ජනාධිපති ධූර කාලය අධිකරණයේ දී විහිළුවක් බවට පත්වෙලා - අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ
ශ්‍රී ලංකාවට ජූලි මාසය ආරම්භ වුණේ මහා වැඩ වර්ජන රැල්ලක් ද සමඟ. රජයේ පාසල්වල ගුරුවරුන්, විදුහල්පතිවරුන්, ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, තැපැල් සේවකයින්, දුම්රිය ස්ථානාධිපතිවරුන්, විධායක නිලධාරීන්, රේගු නිලධාරීන්, රජයේ රෝහල් සේවකයින්, විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් විසින් ගෙන ගිය ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීම, අකුරට වැඩ කිරීම හා වැඩ වර්න කිරීම් ආදී වෘත්තීය ක්‍රියා මාර්ග ආදිය හේතුවෙන් ජන ජීවිතයට විශාල බලපෑමක් එල්ල වුණා.
මේවායින් දුම්රිය ධාවනය අඩාලවීම හා පාසල් දින ගණනාවක් වසා තැබීම හේතුවෙන් බලවත් ලෙස පීඩාවට පත්වුණේ පාසල් දරුවන්, දෙමාපියන් හා මගී ජනතාව.
විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම, රියැදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා ඈත පළාත්වල සිට කොළඹට පැමිණි ජනතාවට හා දිනපතා දුම්රියෙන් සේවයට පැමිණෙන මගීන්ට ද මේ වර්ජන නිසා සිදුවුණේ බලාපොරොත්තු සුන්කර ගැනීමටයි.
මේ වර්ජන ක්රියාමාර්ගසහභාගි වූ වෘත්තීය සමිතිවල ප්‍රශ්නගත ඉල්ලීම වුණේ රුපියල් 20000 කින් රජයේ සේවක වැටපු් වැඩිකර ගැනීම යි.
කලින් කිසිදු දැනුම්දීමකින් තොරව දුම්රිය ස්ථානාධිපතිවරුන් සිය උසස්වීම් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මත පසුගිය දා ඇරඹූ අඛණ්ඩ වැඩ වර්ජනයෙන් සමස්ත දුම්රිය සේවය ම අඩාල වූ අතර සමහර දුම්රිය ස්ථාන ඉබි යතුරු දමා වසා තිබුණා. රජය දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ගැසට් මඟින් ප්‍රකාශ කොට තිබුණ ද, එය නොතකා වර්ජනය කළ දුම්රිය ස්ථානාධිපතීන් තමන් නොමැත් ව හැකි නම් දුම්රිය සේවය පවත්වා ගෙන යන ලෙස අණ්ඩුවට අභියෝග කළා.
වර්ජන රැල්ල අනුර ගෙ ජනාධිපතිවරණ ව්‍යාපාරයට අවාසියි බුද්ධිමතුන් පෙන්වා දීලා
මෙම වැඩවර්ජනය ඇතුළු වෘත්තීය ක්‍රියාමාර්ග වලට රටේ ජනතාවගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්. දුම්රිය සේවය පෞද්ගලිකකරණය කළ යුතු බවත්, වර්ජකයින්ට පොලු පහර දිය යුතු බවත්, මහජනතාව රෑපවාහිනී නාලිකාවලට 'වොයිස් ක්' දෙමින් පවසා තිබුණා.
වර්ජනය මෙහෙය වූ වෘත්තීය සමිති වලට නායකත්වය දුන් ජනතා විමුක්ති පෙරමුණේ ජෝෂප් ස්ටාලින්, මහින්ද ජයසිංහ, වසන්ත සමරසිංහ වැන්නන්ට ද මහජනතාව දැඩි විරෝධයක් පළ කළා.
ජවිපෙට සම්බන්ධ කිසිදු වෘත්තීය සමිතියක් වැඩ වර්ජනවලට සහභාගී වෙන්නෙ නෑ - ලාල් කාන්ත
මේ තත්ත්වය ඉදිරි ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ගේ ඡන්ද ව්‍යාපාරයට අවාසිදායක බව ජාතික ජන බලවේගවේගයේ බුද්ධිමතුන් විසින් පෙන්වා දී තිබෙනවා.
පක්ෂය තුළ මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ වැඩ වර්ජනවලින් ඉවත්වීමට තීරණය කල බව ද වාර්තා වෙනවා.
ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් යුත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නායක කේ. ඩී. ලාල් කාන්ත මහතා ජනාධිතිවරණය පැවැත්වීමට නියමිත ඉදිරි මාස තුනක පමණ කාලය තුළ කිසිදු වැඩ වර්ජනයක් නොපැවැත්වීඹට තීරණය කල බව ප්‍රකාශ කළා. තම පක්ෂයට සම්බන්ධ කිසිදු වෘත්තීය සමිතියක් වැඩ වර්ජනවලට සහභාගී නොවන බව ද පැවසූ ඔහු එහෙත් උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාර පවත්වන බව ද කියා සිටියා.
මේ අනුව ගුරු වුදුහල්පතිවරුන් ගේ වැඩි කළ වැටුප් හිඟ දීමනාව ඉල්ලා ලෙඩ නිවාඩු දමා පාසල් වසා සිදුකළ වර්ජනය යළි නොපැවැත්වෙනු ඇති බවයි ජවිපෙ ආරංචි මාර්ග පවසන්නෙ.
ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණ වාසි තකා වර්ජන සටන් පාවා දී තිබුණ ද පෙරටුගාමී සමාජවාදී පක්ෂය සියලු වෘත්තීය සටන්වලට නායකත්වය දෙන බව එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් දුමින්ද නාගමුව මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියා.
⋆⋆⋆ ⋆⋆⋆ ⋆⋆⋆
ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට බලය ලැබෙන්නෙ හෙට
ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට බලය ලැබෙන ජූලි 17 වැනිදා ට තව ඇත්තේ දින දෙකක් පමණයි. එසේ තිබිය දී ආණ්ඩුව නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට කටයුතු කරමින් ජනාධිපතිවරණය කල් දැමීමට උපක්‍රම යොදන බවට විපක්ෂය චෝදනා කරනවා.
ජනාධිපතිවරයා ගේ ධූර කාලය වසර හයේ සිට වසර පහ දක්වා අඩු කිරීම සඳහා නව ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් පසුගිය සඳුදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමෙදි අනුමත වී තිබෙනවා.
කැබිනට් මණ්ඩලය මෙම යෝජනාව අනුමත කොට තිබෙන්නේ ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 5 කැ යි පත් කරන ලෙස ද එතෙක් ජනාධිපතිවරණය කල් දමන ලෙස ද ලේනව නමැති නීතිඥයකු ගොනු කොට තිබූ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම පසුගිය 8 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිශ්ප්‍රභා කොට තිබූ පසුබිමක යි.
එම පෙත්සම නිශ්ප්‍රභා කරමින් ජයන්ත ජයසූරිය මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ වගන්තිය පෙන්වමින් ජනාධිපතිවරයා ගේ නිල කාලය වසර පහක් බව එහි පැහැදිලිව ම දක්වා ඇතැ යි සඳහන් කළා.
තවත් නීතිඥයෙක් 19 සංශෝනයට උසාවි ගිහින්
එසේ තිබිය දී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කොට කැබිනට් මණ්ඩලයේ දී සම්මත වූ මෙම සංශෝධනය ගැසට් පත්‍රයේ පළ කළ යුතු අතර එය ශ්‍රේෂ්ඨාධිකරනයේ විමසුමට ද ලක් වෙනවා. මෙයට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමට ද ජනතාවට අවස්ථාව සැලසෙනවා.ඒවා සලකා බැලීමට ද ශ්‍රේෂ්ඨාධිකරණයට කාලයක් ගත වීමට ඉඩ තිබෙනවා.
මේ අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත ජූලි 17 වැනිදාට පෙර මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට ඉඩ ලැබෙන්නේ නෑ.
ආණ්ඩුවේ මෙම නව ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ජනාධිපතිවරණය කල් දමා ගැනීම සඳහා කරන උප්පරවැට්ටියක් බව යි පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර පහක් බව ප්‍රකාශ කරමින් මීට පෙර තීන්දුවක් ලබාදී ඇති බැවින් මේ අවස්ථාවේ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමේ කිසිදු අව්ශ්යතාවයක් නොමැති බව ද ඔහු පවසනවා.
මේ අතර ජනාධිපතිවරණය කල් දමන ලෙස ඉල්ලා සිටින තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉකුත් 12 වැනි දා ශ්‍රෙෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
එය ඉදිරිපත් කොට තිබුණේ නීතිඥයකු වන අරුණ ලක්සිරි උණවටුන මහතා විසිනුයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමතවිචාරණයකට යොමු කර ඉන් අනුමැතිය ලබා ගන්නා තුරු ජනාධිපතිවරණය පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවටතීන්දුවක් ලබා දෙන ලෙස ඔහු සිය පෙත්සම මඟින් ඉල්ලා සිටිනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයෙන් ආණ්ඩ්ුක්රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවට සංශෝධනය කිරීම හේතුවෙන් තේරී පත්වන පාර්ලිමේන්තුව වසරක් ගෙවී යාමෙන් පසුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා සතුව තිබූ බලය අහිමි කිරීම කොට ඇති බව පෙත්සම්කරු පවසනවා. එම සංශෝධනය ජනමත විචාරණයකට යොමු කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් තීන්දු කර තිබුණ ද එය ජනමත විචාරණයකින් මේ දක්වා අනුමත වී නොමැති බව ද අරුණ ලක්සිරි උණවටුන මහතා සිය පෙත්සමේ දක්වා තිබෙනවා.
එම 19 වැනි සංශෝධනය ජනමත විචාරණයකින් අනුමත වී ජනාධිපතිවරයා එයට අත්සන් තබා නොමැති නිසා එය නීතියක් වශයෙන් සැළකිය නොහැකි බවත් ඔහු සිය පෙත්සමේ සඳහන් කොට තිබෙනවා. එසේ තිබිය දී 19 වැනි සංශෝධනය කව දුරටත් නීතියක් වශයෙන් පිළිගෙන කටයුතු කිරීම වැරදි සහගත බව ද ඔහු එම පෙත්සමේ සඳහන් කොට තිබෙනවා.
ජනාධිපති ධූර කාලය අධිකරණයේ දී විහිළුවක් බවට පත්වෙලා
එහෙක් මේ පිළිබඳ ව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් කමිටුවේ සාමාජිකයකු වශයෙන් කටයුතු කළ ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පවසන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පෙත්සම් විභාග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුව තමා සම්පූර්ණයෙන් ම කියවූ බවත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබූ බලයට එම ව්‍යවස්ථා සංශෝධනයෙන් සීමා දැමීම නඩුවේ දී අභියෝගයට ලක් නොවූ බවයි. ඒ අනුව අදාළ සංශෝධන වගන්තිය සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දී නැති බවත් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා තව දුරටත් පවසනවා.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජනාධිපතිවරයාගේ ධූර කාලය අතර කිසිදු සම්බන්ධතාවයක් නැති බවත් ජනාධිපතිවරයා ගේ ධූර කාලය වසර 5 ක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථා 3 ක දී පැහැදිලි කර ඇති බවත් ඒ මහතා තව දුරටත් සඳහන් කරනවා.
කෙසේ වුවද නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් පසුගිය දා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම මේ සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සළකා බැලීමට නියමිත බවයි අධිකරණයේ ආරංචි මාර්ගවලින් වාර්තා වෙන්නේ.
මේ අතර ආණ්ඩුව විසින් කැබිනට් මණ්ඩලයේ දී අනුමත කරගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව 12 වැනි දා පාර්ලිමේන්තුවේ දී විරෝධය පළවුණා.
පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙමින් තිබිය දී නඟී සිටි ඩලස් අලහප්පෙරුම මහතා "19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකට යොමු කොට අනුමැතිය ලබා ගන්නා තුරු ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීම තුළින් ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත්වෙලා තිබෙනවා කියා දැන් බ්‍රේකින් නිවුස් එකක් ආවා. මෙය ව්‍යාකුල තත්ත්වයක්. අපට පෙනෙනේනෙ යම් කුමන්ත්‍රණයක් දියත් වී ඇති බවයි" ප්‍රකාශ කළා.
මැතිවරණ කොමිසමට ලියුමක්
මෙහිදී කරුණු දැක්වූ අධිකරණ ඇමති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා "ශ්‍රේෂ්ඨාධිකරණය 19 වැනි සංශෝධනයේ සඳහන් ජනපතිගේ ධූර කාලය ගැන කිව්වේ තිබෙන ධූර කාලය අඩු කරන්න නොවෙයි. වසර 6 ක් හෝ 7 ක් හෝ දක්වා ජනපතිගේ ධූර කාලය වැඩි කරනවා නම් ජනමත විචාරණයකට යා යුතු බවයි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් වෙනවා. කිසිම හේතුවකට ධූර කාලය වසර 5 කට වැඩියෙන් එක දවසක්වත් ජනාධිපති ධූරය දරන්න බැහැ කියලා" යැ යි ප්‍රකාශ කළා.
මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපති ගේ දූර කාලය ගැන තීන්දු තුනක් ලබා දී තිබෙන බවත් ඒ ගැන අද තවත් නඩුවක් ඉදිරිපත් වී ඇති බවත් පැවසූ අධිකරණ ඇමතිවරයා දැන් මේ ධූර කාලය ගැන ප්රශ්නය අධිකරණයේ දී විහිළුවට ලක් කරන තත්ත්වයක් ඇති වි තිබෙන බව ද සඳහන් කළා.
මේ අතර හැකි පළමු දවසේ දී ම ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය විධිවිධාන සලසන ලෙස ඉල්ලමින් විපක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් ඉකුත් 12 වැනි දා මැතිවරණ කොමිෂන් සභාවට ලියුමක් භාර දී තිබෙනවා.
අතුරලියේ රතන හිමි සහ රංජිත් මද්දුම බණ්ඩාර, රංජිත් සියඹලාපිටිය, මහාචාර්ය ජී. එල්. පීරිස් ලක්ෂ්මන් කිරිඇල්ල සහ උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් ගේ අත්සන්වලින් යුතුවයි මේ ලිපිය බාර දී තිබෙන්නේ.
ජගත් -