත ශ්‍රී ලංකාවට ලැබුණු විගස ඒ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය ඔස්සේ ජාතිය අමතා දැනුම් දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

එමෙන් ම කොළඹ ඇතුළු ප්‍රධාන නගර කිහිපයක රතිඤ්ඤා පත්තු කර ප්‍රීතිය පළ කිරීමට ද කටයුතු යොදා ඇති බව ද දැනගන්නට තිබෙනවා.

ජුනි මස අගදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමා ජනාධිපතිවරණයට ඉදිරිපත්  වන බව නිල වශයෙන් ප්‍රකාශ කරනු ඇතැ යි ජනාධිපති කාර්යාලයේ නිලධාරියෙක් ජගත් ට ප්‍රකාශ කළා.

   -  ජගත්  -